Beauty Fitness Health

කෙට්ටු වෙන්න මහන්සි වෙන තරමටම ප්‍රතිපල නැද්ද ?

ඔබ කෙට්ටු වෙන්න ගොඩක් දේවල් කරනවා ඇති.නමුත් ඒ කිසිවකින් හිතනතරම් ප්‍රතිපල ලැබුනේ නැද්ද? ඇත්තටම එහෙම වෙන්නේ ඔබ කෙට්ටු වෙන්න හිතාගෙන කරන දේවල් වල තිබෙන වැරදි නිසා. බලන්න ඔබත් මේ වැරදි කරනවද කියලා

රෑට නොකා සිටීම
සමහරු උත්සාහ කරනවා රාත්‍රී ආහාර වේල මඟ ඇරලා තරබාරු බව අඩු කර ගන්න. ඒත් මේ උත්සාහය වැරදෙන අවස්ථා කීපයක් තිබෙනවා. එක අවස්ථාවක් තමයි ඔබේ හිත. ඔබේ හිත දන්නවා ඔබ රෑට කන්නේ නෑ කියලා. ඒ නිසා ඔබ දවල්ට වැඩිපුර කන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි හවස් වරුවේ තේ බොන ගමන් තවත් මොනවා හරි කන්න පෙළඹෙනවා (රාත්‍රියේ එන බඩගින්නට පෙර සූදානමක් විදිහට).

ඒ වගේම තමයි ඊළඟ දවස උදේ වෙද්දී ඔබට හොඳටම බඩගිනි දැනෙනවා. ඉතින් උදේ පාන්දරම ඔබ මේදය පිරුණු කිරි වීදුරුවක් බොන ගමන් බිස්කට් කනවා (උදේ ආහාරය ගන්න කලින්). ඉතින් කොහොමද කෙට්ටු වෙන්නේ?

මේ නිසා ඔබ රෑට ඉතා සුළු ආහාරයක් ලබා ගන්න එක වරද්දන්න එපා.

ඇබ්බැහි වුණු කිරි පානය

ලංකාවේ ජිවත් වෙන ගොඩ දෙනෙක් මේ කිරි පානයට ඇබ්බැහි වෙලයි ඉන්නේ. කිරි කියන්නේ කැල්සියම් ලබා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් බව හැමෝම කියනවා. ඒත් ඔබට කැල්සියම් ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය කිරි නෙවෙයි. තරබාරු කෙනෙක්ට පුළුවන් කිරි පානය වෙනුවට කුඩා මාළු, ටින් මාළු පරිභෝජනය කරලා තමන්ගේ කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගන්න.

ඇත්තටම මේක ඇබ්බැහි වීමක්. හැම උදෑසනකම සීනි දාපු කිරි එකක් බොන එකෙන් ඔබේ සිරුරට සීනි සහ මේදය එකතු වෙනවා. දිනපතා පානය කරන කිරි වීදුරුව වෙනුවට, ඔබට සීනි නොයෙදූ පලතුරු බීමක් දවසක් ඇර දවසක්වත් පානය කරන්න පුරුදු වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

බත් වෙනුවට පාන් ආහාරයට ගැනීම

සමහරු හිතනවා පාන් පෙති කීපයක් ගැනීම සැහැල්ලු ආහාරයක් කියලා. ඉතින් උදේට හෝ රාත්‍රියට බටර් හෝ හොදි සමඟ පාන් ආහාරයට ගන්නවා. පාන් පිටි වල පිෂ්ඨය අධිකයි. පාන් විතරක් නෙවෙයි, පාන් පිටි වලින් සැකසූ ඉඳි ආප්ප, රොටී, පිට්ටු, ෂෝටීස් වර්ග ආදී කිසිදු ආහාරයක් කෙට්ටු වීමට සිහින දකින අයෙකුට නම් සුදුසු නැහැ.

විනෝද චාරිකා සහ උත්සව අවස්ථාවන්

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගී වෙනකොට සමහරුන්ට අමතක වෙනවා තමන් ඩයට් කරන කෙනෙක් බව. ගෙදරදී හොඳින් ආහාර පාලනය කරපු කෙනා, පිටදී ඇති තරම් කාලා ශරීරයට මේදය සහ පිෂ්ඨය ගොඩක් එකතු කර ගන්නවා. ඊට පස්සේ තියෙන හැම අතුරුපසම කාලා ශරීරයට සීනි ගොඩක් එකතු කර ගන්නවා. සතියක් විතර ආහාර පාලනය කරමින්, ලබා ගත්තු ප්‍රතිඵලය එක උත්සව අවස්ථාවකින් කෙලවර කර ගන්නවා.

රස සෙවීම

වර්තමාන පරම්පරාවේ තිබෙන ලොකු අඩුපාඩුවක් තමයි රසට ලොල් වීම. සීනි භාවිතය අඩු කරන්න කියලා මොන තරම් උපදෙස් ලැබුණත්, ඔබ තේ බොන්නේ සීනි දාලා. ඒ වගේම තමයි, සීනි වෙනුවට හකුරු හෝ රට ඉඳි සමඟ තේ බොන අයත් ඉන්නවා. වර්තමානයේ ගොඩක් හකුරු නිෂ්පාදකයන් තමන්ගේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීමේ පරමාර්ථයෙන් හකුරු නිෂ්පාදනය කරන්නෙත් සීනි ගොඩක් මිශ්‍ර කරලා. වැඩිපුර රට ඉඳි භාවිතයෙනුත් තරබාරු වෙනවා.

ඒ වගේම තමයි අද කාලයේ දරුවෝ, අම්මා නිවසේ සෞඛ්‍යාරක්ෂිතව හදන කෑම එක ප්‍රතික්ෂේප කරලා, කඩවල තෙල් සහ රසකාරක දාලා හදන කෑම කනවා. තරබාරු බවෙන් මිදෙන්න ඔබට බැරි මේ පුරුදු නිසායි.

උත්සාහය අත හැරීම

කාලා මහත් වෙන එක තරම් ලේසි නැහැ ඇඟ අඩු කර ගන්න එක. ඩයට් කරන අතරතුර, එක දවසක් පරණ විදිහට කෑවොත් ආයෙත් මහත් වෙනවා. බර අඩු වීම සිදු වන්නේ ඉතාමත් හෙමින්. හිතන තරම් ප්‍රතිඵල නෑ කියලා දැනුනම සමහරු තමන්ගේ උත්සාහය අත ඇරලා දානවා. ඒක හරිම අපරාධයක්.