Health Guide

අධික ලෙස ජලය පානය කිරීම මාරාන්තිකයි

ලෝක ජල දිනය මාර්තු මස 22 වන දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් සාමාන්‍යයෙන් බොහෝදෙනා කතා කරන ජලයෙහි ගුණ වෙනුවට අපි අද ජලය විෂවීමෙන් සිදුවිය හැකි දේ පිළිබඳව කතා කරමු. අධික ලෙස ජලය පානය කිරීම නිසා මොළයේ ක්‍රියාකාරිත්වය අඩාලවීම ජලය විෂවීම ලෙස හඳුන්වයි. එම ජලය විෂවීමට බලපාන ප්‍රධාන ම හේතුව ලෙස බොහෝවිට වාර්තා වී ඇත්තේ කෙටි කාලයක් තුළ විශාල ජල ප්‍රමාණයක් පානය කිරීමයි.

ජලය විශාල ප්‍රමාණයක් පානය කිරීමෙන් ඔබේ රුධිරයේ ඇති ජල ප්‍රමාණය වැඩි වේ. මෙම ජලයෙන් ඔබේ රුධිරයේ ඇති ඉලෙක්ට්රෝලයිට්, විශේෂයෙන් සෝඩියම් තනුක කළ හැකිය. සෝඩියම් මට්ටම 135 mmol / Lට වඩා පහත වැටෙන විට එය Hyponatremia (හයිපෝනේට්රිමියාව) ලෙස හැඳින්වේ. සෛලවල ඇතුළත හා පිටත තරල සමතුලිත කිරීමට සෝඩියම් උපකාරී වේ. අතිරික්ත ජල පරිභෝජනය හේතුවෙන් සෝඩියම් මට්ටම පහත වැටෙන විට, තරල පිටත සිට සෛල අභ්‍යන්තරයට මාරුවී ඒවා ඉදිමීමට හේතු වේ. මෙය මොළයේ සෛලවලට සිදු වූ විට, එය භයානක ප්‍රතිඵල ගෙනදෙනවා මෙන් ම හා ජීවිතයට තර්ජනයක් ද විය හැකිය.

නිගමනය: ජලය අධික ලෙස පානය කිරීමෙන් ජල විෂවීම සිදු වේ. අතිරික්ත ජලය රුධිරයේ සෝඩියම් මට්ටම තනුක කර සෛල තුළට තරල ගමන් කිරීමට හේතු වන අතර එමගින් ඉදිමීම සිදු වේ.

මොළයේ සෛල ඉදිමුණු විට හිස් කබල ඇතුළත පීඩනය වැඩි වේ. මෙම පීඩනය ජලය විෂවීමේ පළමු රෝග ලක්ෂණ ඇති කරයි. ඒවාට ඇතුළත් වන්නේ,

■ හිසරදය.
■ ඔක්කාරය.
■ වමනය.

දරුණු අවස්ථාවල දී වඩාත් බරපතළ රෝග ලක්ෂණ මතු විය හැකිය. එනම්,

■ රුධිර පීඩනය වැඩිවීම.
■ ව්‍යාකූලත්වය.
■ ද්විත්ව දැක්ම.
■ නිදිබර ගතිය.
■ හුස්ම ගැනීමේ අපහසුතාව.
■ මාංශ පේශි දුර්වලවීම සහ කැක්කුම.
■ සංවේදක තොරතුරු හඳුනාගැනීමට නොහැකිවීම.

මොළයේ අතිරික්ත තරල සමුච්චය මස්තිෂ්ක ඉඩීමා ලෙස හැඳින්වෙන අතර එය මොළයේ කඳට බලපාන අතර මධ්‍යම ස්නායු පද්ධතියේ අක්‍රියතාවට හේතු වේ. දරුණු අවස්ථාවල දී ජලය විෂවීම නිසා අල්ලාගැනීම්, මොළයට හානිවීම්, කෝමා තත්ත්වයට පත්වීම සහ මරණය පවා සිදුවිය හැකිය.

නිගමනය: කෙටි කාලයක් තුළ අධික ලෙස ජලය පානය කිරීමෙන් හිස් කබල තුළ පීඩනය වැඩි වේ. මෙය විවිධ රෝග ලක්ෂණ ඇති කළ හැකි අතර දරුණු අවස්ථාවල දී මාරාන්තික විය හැකිය.

අධික ලෙස ජලය පානය කිරීමේ මාරාන්තික බව

අහම්බෙන් ඕනෑවට වඩා ජලය පානය කිරීම ඉතා අසීරු ය. එහෙත් මෙම තත්ත්වය හේතුවෙන් මරණ වාර්තා වී ඇත. විශේෂයෙන් සොල්දාදුවන් තුළ බොහෝ ජල විෂවීම් වාර්තා වී ඇත. එහි දී කෙටි කාලයක් තුළ අධිකව ජලය පානය කිරීම හේතුවෙන් මෙම මරණ වර්තා වී තිබේ. එනම් මෙම සොල්දාදුවන් පැය කිහිපයක් ඇතුළත ජලය ගැලුම් 2.5-5.6 (ලීටර් 10-20) පානය කර ඇත. එබැවින් ඔවුන්ගේ රුධිර ගත සෝඩියම් මට්ටම 115 සිට 130 mmol / L දක්වා පහළ බැස තිබූ අතර එය පැවතිය යුතු සාමාන්‍ය පරාසය නම් 135-145 mmol / L වේ.

නිගමනය: සොල්දාදුවන්, ක්‍රීඩකයන් සහ භින්නෝන්මාදය රෝගීන් අතර ජලය විෂවීම බහුලව දක්නට ලැබේ.

ඔබේ වකුගඩු මුත්‍රා මාර්ගයෙන් මිදීමට වඩා වැඩි ජලය ප්‍රමාණයක් පානය කරන විට අධික ලෙස සජලනය හා ජල විෂවීම සිදු වේ. නමුත් ජල ප්‍රමාණය එක ම සාධකය නොවේ. ජලය පානය කිරීමට ඔබ කොපමණ කාලයක් ගතවේද යන්නත් ගණන් ගනී. එනම්, ඔබ කෙටි කාලයක් තුළ ජලය විශාල ප්‍රමාණයක් පානය කළහොත් ජලය විෂවීම වැඩිවීමේ අවදානමක් ඇත. ඔබ එක ම ජල ප්‍රමාණය වැඩි කාලයක් පානය කළහොත් අවදානම අඩු ය.

හයිපෝනේට්රිමියා රෝග ලක්ෂණ කෙටි කාලයක් තුළ ජලය ගැලුම් 0.8-1 (ලීටර් 3-4) පානය කළහොත් ඇතිවිය හැකිය. ඔබේ වකුගඩුවලට දිනකට ජලය ගැලුම් 5.3-7.4ක් (ලීටර් 20-28) පමණ ඉවත් කළ හැකි නමුත් පැයට අවුන්ස 27-33 (ලීටර් 0.8-1.0)කට වඩා ඉවත් කළ නොහැකිය. එම නිසා හයිපෝනේට්රේමියා රෝග ලක්ෂණ වළක්වාගැනීම සඳහා, ඔබ සාමාන්‍යයෙන් පැයකට ජලය අවුන්ස 27-33 (ලීටර් 0.8-1.0)කට වඩා පානය නොකළ යුතුය.

ජල විෂවීම පිළිබඳව බොහෝ වාර්තා වී ඇත්තේ කෙටි කාලයක් තුළ විශාල ජල ප්‍රමාණයක් පානය කිරීමෙනි.

නිගමනය: වකුගඩුවලට දිනකට දියර ගැලුම් 7ක් (ලීටර් 28) බැහැර කිරීමට හැකියාව ඇත. කෙසේ වෙතත්, එයට පැයකට ලීටර් 1කට වඩා බැහැර කළ නොහැකිය. එබැවින් ජලය වැඩි වශයෙන් පානය කිරීම හොඳ ක්‍රියාවක් නොවේ.

ඔබට කොපමණ ජලය අවශ්‍යද?

දිනකට ඔබට කොපමණ ජලය පානය කළ යුතුද යන්න සලකා බැලීමේ දී නිශ්චිත සංඛ්‍යාවක් නොමැත. එය එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වේ. ඔබට කොපමණ ජලය අවශ්‍යයද යන්න තීරණය කිරීම සඳහා ඔබේ ශරීර බර, ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම සහ දේශගුණය සලකා බැලිය යුතුය.

ජාතන්තර වෛද්‍ය පර්යයේෂණ ආයතනයක් වන IOM යෝජනා කරන්නේ පිරිමින් සඳහා දිනකට ප්‍රමාණවත් ජලය පරිභෝජනය අවුන්ස 125ක් (ලීටර් 3.7) වන අතර කාන්තාවන් සඳහා එය අවුන්ස 91ක් (ලීටර් 2.7ක්) බවයි.

හොඳ ම රීතියක් නම් ඔබට පිපාසය දැනෙන විට ඔබේ ශරීරයට ඇහුම්කන්දීම සහ ජලය පානය කිරීම සුදුසු වේ. හොඳ සජලීය මට්ටමක් පවත්වාගැනීමට එය ප්‍රමාණවත් ය. කෙසේ වෙතත් පිපාසය මත පමණක් රඳා සිටීම සෑම කෙනෙකුට ම ප්‍රයෝජනවත් නොවනු ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, වැඩිහිටි වැඩිහිටියන්ට සහ ගර්භණී කාන්තාවන්ට සෑම දිනක ම අමතර ජලය පානය කිරීමට අවශ්‍ය විය හැකිය.

පුෂ්පා රම්‍යානි ද සොයිසා
(ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී- හදිසි අනතුරු අංශය, ශ්‍රී ලංකා ජාතික රෝහල)

සටහන – ඉසුරු සුධාරක දිසානායක