Health Guide

හොඳයි කියලා හිතාගෙන ඉන්න, සිරුරට හොඳ නැති දේවල්

අපි අපේ සිරුරට හොඳයි කියලා හිතාගෙන ඉන්න ගොඩක් දේවල් අපිට හොඳ නැහැ කියලා ඔබට හිතෙන්නෙ නැතිව ඇති. එහෙම වෙන්නෙ ඒ තරමට ම අපි ඒ වගේ දේවල්වලට හුරු වෙලා ඉන්න නිසයි. ඒ වගේ දේවල් කීපයක් ගැනයි මේ.

1. බැක්ටීරියා නාශක සේදුම් කාරක දියර
අපි වැරදියට හිතාගෙන ඉන්න තවත් කාරණයක් තමයි බැක්ටීරියා නාශක දියරවලින් බැක්ටීරියා සියයට සියයක් ම විනාශ වෙනවා කියන එක. ඒ වගේම ඒවා පාවිච්චියෙන් අත් පා සම්පූර්ණයෙන් ම පිරිසිදු වෙනවා කියලත් හිතාගෙන ඉන්නවා. නමුත් ඔබ නොදන්නා කාරණයක් තමයි මේ බැක්ටීරියා නාශක සේදුම් දියරවල සියයට 60ක් විතර අන්තර්ගත වෙලා තියෙන්නෙ ඇල්කොහොල්. මේ ඇල්කොහොල් නිසා සමහර අයට සමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නෙ අසාත්මිකතා වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා සෑම විට ම මේ වගේ බැක්ටීරියා නාශක දියර පාවිච්චි කිරීම සුදුසු නැහැ.

2. එළවළු සහ පළතුරු
අපි හිතාගෙන ඉන්න විදිහටත්, සමහර පෝෂණවේදීන් කියන විදියටත් අපි ආහාරයට ගන්න ඕනෙ එළවළු වර්ග සහ පලතුරු වර්ග විතරමයි. ඉන් එහා කිසිම දෙයක් ආහාරයට ගැනීම හිතකර නැහැ. නමුත් එය සියයට සියයක් නිවැරදි නැහැ. අපි අපේ ආහාරයට සියයට 80ක් ම එළවළු සහ පළතුරු වර්ග එකතු කර ගත යුතුයි. නමුත් මස්, මාළු, කිරි, බිත්තර වගේ දේවලුත් සියයට එකක් විතර ක්ෂණික ආහාරත් කෑවට කමක් නැහැ. නමුත් ක්ෂණික ආහාර ගත යුතු වන්නේ මුළු ආහාරයෙන් සියයට එකක් විතර ප්‍රමාණයක් බව නම් හොඳින් මතක තබා ගත යුතු වෙනවා.

3. මිල වැඩි ඒවා ගුණයි ද?
මිලෙන් වැඩි ආහාර ගුණයෙන් වැඩියි කියලා අපේ සමාජය තුළ මතයක් තියෙනවා. එය හැම තිස්සෙම නිවැරදි නැහැ. මිල වැඩි හැම දෙයක් ම ගුණයෙන් වැඩි නැහැ. නමුත් කාබනික ආහාර, ඒ කියන්නෙ රසායනික ද්‍රව්‍ය යොදන්නෙ නැතිව, පලිබෝධ නාශක යොදන්නෙ නැතිව වගා කරන ආහාරවලට පාරිභෝගිකයාගේ තිබෙන ඉල්ලුම වැඩියි. ඒ වගේම ඒවා සිරුරට ඉතාම හිතකරයි. කාබනික ආහාර වගා කිරීම ඒ තරම් ලේසි පහසු නැහැ. පලිබෝධනාශක යොදන්නෙ නැති නිසා අස්වැන්න අඩුයි. ඒ වගේම ඉල්ලුමට සැපයුම ලබාදෙන්නත් අමාරුයි. ඒ නිසා ඒවායේ මිල වැඩියි.

4. මයික්‍රොවේව් සහ අවන්
කෑම රත් කර ගන්න අවන් එක පාවිච්චි කිරීම සුදුසු නැහැ කියලත් ඒ සඳහා සුදුසුම උපාංගය මයික්‍රොවේව් එක කියලත් අපි අතර මතයක් තිබෙනවා. නමුත් මේ දෙකෙන් ම වෙන්නෙ එකම දෙයයි. වරක් පිසූ ආහාර නැවත රත් කරද්දි එහි ඇති පෝෂ්‍ය පදාර්ථවලට හානිවීම සිදු වෙනවා. එය මයික්‍රොවේවි ද අවන් ද කියලා නැහැ. ඒ නිසා පළමු වරට පිසීමෙන් පසු නැවත රත් කළ යුතු ම නම් ඒ ආහාර මැටි බඳුනකට දමා මද ගින්නේ මදක් රත් කර ගැනීම විතරක් ප්‍රමාණවත්.

සටහන – දුලංජලී මුතුවාඩිගේ