Health

ඕටිසම් රෝගය හඳුනාගනිමු

දිනෙන් දින ලෝකය පුරා මෙම රෝගයට ගොදුරු වන දරුවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ දී වාර්තා කර තිබිණි. වසර 2000 – 2010 අතර කාලය තුළ එය වයස අවුරුදු 5ට දරුවන් 160දෙනෙකුගෙන් එක් අයෙකු ලෙස ද 2018 වසරේ දී එය දරුවන් 59දෙනෙකුගෙන් එක් අයෙකු ලෙස ද වර්ධනයවී තිබේ. සාමාන්‍යයෙන් ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් මෙම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාව සිව් ගුණයකින් වැඩි බව ද අධ්‍යයනවලින් හෙළිවී තිබේ.

ඕටිසම් රෝගී තත්ත්වය පිළිබඳ මුලින් ම හඳුනාගනු ලැබුවේ අමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් රෝහලේ විශේෂඥ වෛද්‍ය ලියෝ කැනර් මහතා විසිනි. ඒ 1943 වසරේ දී ය. ඉතා සෙමෙන් මනස වැඩෙන දරුවන් පිරිසක් විසින් පෙන්වනු ලබන සුවිශේෂී වූ සමාන ක්‍රියාකාරකම් සැලකිල්ලට ගනිමින් සිදුකළ නිරීක්ෂණයකින් පසු හඳුනාගත් මෙම තත්ත්වය පසුව ඕටිසම් ලෙස නම් කර තිබිණි.

දරුවෙකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන විලාශයක් වන මෙය ලෝකයේ වැඩි වන ප්‍රවණතාවයක් සහිත වර්ධන තත්වයන්ගෙන් එකක් ලෙස හඳුනාගෙන තිබේ. මෙහි දී සිදුවන්නේ මොළයේ ස්නායු වර්ධනයේ අසාමාන්‍යතාවක් හේතුවෙන් දරුවන්ගේ සමාජයීය හැකියාවන් සහ හැසිරීම සම්බන්ධයෙන් ඇතිවන ගැටලුකාරී තත්ත්වයකි. 2018 වන විට අමෙරිකාවේ ඕටිසම් තත්ත්වයෙන් පෙළෙන අවුරුදු 5ට අඩු දරුවන් ප්‍රමාණය දරුවන් 68දෙනෙකුට එක් දරුවෙකු වන අතර ශ්‍රී ලංකාවේ එය දරුවන් 93දෙනෙකුට එක් අයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 375,000ගෙන් 3,750කට මෙම තත්ත්වය ඇතිවන අතර දරුවන් සැලකිල්ලෙන් පරීක්ෂා කිරීම තුළින් මෙම රෝග තත්ත්වය හදුනාගත හැකිය.

ඕටිසම් තත්ත්වයේ දරුවන්ගේ මූලික ලක්ෂණ

1. වයස මාස 12 වන විට දරුවා බහ තේරීමේ ප්‍රමාදයක් දැකිය හැකිවීම.

2. වයස මාස 12 වන විට දරුවා සිය ඇගිල්ල දිගුකර තම අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකිරීම.

3. වයස මාස 16 වන විට දරුවා තනි වචන නොපවැසීම.

4. වයස මාස 24 වන විට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම.

5. ඕනෑ ම අවධියක දී දරුවා ලබාගත් වර්ධන කුසලතා නැතිවී යා හැකිවීම.

මෙම තත්ත්වය උපතින් පළමු වසර තුළ පමණ පෙන්වීමට පටන්ගන්නා අතර දරුවාගේ වයස අවුරුදු දෙක පමණ කාලය රෝග විනිශ්චය සිදු කිරීමට සුදුසු ම කාලය ලෙස හඳුනාගෙන තිබේ. මේ කාලයේ මෙම සංකූලතා හඳුනාගැනීමෙන් රෝගී තත්ත්වය මගහරවාගැනීම පහසු ය. නමුත් කනගාටුවට කරුණ වන්නේ දරුවන් පෙර පාසල් අවධිය දක්වාත් දෙමාපියන්ට මෙය හඳුනාගත නොහැකිවීම ය. එයට හේතුව මේ සම්බන්ධයෙන් දෙමාපියන්ට නිසි දැනුවත්කමක් නොතිබීම බව අධ්‍යයනවලින් හෙළිවී තිබේ.

ඕට්සම් තත්වයේ මූලික ලක්ෂණ

ඕට්සම් තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගත හැකිය. එනම් සමාජ සම්බන්ධතාවයන්ගේ හා සන්නිවේදන ගැටලු සහ සීමිත ප්‍රියතාවයන් හෝ අසාමාන්‍ය ක්‍රියාකාරී බවයි. ඇසට ඇස බලා කතා නොකිරීම, යහළුවන් ඇති කර නොගැනීම, තනිව සෙල්ලම් කිරීමට ඇති කැමැත්ත, සෙල්ලම් කිරීමේ දී වයසට නොගැළපෙන ස්වරූපය, තම සිත තුළ ඇති දේ ප්‍රකාශ කිරීමේ අපහසුව, අන් අයගේ හැගීම්, ප්‍රකාශ, නියෝග හඳුනාගැනීමේ අපහසුව, එක ම වචනය නැවත නැවත උච්ඡාරණය, අරමුණකින් හෝ හේතුවකින් තොරව හැඬීම සහ සිනාසීම වැනි තත්ත්වයන් ඔවුන් තුළින් පිළිබිඹු වේ. එමෙන් ම යම් දෙයක් කෙරෙහි ඇති දැඩි කැමැත්ත හෝ දැඩි අකමැත්ත මෙන් ම වෙනස්කම්වලට දක්වන දැඩි අකමැත්ත, සෙල්ලම් කිරිමේ දී සෙල්ලම් භාණ්ඩයේ කොටසකට පමණක් දැඩි ලැදිකමක් දැක්වීම ආදී සීමිත ප්‍රියතාවන්ද ඔවුන්ගෙන් දැකිය හැකි වේ.

ඕටිසම් ඇති වන්නට බලපාන හේතු

මේ තත්ත්වය සඳහා බලපාන ස්ථිර හේතුවක් මේ දක්වා සොයාගෙන නැත. එසේ වුවත් මේ සඳහා බලපාන බවට අනුමාන කරන හේතු කාරණා කීපයකි. පළමුවැන්න දරු උපත ආශ්‍රිත ගැටලු ය. බොහෝවිට ගැබිනි සමයේ දී මවට ඇතිවන රෝගවලට ලබාගන්නා බෙහෙත් දරුවාට බලපානු ලබයි. එමෙන්ම ගැබිනි සමයේ දී මව මානසික ගැටලු පීඩාවලට ලක්වීමත් දරුවාට අනිසි ලෙස බලපෑ හැකිය. දරුවා බිහිවන අවස්ථාවේ දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හිඟවීම නිසා මොළයට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබී යාමෙන් ඇතිවන තත්ත්වයන් ද හේතු විය හැකිය. එමෙන් ම ජානමය හේතු ද ඕටිසම් ඇතිවීම කෙරෙහි බලපානු ලබයි. මවගේ හෝ පියාගේ පරම්පරාවේ ඕටිසම් තත්ත්වයට ලක් වූ අයෙකු සිටී නම් දරුවන්ටත් එය ඇති වන්නට යම් සම්භාවිතාවක් පවතී. තව ද ළදරු වියේ දී ඇතිවන බරපතළ රෝගී තත්ත්වයන් ද ඔටිසම් ඇතිවීම සදහා හේතු විය හැකිය.

දුම්බීමට යොමුවී සිටින කාන්තාවන්ට ද මෙම තත්ත්වයට ගොදුරු වූ දරුවන් බිහිවීමේ අවදානමක් පවතී. එසේ ම පාරසරික සාධක ද මේ සදහා බලපාන්නට පුළුවන. මෙහි දී බහුල ම සාධකය වන්නේ දරුවන් හුදෙකලා බවට පත්වීමයි. බොහෝ විට දෙමාපියන්ගෙන් ලැබිය යුතු ආදරය, ආරක්ෂාව ඉතාමත් කුඩා කාලයේ දී ම නොලැබී යාම නිසා දරුවන් මෙම තත්ත්වයට ගොදුරුවීමේ ප්‍රවනතාවයක් පවතී.

ඕටිසම් තත්ත්වය ඇති දරුවකු රැකබලා ගන්නේ කෙසේද?

මෙම තත්ත්වයට ලක් වූ දරුවකු සමග කටයුතු කරන විට ඉතාමත් සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය ය. මන්ද යත් වැරදි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමෙන් දරුවාට ඇති අපහසුතා තවත් උග්‍ර විය හැකි හෙයිනි. එනිසා මෙවැනි දරුවෙකුට සැරවැර කිරීම හෝ තරවටු කිරීම කිසිසේත් ම සුදුසු නොවේ. දරුවාට අවශ්‍ය ආදරය සැමවිට ම ලබාදීමට වගබලා ගත යුතුය. එමෙන් ම දරුවාගේ පවතින යහපත් හැසිරීම් වර්ධනය කරන්නටත්, නොගැළපෙන හැසිරීම් ක්‍රමයෙන් පාලනය කරන්නටත් නිතර අවධානය යොමු කළ යුතු වේ.

මේ තත්ත්වය දරුවකුගේ ජීවිත කාලය පුරාවට ම බලපාන තත්ත්වයක් බැවින් කුඩා කාලයේ සිට ම නිවැරදිව තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් වැඩිහිටි වියේ දී මෙම තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව ලැබේ.

ප්‍රතිකාර

මේ සදහා නිශ්චිත ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නොමැති නිසා විවිධ ආකාරයේ මනෝ චිකිත්සක සහ රසායනික චිකිත්සක ප්‍රතිකාරයන් ලබාදිය හැකිය. මොළයේ ස්නායු රසායන ද්‍රව්‍යවල හැසිරීම වෙනස් කරන විශේෂ බෙහෙත් වර්ග, කථන හා භාෂා චිකිත්සාව මේ අතර ප්‍රධාන වේ. විශේෂයෙන් ම මොළයේ ඇති වන අසාමාන්‍ය තත්ත්වයෙන් හා බැඳුණු ගැටලු හඳුනාගැනීමට පවුලේ සියලු ම සාමාජිකයන් සමග එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් මෙවැනි භාරදූර කාර්යයක් සිදු කිරීමට පෙර ළමා මනෝ වෛද්‍යවරයෙක් හමුවීම කළ යුතුය.

ඒ අනුව ඕට්සම් තත්ත්වයේ පරාසය හඳුනාගෙන වෘත්තිය චිකිත්සාව, කථන පුහුණුව ඇතුළු චර්යාමය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. ඒ අනුව දිනකට අවම වශයෙන් පැය 04ක කාලයක් සක්‍රීය ලෙස දරුවා සමග ක්‍රියාකාරම්වල යෙදීම යෝග්‍ය වේ. මෙම දරුවන්ට ද සාමාන්‍ය දරුවන්ට මෙන් ම අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම තුළින් සමාජයට අන්තර් ග්‍රහණය කිරීම තුළින් ඔවුන්ගේ කුසලතා දියුණු කළ හැකිය. ඒ අනුව මෙවැනි දරුවන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස සලකා ඔවුන්ගේ ආරක්ෂාව සහ වර්ධනයට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කිරීම අප කාගේත් වගකීමකි.

සටහන – දුලංජලී මුතුවාඩිගේ