News

ආසිරි සමූහයේ රෝහල් හතරකට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා ප්‍රතීතන සහතිකය හිමිවෙයි

ආසිරි රෝහල් සමූහයේ රෝගී සුරක්ෂිතභාවය හා උසස් සෞඛ්‍ය සේවා ප්‍රමිතිය සඳහා වූ කැපවීම අගයමින් එම රෝහල් සමූහයට අයත් කොළඹ ආසිරි ශල්‍ය සහ ආසිරි මෙඩිකල්, ආසිරි ගාල්ල සහ ආසිරි මාතර යන රෝහල්, ‘ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ’ (Australian Council on Healthcare Standards International -ACHSI) ප්‍රතීතන සහතිකය දිනාගැනීමට සමත්ව තිබේ.

කොවිඩ්-19 වසංගතය බොහෝ දෙනෙකුට විශාල බලපෑමක් එල්ල කර ඇති අතර, එම අභියෝගවලට වැඩි වශයෙන් නිරාවරණය වී සිටින්නේ සෞඛ්‍ය සේවා ආයතන සහ වසංගතයට එරෙහිව ක්‍රියාකරන සමස්ත ඉදිරිපෙළ කාර්ය මණ්ඩලයයි. එහිදී උසස් ප්‍රමිතියෙන් යුතු ප්‍රතිකාර සේවාවක් රෝගීන්ට මෙන්ම සමස්ත සමාජයට ම වගකීම් සහගතව ලබාදීම යනු කාලීන වශයෙන් අතිශය වැදගත් කටයුත්තකි. මෙවන් අර්බුදකාරී පසුබිමක ජාත්‍යන්තර ප්‍රතීතන සහතිකයක් හිමිකරගැනීම තුළින් රෝගී ප්‍රතිකාර, ආරක්ෂාව හා අවදානම් කළමනාකරණය අතින් උසස් ප්‍රමිතිය පවත්වාගෙන යාමට ආසිරි සමූහය සතු කැපවීම යළි තහවුරු වේ.

‘ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවා ප්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය’ වනාහි රෝගී ප්‍රතිකාර සේවාවේ ගුණාත්මකභාවය හා සුරක්ෂිතතාව හා බැඳුණු ප්‍රමිතීන් තහවුරු කිරීමේ අරමුණ සහිත ජාත්‍යන්තර ආයතනයකි. එම ආයතනය සතු ශක්තිමත් ඇගයීම් සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන හරහා ආසිරි සමූහයට මෙම ප්‍රතීතන සහතිකය හිමිව තිබේ. සායනික, ශල්‍ය වෛද්‍ය සහ ආයතනික යනාදී අංශ රැසක් ආවරණය කරමින් පුළුල් සේවා සැපයුමක් සඳහා අත්‍යවශ්‍ය සාධක රැසක් අන්තර්ගත වන ලෙස එම වැඩසටහන සැකසී ඇත.

සති ගණනාවක් පුරා සිදුකෙරුණු මෙම ප්‍රතීතන සමීක්ෂණය අදාළ ආසිරි රෝහල් තුළ ක්‍රියාත්මක වූයේ ඉකුත් මාර්තු මාසයේදී ය. මෙම තියුණු ඇගැයීම අතරතුරදී එම රෝහල්වල ආයතනික හා සායනික කළමනාකාරීත්වය සම්මුඛ පරීක්ෂණවලට බඳුන් කෙරිණි. තව ද රෝහල් නිරීක්ෂණ චාරිකා, වෛද්‍ය වාර්තා ඇගයීම් වලට අමතරව සෞඛ්‍ය සේවා සැපයුමට අදාළ පහළ ම මට්ටමේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය සමඟ පවා විස්තරාත්මක සාකච්ඡා වට පැවැත්විණි. එම සමස්ත ක්‍රියාවලියෙන් අනතුරුව පිරිනැමුණු මෙම ප්‍රතීතන සහතිකය වසර හතරක කාලයක් සඳහා වලංගු වේ.

“උසස් ප්‍රමිතියෙන් යුත් රෝගී ප්‍රතිකාර සේවාවක් උදෙසා අපගේ අඛණ්ඩ කැපවීම වෙනුවෙන් ලැබුණු ස්වාධීන සහ බාහිර ඇගයීමක් ලෙස මෙම ප්‍රතීතන සහතිකය හැඳින්විය හැකියි. සෞඛ්‍ය සේවා සැපයුමේ පුරෝගාමියෙකු ලෙස එවැනි සහතිකයක් හිමිවීම අපට මහත් සතුටක්. ඒ වගේම අපගේ පාරිභෝගිකයන්ට පිරිනැමූ ප්‍රතිකාර සේවා ප්‍රමිතිය වෙනුවෙන් ජාත්‍යන්තර ඇගයීමක් ලැබීම අප ලද විශාල සාර්ථකත්වයක්. ශ්‍රී ලාංකික ජන සමාජය වෙනුවෙන් උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අප සතු උනන්දුව සහ විශ්වාසයත් මින් මනාව පිළිබිඹු වෙනවා” යනුවෙන් මෙම ප්‍රතීතන සහතිකය පිළිබඳ අදහස් දක්වමින් ආසිරි රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා පැවසීය.

රෝගී සුරක්ෂිතතාව, සේවාවේ උසස් බව හා රෝගීන්ට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම ආදිය හා බැඳුණු පුළුල් සේවා සහ ක්‍රියාකාරකම් රැසක් මෙම ප්‍රතීතන සහතිකය හරහා විස්තර කෙරේ. තව ද රෝගීන්ගේ ආගමික සහ සංස්කෘතික විශ්වාසයන්ට අනුකූලවූ සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ප්‍රමිතිගත, සාක්ෂි මත පදනම් වූ, ඒකීය ස්වභාවයකින් යුතු හා සාකල්‍ය සෞඛ්‍ය සේවාවක් මේ හරහා පිළිබිඹු වේ.

ආසිරි ශල්‍ය, ආසිරි මෙඩිකල්, ආසිරි ගාල්ල සහ ආසිරි මාතර යන රෝහල් සඳහා ලැබුණු මෙම ACHS ප්‍රතීතන සහතිකයට පෙරාතුව 2020 පෙබරවාරි මාසයේදී Joint Commission International (JCI) වෙතින් හිමිවන Gold Seal of Approval® සහතිකය නැවත වරක් දිනාගැනීමට ආසිරි සෙන්ට්‍රල් රෝහල සමත්වීම ද කැපී පෙනේ. එය ද සුරක්ෂිත හා ඵලදායී රෝගී ප්‍රතිකාර සේවාවක් වෙනුවෙන් වූ කැපවීම උදෙසා හිමිවන්නකි.