Health Guide

කුස තුළ සිටින දරුවෙකුගේ වර්ධනය බාල වන්නේ ඇයි? – මහාචාර්ය ටිරාන් දමින්ද ඩයස්

වර්ධනය අඩු දරුවන් බිහිවීම හේතුවෙන් ලෝකයේ මිය යන දරුවන් ප්‍රමාණය දිනකට තිස් දහස ඉක්මවන බව 2015 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකින් පසු ලෝක සෞඛ්‍යය සංවිධානය වාර්තා කර තිබේ. මේ ආකාරයට අලුත බිහිවන දරුවන්ගේ වර්ධනය අඩුවීමට බලපෑ හැකි කරුණු පිළිබඳව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය සහ උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය ටිරාන් දමින්ද ඩයස් මහතා සමග සිදු කළ සාකච්ඡාවකි මේ.

කුස තුළ වැඩෙන කළලයක වර්ධනය වැඩි හෝ අඩු වෙන්න පුළුවන් ද?

ඔව්. වර්ධනය වැඩි වෙන්න වගේ ම අඩු වෙන්නත් පුළුවන්. නමුත් වැඩි වශයෙන්ම සිදු වෙන්නෙ වර්ධනය අඩු වෙන එකයි.

ඒකට හේතු මෙනවාද?

එයට බලපාන කරුණු කීපයක් ම තියෙනවා. පළමු කාරණය දරුවාට වැදෑමහෙන් ගමන් කරන රුධිර ප්‍රමාණය අඩුවීම. දරුවාගේ වර්ධනයට සාපේක්ෂ්ව වැදෑමහෙන් අවශ්‍ය ප්‍රමාණයට රුධිරය ගමන් කරන්නෙ නැත්නම් දරුවාගේ වර්ධනය බාල වෙන්න පුළුවන්. ඒ වගේ ම දරුවාට ජානමය සංකූලතා තිබුණොත් වර්ධනය බාල වෙනවා. තවත් හේතුවක් තමයි කළලය විකසනය වෙන්න පටන්ගත් මුල් කාලයේ මවට ඇතිවන සමහර ආසාදන තත්ත්වයන්. ඒවා දරුවාටත් ඇතිවීම තුළින් වර්ධනය බාල වෙන්න පුළුවන්. ඒ වගේ ම මව පියා දෙදෙනාම ශරීර ප්‍රමාණයෙන් කුඩා අය නම් දරුවාගේ වර්ධනයත් බාල වෙනවා. දරුවාගේ වටේ තිබෙන ජල ප්‍රමාණය අඩුවීම දරුවා කුඩාවීමක් වශයෙන් පෙන්වනවා.

දරුවාගේ වර්ධනය බාල වෙලා කියන කාරණය සොයා ගන්නෙ කොහොමද?

මූලික වශයෙන් මෙය සොයාගන්නෙ ගැබිනි අවදියේ දී සහභාගි වන මාතෘ සායනයේ දී. සායන භාර වෛද්‍යවරයා විසින් මවගේ උදරයේ, නැත්නම් බුද්නයේ උස ටේප් එකෙන් මැනීම සිදු කරනවා. මාසිකව බුද්නයේ උස වර්ධනය විය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නෙ ගර්භයේ සති ගණනට සාපේක්ෂ්ව නියමිත උස ප්‍රමාණයක් තිබිය යුතුයි. එය නිසි ආකාරයට නැත්නම් දරුවාගේ වර්ධනය බාල වෙලා කියලා තීරණය කරන්න පුළුවන්. නමුත් එය තීව්ර පරීක්ෂණයක් නෙවෙයි. ඒ නිසා මේ කාරණය තහවුරු කර ගන්න නම් අනිවාර්යයෙන් ම ස්කෑන් පරීක්ෂාවකට යොමු වෙන්න ඕනෙ.

මේ ස්කෑන් පරීක්ෂාවෙන් මොනවද පරීක්ෂාවට ලක් වෙන්නෙ?

කුස තුළ වැඩෙන දරුවාගේ උස, හිසේ වට ප්‍රමාණය, උදරයේ වට ප්‍රමාණය, අස්ථිවල දිග වගේ දේවල් මැනගන්න පුළුවන්. ඒවා ගර්භයේ සති ගණනට සාපේක්ෂ්ව නියමිත අගයන්වල පවතිනවා ද කියන එකයි බලන්නෙ.

මේ පරීක්ෂාවෙන් තහවුරු වුණොත් දරුවාගේ වර්ධනය බාල වෙලා කියන එක?

ඔව්, එතකොට ඇනෝමලි ස්කෑන් එකක් කරන්න වෙනවා. ඇනෝමලි ස්කෑන් එකෙන් දරුවාගේ හිසේ සිට පාද දක්වා සෑම අවයවයක් ම වෙන වෙනම පරීක්ෂාවට ලක් වෙනවා. ඉන් දැනගන්න පුළුවන් අඩුපාඩු තියෙනවාද කියන එක. ඒ වගේම ඒ අඩුපාඩු ඇති වෙන්න හේතු මොනවද කියන එකත් තීරණය කරන්න පුළුවන්. සමහර විට ජානමය ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. නැත්නම් වැදෑමහෙන් දරුවාට යන රුධිර ප්‍රමාණය අඩු නිසා වෙන්න පුළුවන්. එය පරීක්ෂා කරන්න යොදාගන්නෙ Doppler කියන පරීක්ෂාව.

 Doppler  පරීක්ෂාවෙන් කෙරෙන දේ ගැන පැහැදිලි කළොත්?

මින් කරන්නෙ දරුවාගේ සිරුරේ තිබෙන රුධිර නාලවල රුධිරය ගමන් කිරීමේ වේගය මනින එක. රුධිරය ගමන් කරන වේගය අඩු නම් වෛද්‍යවරු තීරණය කරනවා දරුවාට වැදෑමහෙන් අවශ්‍ය ප්‍රමාණය රුධිරය සැපයෙන්නෙ නැහැ කියන එක. ඒ අනුව තමයි තීරණය වෙන්නෙ දරුවාගේ වර්ධනය බාල වෙන්න හේතුව මොකක්ද කියන කාරණය.

දෙමව්පියන් ප්‍රමාණයෙන් කුඩා සිරුරු සහිත අය නිසා දරුවාගේ වර්ධනය අඩුයි කියන කාරණය තීරණය කරන්නෙ කොහොමද?

සමහර දරුවන් ඉන්නවා වර්ධනය බාල වෙලා වගේ පෙනුණට රුධිරය ගමන් කිරීමේ ප්‍රශ්න නැති සහ කායික අඩුපාඩු නැති අය. ඒ වගේ අවස්ථාවල තීරණය කරන්න පුළුවන් දෙමව්පියන්ගේ සිරුරු ප්‍රමාණයෙන් කුඩා නිසා දරුවාත් කුඩා වෙලා කියන එක. නමුත් මේ වගේ අවස්ථාවල බුද්නයේ උස මැනීමෙන් දරුවා හරියට වර්ධනය වෙනවද කියලා තීරණය කරන්න බැහැ. ඒ නිසා සති 3 කට 4 කට සැරයක් ස්කෑන් කරලා බලන්න වෙනවා දරුවා ඉන්න මට්ටමින් වැඩි මට්ටමට වර්ධනය වෙනවද කියන කාරණය.

දරුවන්ගේ වර්ධනය බාල වුණාම කළ හැකි ප්‍රතිකාර මොනවාද?

දරුවාගේ වර්ධනය බාල වෙන්න හේතුව වැදෑමහින් යන රුධිර ප්‍රමාණය අඩු වීම නම් ඒ අම්මාව දවස් දෙකකට වරක් වත් පරීක්ෂා කළ යුතු වෙනවා. එහෙම නොකළොත් දවසින් දවස දරුවාට රුධිරය ගමන් කිරීම අඩු වෙලා දරුවා කුස තුළම නැති වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය සොයාගන්නෙ කුස තුළ වැඩෙන දරුවාගේ මුල් කාලෙ නම් ඒ කාලෙ දරුවා බිහි කරන්න බැහැ. අඩු මාසවලින් බිහි කරන දරුවන් රැක බලා ගැනීම අපහසුයි. නමුත් දවසින් දවස දරුවාට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වෙනවා නම් තවදුරටත් දරුවා මව් කුස තුළ ඉඳලා තේරුමක් නැහැ කියන තත්ත්වයට ආවොත් වෛද්‍යවරු තීරණය කරනවා දරුවා ප්‍රසූත කරන්න වෙනවා කියන එක.
ඒ වගේම දරුවාගේ වටා ඇති තරලය හෝ දරුවාගේ රුධිරය ජාන පරීක්ෂාවට ලක් කරලා දරුවාට ජානමය ප්‍රශ්න තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉන් තීරණය කරන්න පුළුවන් මෙය සුව කළ හැකි තත්ත්වයක් ද නැද්ද කියන එක. ඒ අනුව තමයි තීරණ කරන්නෙ දරුවා වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිකාර මොනවාද කියන එක.

විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් දමින්ද ඩයස්
(ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය – උතුරු කොළඹ ශික්ෂණ රෝහල, මහාචාර්ය – රාගම වෛද්‍ය පීඨය)

සටහන – දුලංජලී මුතුවාඩිගේ