Beauty

පොල් තෙල් සහ බිත්තර වලින් ආකර්ශනීය කෙස් කළඹක්

පොල් තෙල් සහ බිත්තර කියන්නේ අපේ හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය සපයන අමු ද්‍රව්‍ය දෙකක්. ඒ වගේම හිස කෙස් පෝෂණය කරන තවත් පෝෂණීය දේවල් රැසක් තිබෙනවා. ඒවා සමග පොල් තෙල් සහ බිත්තර එකතුවෙන් නීරෝගී කෙස් කළඹක් පවත්වාගෙන යන්නට ඔබට පුළුවන්. මේ එවන් ආලේපන කිහිපයක්.]

01 ආලේපනය – පොල්තෙල්, බිත්තර සහ මීපැණි

භාජනයක් ගෙන එයට පිරිසිදු පොල්තෙල් මේස හැඳි දෙකක් එක්කරන්න.
වෙනත් භාජනයක් ගෙන එයට බිත්තරයක් කඩා දමා හොඳින් මිශ්‍ර වන ලෙස ගසා ගන්න.
දැන් මීපැණි මේස හැන්දක් මෙම භාජනයට එක්කරන්න.
ඊළඟ පියවර ලෙස මෙම අමුද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කර හිසකෙස් මත ආලේප කරන ආලේපනය සකස් කර ගන්න.
ආලේපනය සකස් කර ගත් පසුව කේශ මූල මත ආලේප වන පරිදි හිස පුරා හොඳින් ආලේපනය කර සම්භාහනයක් සිදු කරන්න.
විනාඩි 45 ක් පමණ රැඳී සිට මෘදු ෂැම්පු යොදා හිසකෙස් සෝදා පිරිසිදු කර ගන්න.

මෙම ආලේපනයෙන් හිසකෙස් සඳහා අත්වන සෞඛ්‍යය ප්‍රතිලාභ

මෙම ආලේපනය හානි සිදුවී මලානික වූ හිසකෙස් සඳහා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනවා. හිසකෙස් වර්ධනයට අවශ්‍ය වන ප්‍රෝටීන් සහ වෙනත් පෝෂක බිත්තර තුල අන්තර්ගත වන අතර මූල කේශද සවිමත් කර හිසකෙස් ප්‍රමාණය වැඩි කරනවා.පොල්තෙල් සහ මීපැණි මගින් හිසකෙස් වල සජලනතාවය ආරක්‍ෂා කර සිනිදු ස්වභාවය පවත්වා ගනු ලබනවා.

02 ආලේපනය – බිත්තර, පොලේතෙල් සහ කොට්ටම්බා තෙල් ආලේපනය

භාජනයක් ගෙන පොල්තෙල් මේස හැඳි දෙකක් එක්කරන්න.
වෙනත් භාජනයක් ගෙන බිත්තරයක් කඩා දමා හොඳින් ගසා ගන්න.
කොට්ටම්බා තෙල් මේස හැඳි පහක් එක්කර ගන්න.
ඉන් පසුව මෙම අමුද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කර ආලේපනය සකස් කර ගන්න.
ඉහත ආලේපනය මෙන්ම මෙයත් හිසකෙස් මත හොඳින් ආලේප කර සම්භාහනය කර විනාඩි 45 ක් පමණ සිට ෂැම්පු යොදා හිසකෙස් සෝදා පිරිසිදු කර ගන්න.

මෙහි අඩංගු වන පොල්තෙල් සහ කොට්ටම්බා තෙල් එකට මිශ්‍ර වූ විට හිසකෙස් වලට සිදු වන හානිය වැළක්වී හිසකෙස් සිනිඳු කර සවිමත් කරනු ලබනවා.

මෙම ආලේපන සතියට දෙවරක් හිසේ ආලේප කර මෙම සත්කාර ක්‍රමය අනුගමනය කරන්න. එවිට ඔබේ හිසකෙස් ප්‍රමාණය වර්ධනයවී ශක්තිමත් සහ සවිමත් හිසකෙස් ඔබට හිමි වේවි.