Health

මාරක පිළිකාව ගැන දැනගත යුතු ම කරුණු ටිකක් මෙන්න

පිළිකා යනු කුමක්ද?

පිළිකා යනු රෝග එකතුවකට දෙන පුළුල් යෙදුමකි. සෛල ටි්‍රලියන ගණනක් සෑදී ඇති මිනිස් සිරුරේ ඕනෑම තැනක පිළිකා ආරම්භ විය හැකිය. සාමාන්‍යයෙන් මිනිස් සෛල වර්ධනය වී බෙදී ශරීරයට අවශ්‍ය පරිදි නව සෛල සෑදේ. සෛල වයසට ගිය විට හෝ හානි වූ විට ඒවා මිය යන අතර නව සෛල ඒවායේ තැන ගනී. සෛල මියයන්නේ නැතිව එම සෛල පාලනය කළ නොහැකි ලෙස බෙදෙමින් වර්ධන වීමෙන් පිළිකා තත්ත්වය උදා වේ. සමහර පිළිකා වේගයෙන් සෛල වර්ධනයට හේතු වන අතර අනෙක් ඒවා සෛල වර්ධනයට හා බෙදීමට මන්දගාමී වේ. පිළිකා සෛල සාමාන්‍ය සෛලවලින් වෙනස් වන්නේ ඒවා පාලනයෙන් බැහැරව ආක්‍රමණශීලී වීම නිසාය.
පිළිකා සෛල එක් ප්‍රදේශයක දිස්විය හැකි අතර පසුව වසා ගැටති හරහා පැතිරෙයි. එමෙන්ම පිළිකා සෛල රුධිරය හරහා ශරීරය පුරා විහිදිය හැකිය.
මෙම පිළිකා වර්ධනය වනවිට පිළිකා සෛල කැඩී ගොස් රුධිරය හෝ වසා පද්ධතිය හරහා ශරීරයේ දුරබැහැර ප්‍රදේශවලට ගොස් මුල් ගෙඩියට වඩා දුරින් නව පිළිකා ඇති කරයි. පිළිකා සෛල ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිරෙන ක්‍රියාවලිය මෙටාස්ටැසිස් (Metastasis) ලෙස හැඳින්වේ. මේ ලෙස ශරීරයේ අනෙකුත් ස්ථානවලට විහිදී ගිය පසු පිළිකාවක් පූර්ණ ලෙස සුව කිරීමේ හැකියාව නැතිවී යනු ඇත. පොදුවේ ගත් කළ, ශරීරයේ විහිදී ගිය පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ මූලික පරමාර්ථය වන්නේ පිළිකා වර්ධනය පාලනය කිරීම හෝ එයින් ඇතිවන රෝග ලක්ෂණ සමනය කිරීම පමණි.
බොහෝ පිළිකා රෝගීන් මිය යන්නේ එය ශරීරය පුරා විහිදීම නිසාය. ශල්‍ය කර්මයක් කිරීමෙන් පිළිකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැකිය. තවදුරටත් එම ස්ථානයේ තිබිය හැකි පිළිකා සෛල විකිරණ ප්‍රතිකාරයෙන් විනාශ කර දැමිය හැකිය. මේ සියලු දේ කළ ද පිළිකා සෛල ශරීරයේ විදිහීයාම වැළැක්වීම සඳහා ඖෂධ ප්‍රතිකාර කළ යුතු වනු ඇත. මෙම තත්ත්වය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මහරගම පිළිකා රෝහල පමණක් නොව නුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, බදුල්ල, මඩකලපුව, රත්නපුර හා කුරුණෑගල යන පළාත් රෝහල්වල ද පිළිකා පුළුල් සංයුක්ත ප්‍රතිකාර පහසුකම් ඒකක ස්ථාපිත කර ඇත.

පිළිකා ජානමයද?

පිළිකාවකට හේතු විය හැකි වෙනත් වෙනස්කම් සිදුවන්නේ බොහෝ විට තම ජීවන රටාව, ආහාරය සහ ඇබ්බැහි වූ පළපරුදු නිසාය. එහෙත්, උරුම වූ ජාන විකෘති නිසා පිළිකා සෑදෙන්නේ පිළිකා රෝගීන්ගෙන් සියයට 5-10 අතර ප්‍රමාණයකට පමණි. පිළිකාවලින් ඉතිරි සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් සිදුවන්නේ වයස්ගත වීම සහ දුම්කොළ දුම හා විකිරණ වැනි පාරිසරික සාධක නිසාය. මෙම පිළිකා “පාරම්පරික නොවන” හෝ “ස්වයංසිද්ධ” පිළිකා ලෙස හැඳින්වේ. සමහර හේතු සාධක වැළකීමෙන් රෝගය වැලඳීම අවම කරගත හැකිය. සමහරක් කිසිසේත්ම වළක්වා ගත නොහැකිය. ඇතැම් රෝග වැළැක්වීමට උත්සාහ කිරීමෙන්ද පලයක් නැත. එහෙත් පිළිකා රෝග පක්ෂණ පිළිබඳ යම් අවබෝධයකින් සිටීම වැදගත් වනු ඇත. එහෙත් ඒ සෑම රෝග ලක්ෂණයක්ම පිළිකාවක් යැයි කොහෙත්ම අප තීරණය කළ යුතු නැත. දුම්පානය, අධික මත්පැන් පානය, අධික ශරීර බර, කායික අක්‍රියතාව, දුර්වල පෝෂණය ඇතැම් හේතූන් වේ. මේ සියල්ල අතර වැළැක්විය නොහැකිම අවදානම් සාධකය වනුයේ වයස්ගතවීම ය. පිළිකා රෝගීන්ගෙන් සියයට 87ක්ම වයස අවුරුදු 50 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.
කල්තබා හඳුනාගැනීම පිළිකා සුවයට උදව් වන බැව් බොහෝ විට අප අසා ඇතත්, එය සෑම විටම එසේ නොවන බව දැන් වැටහී ඇත. සමහර පිළිකා කොතරම් කලින් හඳුනාගත්ත ද, එයට ඒ මොහොතේදී ප්‍රතිකාර කළත් පසුව ප්‍රතිකාර කළත් එම රෝගියා පිළිකා රෝගයෙන් මිය යන දිනය වෙනස් වන්නේ නැත. මේ අනුව අනවශ්‍ය ලෙස වියදම් කරමින් සතියක් පාසා විවිධ පරීක්ෂණ කළත්, එහි ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නැත. එයට අවශ්‍ය නිසි පරීක්ෂණ ඔබගේ වෛද්‍යවරයා නිසි වෙලාවට කරදෙනු ඇත.

පිළිකා වර්ග

පිළිකා වර්ග 100කට වඩා තිබේ. පිළිකා වර්ග සාමාන්‍යයෙන් නම් කරනු ලබන්නේ පිළිකා ඇතිවන අවයවය හෝ පටක පදනම්කොටගෙන ය. උදාහරණයක් ලෙස පෙනහලු පිළිකා පෙනහලු සෛලවලින් ආරම්භ වන අතර මොළයේ පිළිකා මොළයේ සෛලවලින් ආරම්භ වේ. පිළිකා, සෑදෙන සෛල වර්ගය අනුව ද විස්තර කළ හැකිය.
කාසිනොමා (Carcinoma) යනු වඩාත් සුලභ පිළිකා නාමයකි. ඒවා සෑදී ඇත්තේ ශරීරයේ ඇතුළත හා පිටත ආවරණය කරන සෛල වන අපිච්ඡේද සෛල මගිනි.
සාකොමා (Sarcoma යනු මාංශ පේශි, මේදය, රුධිර නාල, වසා ගැටිති සහ තන්තුමය පටක ඇතුළු අස්ථි හා මෘදු පටකවල ඇතිවන පිළිකා වේ. ඇටමිදුලුවල රුධිරය සෑදෙන පටකවලින් ආරම්භ වන පිළිකා ලියුකේමියාව
ලෙස හැඳින්වේ.
ලිම්ෆෝමා (Lymphoma) යනු වසා සෛලවලින් ආරම්භ වන පිළිකාවකි. වසා ගැටිති, අසාමාන්‍ය වසා සෛල ඇති අනෙකුත් අවයවවල ද මෙය සෑදීමට ඉඩකඩ ඇත. වසාගැටිති ඉදිමීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයකි.
පිළිකා ආරම්භ වන හා පැතිරෙන ආකාරය පිළිබඳ සමහර ජනප්‍රිය අදහස්, විද්‍යාත්මකව වැරදි ය. විශේෂයෙන් එම අදහස් පැරණි න්‍යායන් තුළ මුල් බැස ඇති විට අර්ථවත් ලෙස පෙනී යා හැකිය. නමුත් පිළිකා පිළිබඳ වැරදි අදහස් අනවශ්‍ය කනස්සල්ලට හේතු විය හැකි අතර එය පිළිකා වැළැක්වීම සහ ප්‍රතිකාර තීරණවලට පවා බාධා ඇති කළ හැකිය.

පිළිකාවක් ය යන්න මරණීය දඬුවමක්?

පිළිකාවක් ය යන්න මරණීය දඬුවමක් නොවේ. එය තවත් එක් රෝගයක් පමණි. 1990 ගණන්වල සිට පිළිකාවෙන් මියයාමේ සම්භාවිතාව ක්‍රමයෙන් පහත වැටී ඇත. එහෙත් අනෙකුත් රෝගවලින් මෙන් නොව මෙම රෝගයෙන් මියයාමේ ප්‍රවණතාව තරමක් ඉහළ ය. එසේ මියයනවිට ඔවුන් ඇතැම්විට වයස්ගතව තමා ගෙන ආ ආයුෂ ද අවසන් කොට තිබිය හැකිය. එසේ නැතහොත් එම වියේදී ඔවුහු වෙන යම් හේතුවකින් හෝ මිය යනු ඇත. එනිසා පිළිකා රෝගයත් මරණයත් අතර හේතුඵල න්‍යායක් නැත. අද ඉතා සාර්ථක ලෙස ප්‍රතිකාර ලබාගත් පිළිකා විශාල රෝගීන් සංඛ්‍යාවක් සාමාන්‍ය ලෙස ජීවත් වෙති. ඉන් කොටසක් රෝගය සම්පූර්ණයෙන්ම සුවවූවන් වන අතර තවත් කොටසක් රෝගය ඉතා හොඳින් පාලනය කොට ගෙන රෝගයත් සමගම ජීවත් වෙති.

පිළිකා බෝ වෙනවාද?

පිළිකා යනු පුද්ගලයෙකුගෙන් පුද්ගලයාට පහසුවෙන් පැතිරෙන බෝවන රෝගයක් නොවේ. එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පිළිකා පැතිර යා හැකි එකම අවස්ථාව වන්නේ ඉන්ද්‍රිය හෝ පටක බද්ධ කිරීමයි. අතීතයේ පිළිකා වැලඳුණු පරිත්‍යාගශීලියෙකුගෙන් ඉන්ද්‍රියයක් හෝ පටකයක් ලබාගන්නා පුද්ගලයෙකුට අනාතගයේදී බද්ධ කිරීම හා සම්බන්ධ පිළිකාවක් ඇතිවීමේ අවදානම වැඩි විය හැකිය.

මගේ ආකල්පය – ධනාත්මක හෝ නිෂේධාත්මක – පිළිකා ඇතිවීමේ අවදානම හෝ සුවවීමේ අවදානම තීරණය කරයිද?

අද වනවිට, පුද්ගලයෙකුගේ “ආකල්පය” ඔහුගේ හෝ ඇයගේ පිළිකාවෙන් වර්ධනය වීමේ හෝ මියයාමේ අවදානමට සම්බන්ධ කරන බවට ඒත්තු ගැන්වෙන විද්‍යාත්මක සාක්ෂි නොමැත. ඔබට පිළිකාවක් තිබේ නම්, සමහර විට දුක, කෝපය හෝ අධෛර්යමත්වීම සාමාන්‍ය දෙයකි. ධනාත්මක ආකල්පනයක් ඇති පුද්ගලයින් සමාජ සම්බන්ධතා පවත්වාගැනීමට සහ ක්‍රියාශීලීව සිටීමට වැඩි ඉඩක් ඇති අතර ශාරීරික ක්‍රියාකාරකම් සහ චිත්තවේගීය සහයෝගය ඔබේ පිළිකාව සමග සාර්ථකව කටයුතු කිරීමට උපකාරී වේ.

පිළිකා සැත්කම් හෝ ගෙඩියක් බයොප්සි (Biopsy) මගින් ශරීරයේ පිළිකා පැතිර යා හැකි ද?

ශල්‍යකර්ම මගින් පිළිකා ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිරීමේ අවස්ථාව අතිශයින්ම අඩුය. සම්මත ක්‍රියා පටිපාටීන් අනුගමනය කරමින්, ශල්‍ය වෛද්‍යවරුන් විශේෂ ක්‍රම භාවිත කරන අරත පිළිකා ඉවත් කිරීම සඳහා බයෝප්සි හෝ සැත්කම් අතරතුර පිළිකා සෛල පැතිරීම වැළැක්වීමට බොහෝ පියවර ගනී. නිදසුනක් වශයෙන්, ඔවුන් ශරීරයේ එක් ප්‍රදේශයකට වඩා පටක ඉවත් කළ යුතු නම්, ඔවුන් එක් එක් ප්‍රදේශය සඳහා විවිධ ශල්‍ය මෙවලම් භාවිත කරයි. එමෙන්ම ශල්‍යකර්මය කිරීමට පෙර පිළිකාව කුමන අදියරක තිබේ ද යන්න නිර්ණය කොට තිබිය යුතුය. ශල්‍යකර්මයක් සඳහා සුදුසු නොවන පිළිකාවක් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට උත්සාහ ගැනීම ඉතා භයංකර වන අතර ඉන් පිළිකාව විහිදී යාමට ඇති ඉඩකඩ වැඩි විය හැකිය.

  • පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා

පිළිකා රෝගය පිළිබඳව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා විසින් ගෙන එන වටිනා ලිපි පෙළ මාසිකව නිරෝගා සඟරාවෙන් කියවන්න .