Health Guide

කළු දිලීර රෝගය ලංකාවට ඇවිත්ද? ඒ ගැන සම්පුර්ණ විස්තරය මෙන්න

කළු දිලීර ආවෝ ආවෝ කියල සමහර pages මර ලතෝනි දෙනව තමන්ගෙ රීච් වැඩි කරගන්නද මන්ද. මම දැක්ක සමහර වෛද්‍යවරුත් ඕක කියල තිබ්බ. අමුතුවෙන් එන්න දෙයක් නෑ කලු දිලීර එහෙමත් නැත්තන් mucormycosis ඉස්සර ඉඳන් පරිසරයේ තිබුනු දෙයක්.
කළු දිලීර බොහෝ විට පස්, දිරා යන එලවලු පලතුරු ශාක කොටස්, ගොඩනැගිලි වල තෙත් බිත්ති හෝ වෙනත් තෙත් පරිසරයක හට ගනී. ප්‍රතිශක්තීකරණය හීන වූ පුද්ගලයෙකුට එය ආසාදනය වෙන්න අවධානමක් තියෙනව. ඒ කියන්නෙ පාලනයෙන් තොර දියවැඩියාව තියෙන හෝ දැඩි ලෙස ප්‍රතිශක්තිකරණය හීන වූ පිළිකා රෝගීන්, දීර්ග කාලීන නිදන් ගත රෝග ඇති අය, අවයව බද්ධ කල අය හෝ එච්.අයි.වී / ඒඩ්ස් ඇති පුද්ගලයින්ගේ මෙය ජීවිතයට තර්ජනයක් පවා විය හැකිය. නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙන්නේ නැත.
මෙම ආසාදනයන් බොහෝ දුලබයි. නමුත් ඉහත රතිශක්තීකරණය හීන වූ පුද්ගලයෙකු වාතයේ ඇති එම දිලීර බීජාණු ආශ්වාස කිරීමෙන් පසු කළු දිලීර පෙනහළු වලට බලපෑ හැකි අතර කැපීම හෝ පිළිස්සීම වැනි මතුපිට තුවාල වීමෙන් පසු සමටද එය බලපායි. රෝග ලක්ෂණ ශරීරයේ දිලීර වර්ධනය වන ස්ථානය මත රඳා පවතී, නමුත් මුහුණේ ඉදිමීම, උණ, සමේ වණ සහ මුඛයේ කළු තුවාල ඇති විය හැක. ඊට අමතරව මෙම කලු දිලීර ආසාදනය හිසේ කෝටරක සහ මොළයටද විශාල බලපෑම් කල හැකි දරුනු ආසාදනයකි.
එතකොට මේක COVID19 ට ඇති සම්බන්ධය මොකක්ද?
කොවිඩ් රෝගීන්ගේද රෝගී අවධියේ පතිශක්තීකරණ පද්ධතිය දුර්වලව පවතී. එමෙන්ම ඔවුනට සමහර අත්‍යාවශ්‍ය අවස්තාවලදී (සමහර අවස්තා වලදී ජීවිතය රැක ගැනීමේ අරමුනින් – Life saving emergencies) දෙන steroid ඖශධ නිසාද ප්‍රතිශක්තීකරණය යම් තරමකට හීනවීම විය හැක.
එමෙන්ම දැඩි සත්කාර ප්‍රතිකාර ලබන රෝගීන් ඔක්සිජන් චිකිත්සාවට භාජනය වන රෝගීන් එමඟින් තෙතමනයට නිරාවරණය වීම ඉහළ නැංවිය හැකි අතර දිලීර ආසාදනවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති විය හැක.
එම හේතු නිසා මෙම කලු දිලීර ආසාදනය දැනට සමහර කොවිඩ් රෝගීන්ට ආසාදනය ඇති බවට විශ්වාස කෙරේ. නමුත් මෙය බොහෝ දුර්ලභ තත්වයකි.
දිලීරය හිසේ කෝටරක සහ මොලයට බලපෑ විට, නාස් තද වීම. හිසරදය, මුහුන ඉදිමීම, නාසයේ ලේ ගැලීම, ඇසේ ඉදිමීම සහ වේදනාව, පෙනීම නොපැහැදිලි සහ අවසානයේ පෙනීම නැති වීම සිදු විය හැක.
පෙනහලු වලට ආසදනය වූ විට උණ, කැස්ස, පපුව රිදීම සහ හුස්ම ගැනීමෙ අපහසුතා ඇතිවිය හැක. ප්‍රතිශක්තීකරණය හීන වූ අවස්තාවක සිටින රෝගියෙකට මෙම ආසදනය මාරාන්තික විය හැක.
මෙම ආසාදනය ඉන්දියාවේ කොවිඩ් රෝගීන් අතර සාපේක්ශව වැඩියෙන් දක්නට ලැබේ. රෝගි අවදියේ මෙන්ම සුවවීමෙන් පසුවද මෙය වාර්තා වෙමින් පවතින අතර සමහර මරණ වලටද එය හේතුවක් වී ඇත.
ඔබ දැන ගතයුතු වැදගත්ම කරුණ නම්, සමහර පේජ් වල ලතෝනි දුන්නාට එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරෙන්නේ නැත. නමුත් කොවිඩ් ආසාදිත ඉහත දැක්වූ කරුණු හේතුවෙන් ප්‍රතිශක්තීකරණය හීන වූ අයට සුව වූ පසුවද මෙම ආසාදනයේ මාරන්තික ප්‍රතිවිපාක වලට අවධානමක් ඇත. නමුත් සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට , එම දිලීරය පරිසරයේ තිබුනු පලියට එම ආසදනය වැලදීමේ අවධානමක් නොමැති තරම්‍ ය.

Dr.Dilan Metiwalakumbura
MBBS, MSc, MD