Food

ඇසට, හිසට සුව ගෙනදෙන මුකුණුවැන්න

මුකුණුවැන්න යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවට ආහාරයක් ලෙස ඉතාමත් හුරුපුරුදු පළා වර්ගයකි. ජලාශ‍්‍රිත පරිසරවල නිතර දැකගත හැකි මෙම ශාකය විහිදී වැඩෙන පැළෑටියකි. මෙහි දල්ල දම් පැහැති වර්ගයක් සහ දල්ල කොළ පැහැයෙන් යුත් වර්ගයක් සාමාන්‍යයෙන් හමුවන අතර බහුලව ඇත්තේ දල්ල කොළ පැහැති වර්ගයයි. එමෙන් ම මෙහි සුදු පැහැති රවුම් හැඩයෙන් යුත් කුඩා මලක් ද දැකගත හැකිය.

තව ද මුකුණුවැන්න ශාකයේ මල මාළුවෙකුගේ ඇසකට සමාන වන බැවින් ආයුර්වේදයේ දී මෙම පැළෑටිය ”මීනාක්‍ෂි” ලෙසින් ද හඳුන්වනු ලබයි. එසේ ම මෙය Amaranthaceae කුලයට අයත් ශාකයක් වන අතර මෙහි විද්‍යාත්මක නාමය Alternanthera Sessilis වේ.

මුකුණුවැන්න පෝෂණ ගුණයෙන් ඉතාමත් ම වැඩි ශාකයක් ලෙස හැඳින්විය හැකිය. එහෙයින් දකුණු ඉන්දියාව වැනි විදේශයන්හි ජනතාව ද මෙම පළා වර්ගයට ඉතාමත් රුචිකත්වයක් දක්වයි. එමෙන් ම මෙම ශාකයේ සියලූ කොටස් ඖෂධ සඳහා යෙදාගනී. එහි දී බොහෝවිට ශාකය පවනේ වියලා ඖෂධ සකස් කිරීම සඳහා භාවිත කරයි.

විශේෂයෙන් ම විවිධාකාර හේතූන් නිසා ශරීරයේ ඇතිවන දැවිලි සඳහා මෙය හොඳ ඖෂධයකි. (උදා – ඇස්වල දැවිලි තත්ත්වයක් ඇතිවීම) මෙහි දී මෙය මැල්ලූමක් වැනි ආහාරයක් ලෙස හෝ කැඳක් හැටියට ආහාරයට ගත හැකිය. එසේ ම මෙම ඖෂධීය ශාකය ඇස්වලට මෙන් ම කෙස්වලටත් ඉතාමත් ගුණදායක බැවින් අකලට කෙස් හැලීම හා කෙස් සුදුවීම වැනි හිසකෙස් සම්බන්ධ රෝගාබාධ සුව කිරීමට ද දායක වේ. තව ද අතිශයින් හොඳ ප‍්‍රතිඔක්සිකාරකයක් වන මෙම ඖෂධය විටමින් සහ ඛනිජලවණවලින් ද පොහොසත් ය.

එමෙන් ම මෙම ශාකයේ පවතින සිසිල් ගුණය නිසා උදරයේ ඇතිවන දැවිලි තත්ත්වයන් අම්ලපිත්ත රෝගය වැනි රෝග සඳහාත්, විටමින් ඌනතා රෝග සඳහාත් මෙය ඖෂධයක් ලෙස භාවිත කරයි. එපමණක් නොව අර්ශස් වැනි රෝග තත්ත්වවල දී ළපටි මුකුණුවැන්න පත‍්‍ර ගෙන සුදුළුෑණු සහ ගම්මිරිස් ටිකක් සමග ජලයේ තම්බා, පෙරා පානය කිරීම සුදුසු වේ. තව ද ඇස්වල දැවිල්ල සහ අපහසුතා ඇතිවන විට මුකුණුවැන්න පත‍්‍ර ගෙන තලා, ඇස් පියාගෙන ඇස් මත එ්වා තබා වනාඩි 15ක් පමණ සිටීම ඉතාමත් සහනය ගෙන දෙන ප‍්‍රතිකාරයකි.

එසේ ම ආයුර්වේදයේ ඇති ”යෝගරත්නාකර” ග‍්‍රන්ථයේ සඳහන් වන්නේ මෙම මුකුණුවැන්න ශාකය පුරුෂ වන්ද්‍යාභාවය නැති කරීම සඳහා පාවිච්චි කළ හැකි ඉතා හොඳ ඖෂධකයක් ලෙස ය. මීට අමතරව සාමාන්‍යයෙන් එදිනෙදා ඇතිවන හිසේ දැවිල්ල, හිසරදය වැනි තත්ත්වවල දී ද මෙය ඉතාමත් ගුණදායක ඖෂධයක් ලෙස භාවිත කරයි. තව ද කිරිදෙන මවවරුන් සඳහා ද මුකුණුවැන්න ඉතාමත් හොඳ ඖෂධයක් වන අතර මෙම පළා වර්ගය නිතර ආහාරයට ගැනීමෙන් ශරීරයේ නිපදවෙන කිරි ප‍්‍රමාණය වැඩි කරවාගත හැකිය. එමගින් දරුවාට ලැබෙන පෝෂණය ද ඉහළ යයි. එමෙන් ම දියවැඩියා රෝගීන්ට පවා මෙය කිසිම ගැටලූවකින් තොරව ආහාරයක් ලෙස භාවිත කළ හැකිය. එහි දී මැල්ලූමක් ලෙස, සම්බෝලයක් ලෙස හෝ කොළ කැඳක් ලෙස වුව ද ආහාරයට ගැනීම සුදුසු ය.

වර්තමානයේ සුලබව දැකිය හැකි අක්මාවේ තෙල් තැම්පත්වීමේ රෝගී තත්ත්වයේ දී ද ආයුර්වේදයට අනුව මුකුණුවැන්න පත‍්‍ර මඳ පවනේ වියලා කුඩු කරගෙන එයින් මේස හැන්දක් පමණ තද උණුවතුරට දමා, පැසීමට වසා තබා පසුව පානය කිරීම ප‍්‍රතිඵලදායක ය. එසේ ම එම රෝගීන්ට මෙම ශාකට පළා වර්ගයක් ලෙසින් ද ආහාරයට ගැනීම ඉතාමත් ගුණදයක වේ. එපමණක් නොව කැස්ස, ඇදුම වැනි රෝග තත්ත්වය සඳහා ද මුකුණුවැන්න ඖෂධීය පානයක් ලෙස භාවිත කිරීම මගින් සුව ගෙන දේ.
මේ ආකාරයෙන් විවිධ වූ රෝගාබාධ රාශියකට ඔසුවක් ලෙස භාවිත කළ හැකි සහ ආහාරයක් ලෙස ද ශරීරයට බොහෝ සෙයින් ගුණ ගෙනදෙන වටිනා පැළෑටියක් වශයෙන් මුකුණුවැන්න ශාකය හැඳින්විය හැකිය.

සටහන – ඉසුරු සුධාරක දිසානායක

ආයුර්වේද වෛද්‍ය එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය
(ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කොළඹ විශ්වවිද්‍යාලය – දේශීය වෛද්‍ය විද්‍යායතනය)