Beauty

පෞරුෂයට වැදගත්ම දේ මෙන්න

ලස්සන දෑ දකින්නත්, ලස්සන අගය කරන්නත්, කිසිවෙක් පසුබට වෙන්නේ නැහැ. ලස්සන ගැන කතා කරනකොට රූපය අමතක කරන්නම බැහැ. රූපයත් සමඟ බැඳී තිබෙන තවත් එක සාධකයක් තමයි පෞරුෂය කියන්නේ. ඔබ කුමන තරාතිරමක, වයසක පුද්ගලයෙක් වුණත් ඔබටම අනන්‍ය වූ පෞරුෂයක් තිබීම වැදගත්.

පෞරුෂය කියන්නේ මොකක්ද?

යම් පුද්ගලයෙක් දෙස බැලූ බැල්ලමට අපි පෞරුෂත්වය ලෙසින් දකින්නේ ඒ පුද්ගලයාගේ බාහිර පෙනුම. ඒ වගේම පුද්ගලයාගේ දක්ෂතා, හැකියාව, මේ හැමදෙයක්ම පෞරුෂය සමග එකතු වෙනවා. නමුත් අපි කෙනෙක්ව දැකපු ගමන් අපි දකින්නේ අදාළ පුද්ගලයාගේ බාහිර පෙනුම. මෙතනදී බාහිර රූපය ගැන කතා කරද්දී රූපලාවණ්‍ය ඉතාමත් වැදගත් වෙනවා. අපිට අවශ්‍ය විදිහට අපිට ගැළපෙන විදිහට පෞරුෂය ගොඩනගාගන්න රූපලාවණ්‍ය උපකාර වෙනවා.

පෞරුෂත්වය වැදගත් වෙන්නේ ඇයි?

වෘත්තීය හා සමාජ සම්බන්ධතාවයක් ගොඩනගාගැනීමේදී යම් පුද්ගලයෙකු දුටු පමණින් ඇතිවන හැඟීම වැදගත් වෙනවා. කෙනෙක්ගේ බාහිර පෙනුම් මත ඔහුව දකින අය ඔහු පිළිබඳව කිසියම් ආකල්පයක් ඇති කරගන්නවා. මේ ආකල්පය ධනාත්මක වෙන්න පුළුවන් ඍණාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අපේ බාහිර පෙනුම ගැන අවබෝධයක් තිබීම වැදගත්. එවිට අපිට පුළුවන් වෙන කෙනෙක් අපිව දකින්න ඕනි ආකාරය පෙන්නුම් කරන්න. උදාහරණයක් විදිහට මම තීරණය කරනවා මම කවුද කියලා. ඒක මගේ බාහිර රූපය තුළින් ගොඩනගාගැනීමට උත්සහ කරනවා. එතැනදී අනිත් අයට පෙන්නුම් කරන්න පුළුවන් මේ වගේ පුද්ගලයෙක් තමයි මම කියල. ඒක අපිට First Impression කියන අවස්ථාවේදී ඉතාමත් වැදගත් වෙනවා. එතැනින් එහාට ගිහින් පෞරුෂත්වය ගැන කතා කරනකොට පුද්ගල හැකියාව, අධ්‍යාපනය, කුසලතාවය කියන සියල්ල පෞරුෂත්වය අයත් වෙනවා. උදාහරණයකින් එය පැහැදිලි කරනවා නම් වෙළෙඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර අවධානය යොමුවන්නේ එහි ඇසුරුමට. ඇසුරුමේ වර්ණය, හැඩය, මේ හැමදෙයක් ගැනම අපේ අවධානය යොමු වෙනවා. බාහිර පෙනුමත් ඒ ඇසුරුමට සමානයි. මේ ඇසුරුම තුළ බොහෝ දේවල් තියෙනවා. ඒ තුළ පුද්ගලයාගේ අධ්‍යාපනය, සමාජ මට්ටම, තරාතිරම, හැකියාවන් ආදිය ගැබ්වී තිබෙනවා. මේ සියල්ල පුද්ගල පෞරුෂයට හේතු වෙනවා. නමුත් ඒය බාහිරට නොපෙනන නිසා අපිට බාහිර පෙනුම ඉතාමත් වැදගත් වෙනවා. හරියට වෙළෙඳ භාණ්ඩයක අලංකාර ඇසුරුමට අපේ හිත යනවා වගේ. මෙතැනදී අපි රූපලාවණ්‍ය එකතු කරගන්නවා අපේ පෞරුෂය ශක්තිමත් කරගන්න.
ඒ වගේම පුද්ගලයෙකුගේ  Hygiene Impact වලටත් රූපලාවණ්‍ය ඉතාමත් වැදගත් වෙනවා. මෙහිදී පිරිසිදුකම ඉතාමත් වැදගත් සාධකයක් බවට පත් වෙනවා. සමෙහි පිරිසිදුකම, ශරීරයේ පිරිසිදුකම, හිසකෙස්වල පිරිසිදුකම ආදී පිරිසිදුකමෙහි විවිධ ස්වරූප තිබෙනවා. ඒ අනුව සෞඛ්‍යය රැකගන්නත් රූපලාවණ්‍ය වැදගත් වෙනවා. කෙනෙක්ගේ පිරිසිදුකම ආරක්ෂා කරගැනීමටත් රූපලාවණ්‍ය භාවිත කරනු ලබනවා. දෙවෙනුව බාහිර රූපය ගොඩනංවා හොඳ පෞරුෂයක් ගොඩනංවාගැනීමට රූපලාවණ්‍ය වැදගත් වෙනවා.

පිරිසිදුකම පවත්වාගන්නේ කොහොමද? ඊට රූපලාවණ්‍යයෙන් ලැබෙන්නේ කොයිවගේ අනුබලයක්ද?

පිරිසිදුකම ගැන කතා කරද්දී සම අමතක කරන්නම බැහැ. සම කියන්නේ අපේ විශාලතම ඉන්ද්‍රිය. මුලින්ම කරන්න ඕනි අපේ සම හඳුනාගැනීම. තමන් දන්නවානම් මගේ සම වියලි සමක්, සාමාන්‍ය සමක්, තෙල් සහිත සමක් ද කියලා සමට ගැළපෙන පිරිසිදුකාරකයක් තෝරාගැනීම වැදගත්. වෙළෙඳපොළෙන් පිරිසිදුකාරකයක් මිලදී ගනිද්දී අන්තර්ගතය ගැන සැලකිලිමත් විය යුතුයි. එතැනදී පිරිසිදුකාරකයේ

1. PHය අගය සමට හිතකර විය යුතුයි.

2. සබන් රහිත පිරිසිදුකාරයක් විය යුතුයි.

PH අගය ගත්විට එය 4.5 – 5.5ත් අතර අගයක් ගත යුතු වෙනවා.

ඊළඟට හිසකෙස් ගැන කතා කළොත්, ගැළපෙන ෂැම්පු හා කන්ඩිෂනර් වර්ගයක් භාවිත කළ යුතු වෙනවා. ෂැම්පුවලින් හිසකෙස් පිරිසිදු කරන අතර කෙස්ගසෙහි බාහිර ආරක්ෂාවට කන්ඩිෂනර් වැදගත් වෙනවා. ඒ වගේම දින තුනකට වරක්වත් ස්නානය කිරීම වැදගත් වෙනවා. දිනපතා දවසට දෙවරක් මුහුණ හා ඇඟ සේදීම පිරිසිදුකම පවත්වාගෙන යන්න අත්‍යාවශ්‍ය සාධකයක්.
ඒවගේම ශරීරයේ පිරිසිදුකම පවත්වාගැනීමත් ඉතාමත් වැදගත්. උෂ්ණ අධික රටක ජීවත්වන අපිට දහඩිය දමන එක වළක්වාගන්න බැහැ. නමුත් දහඩිය දුගඳ වළක්වාගන්න පුළුවන්. ඒ සඳහා ඩියෝඩ්‍රන්ට් එකක් භාවිත කිරීම වැදගත් වෙනවා.
ඒ වගේම අනවශ්‍ය රෝම ඉවත් කිරීම වැදගත්. අත්, පා, අත්යට ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් සමට පැහැදිලිභාවයක් ලැබෙනවා. ඒ වගේම දහඩිය රැදිලා දුර්ගන්ධයක් එන්නෙත් නැහැ.

තමන්ට ගැළපෙන ෂැම්පු හා කන්ඩිෂනර් ඒකක් තෝරාගැනීම වැදගත් නේද? ඒය සිදුකරන්නේ කොහොමද?

ඔව්. මුලින්ම ෂැම්පු එකක් මිලදී ගැනීමේදී එහි අන්තර්ගතය පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. ඊළඟට අපේ හිසකෙස්වල ස්වභාවය කෙබඳුද යන්න පිළිබඳව සොයා බැලිය යුතු වෙනවා. හිස්කබල වියළි ද, තෙල් සහිත ද යන්න සොයා බැලිය යුතුයි. හිස්කෙස් කළඹ තුනී ද, කැරළි සහිත ද, පිම්බෙන සුළු ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
ඒ අනුව ගොඩාක් කඩා හැලෙන කෙස් කළඹක් නම් වොලියුම් ෂැම්පු ඒකක් භාවිත කළ යුතුයි. ඉන් කෙස් කළඹට පිම්බුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා.
හෙයා කලර්, ස්ටේ්‍රට් කිරීම මගින් කෘත්‍රිමව වෙනස් කළ කොණ්ඩ වෙනුවෙන් ගැළපෙන ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිත කළ යුතු වෙනවා. ෂැම්පු භාවිත කරන සෑම අවස්ථාවකදීම කන්ඩිෂනර් එකක් භාවිත කිරීමට මතක තබා ගත යුතුයි.

හෂිනි ගුණසේකර (අධ්‍යක්ෂිකා නැචුරල් සැලුන්)

සටහන – නදීරා අමරසිංහ