Beauty

පෞරුෂයට ගැළපෙන්න අඳින්න

සාර්ථක පුද්ගලයෙකු ලෙසින් ලෝකය හමුවේ පෙනී සිටිමට හැම කෙනෙකුටම සිහිනයක් තියෙනවා. ඔබ කවුද කියන එක ලෝකයට පෙන්නන පුළුවන් එක ක්‍රමයක් තමයි ඔබේ පෞරුෂය. සමාජය තුළ ඔබට ගෞරවනීය ස්ථානයක් හිමිකරගැනීම පිණිසත් පෞරුෂය උදව් වෙනවා. රූපලාවණ්‍ය මගින් ඔබගේ පෞරුෂය පවත්වාගන්නේ කෙලෙස ද යන්න පිළිබඳව අපි පසුගිය කලාපයෙන් කතාබහ කළා.
පෞරුෂයට ගැළපෙන පරිදි තැනට උචිත ඇඳුම් පැලදුම් තෝරාගන්නේ කොහොමද කියලා අද අපි කතා කරන්න සූදානම්.

තැනේ හැටියට ඇණේ ගහන්න.

මෙහිදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. අපි සහභාගී වන උත්සවය එහි සමාජ මට්ටම උත්සවයේ ඇති සංස්කෘතික වටපිටාව ආදී කරුණු පිළිබඳව හොඳින් සිතා බැලීම ගොඩක් වැදගත්. ඇතැම් උත්සවයන්ට ඇරයුම් කිරීමේ දී ආරාධනා පත්‍රයේ ම උත්සවය සහභාගී විය යුතු ආකාරය දක්වා තිබෙනවා. මෙවැනි සුළු සුළු කරුණු පිළිබඳව හොඳින් සැලකිලිමත්වීම පෞරුෂය ඔප්නංවාලීම කෙරෙහි ඍජුවම බලපානු ලබනවා.

වෙලාව ගොඩක් වැදගත් ඒ ගැනත් හිතන්න.

ඒ වගේම උත්සවයන්ට සහභාගීවීමේ දී ඔබේ හිස කෙස් විලාසිතාව, මේක්අප්, ඇඳුම හා ආභරණ ආදිය ඔබේ පෞරුෂය / ස්වරූපය තීරණය කිරීමට ඉවහල් වෙනවා. උත්සවයකට සහභාගිවීමේ දී අවස්ථානෝචිත ලෙස වර්ණ තෝරාගැනීමට පරිස්සම් විය යුතුයි. දිවා කාලයේ දී ඇසට ප්‍රිය ළා වර්ණත් (Light Colors ) රාත්‍රී කාලයේ දී තද වර්ණ (Dark colors) තෝරාගන්නට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. දහවල් කාලයේ දී හා උදය වරුවේ දී තද වර්ණ තෝරාගැනීම නිසා හිරු එළියට ඔරොත්තු නොදීම, දහඩිය දැමීම වැනි ප්‍රශ්න ඇතිවීමට පුළුවන්.

ශරීර ප්‍රමාණය ඇඟේ හැඩය ගැනත් හිතන්න ඕනි.

ශරීර ප්‍රමාණය සහ ශරීරයේ හැඩයට අනුකූලව ඇඳුම් තෝරාගැනීමත් ඔබේ පෞරුෂය ඔප් නැංවීමට ඉවහල් වෙනවා. මෙහිදී ඔබ තෝරාගන්නා ඇඳුමේ වර්ණය, ආභරණ, මේක්අප්, කොණ්ඩා විලාසිතාව ශරීර හැඩයට උචිත විය යුතුයි. ඔබ භාවිත කරනු ලබන ආභරණ ආදියෙන් ඔබේ වයසට, තරාතිරමට හා රූපය සමග නොගැළපීම ඔබේ පෞරුෂයට අහිතකර ලෙසින් බලපානු ලබනවා.

වයසට යද්දී ලස්සන ගැන හිතන්න හොඳ නැද්ද?

අතීතයේ දී රූපලාවණ්‍ය හා දෛනික ජීවිතය අතර බොහෝ කිට්ටු සම්බන්ධතාවක් තිබුණු බවට ඉතිහාසය සාක්ෂි දරනවා. නමුත් වර්තමානයේ දී වයසට යද්දි තමන් ලස්සනට ඉන්න ඕනි කියන ඒක ගොඩක්දෙනෙකුට අමතකව ගොස් ඇති දෙයක්. පෞරුෂයට වයසක් තීරණය කරන්න බැහැ. ඒ නිසා සෑම වයසක දී ම පිරිසිදු ලස්සන පෙනුමක් පවත්වාගෙන යාම ඉතාමත් වැදගත්.
බොහෝ කාන්තාවන් විවාහයෙන් පස්සේ රූපය ගැන ලස්සන ගැන සිතීම අමතක කර දමනවා. තමන්ගේ පෞරුෂය හා රූපය නිසි අයුරින් පවත්වාගෙන යාම සමාජ ප්‍රතිරූපය ගොඩනගාගැනීමට වගේ ම පෞද්ගලික ජීවිතයේ දීත් ගොඩක් වැදගත්බව ඔබ මතක තබාගත යුතු දෙයක්.
එය ඔබේ ආත්ම විශ්වාසය ගොඩනගාගැනීමට වගේම පෞරුෂය නිසි අයුරින් පවත්වා ගැනීමටත් ඉවහල් වෙනවා.

ලස්සනට ඉන්න ඕනි කාන්තාවන් විතරයිද?

ඒ වගේ ම තමයි ලස්සනට ඉන්න ඕනෙ කාන්තාවන් පමණයි කියලත් සමාජ මතයක් ගොඩනැගිල තියෙනවා.නමුත් රූපලාවණ්‍ය කියන්නේ කාන්තාවන්ට වගේම පිරිමින්ටත් එක සේ වැදගත් වන්නක්. මෙහිදී කාන්තා පිරිමි වශයෙන් භේදයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. උදාහරණයක් ලෙසින් විවාහක යුවලක් උත්සවයකට සහභාගිවීමේ දී බිරිඳ ඉතා සුන්දරවත්, සැමියා තමන්ගේ ඇඳුම් පැලඳුම්, පෞරුෂය ආදිය පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වා තිබීමත් දකින්න ලැබෙන දෙයක්. මෙය සැමියාගේ පෞරුෂයට අහිතකර අයුරින් බලපාන කරුණක්. ඒ නිසා පෞරුෂය සුරැකෙන පරිදිත්, අවස්ථාවට උචිත අයුරිනුත් සිය ඇඳුම් පැලඳුම් තෝරාගැනීම කාන්තා පිරිමි කාටත් ඒක සමානව වැදගත් වෙනවා.
මේ පුංචි පුංචි කරුණු පිළිබඳව ගොඩක් සැලිකිලිමත්වීමෙන් තැනට උචිත පරිදි හැඩවෙන, අවස්ථාවට අනුව හැසිරෙන ශක්තිමත් පෞරුෂයක හිමිකරුවෙකු, හිමිකාරියක වන්නට ඔබට පුළුවන්.

හෂිනි ගුණසේකර
අධ්‍යක්ෂිකා – නැචුරල් සැලෝන්

සටහන – නදීරා අමරසිංහ