Food

චොක්ලට් මේ තරම් ජනප්‍රිය ඇයි කියල දන්නවද ?

චොක්ලට් කියලා කියන්නෙ වයස් භේදයකින් තොරව අපි ඕනෑ ම කෙනෙක් බොහොම ආසාවෙන් කන දෙයක්. නමුත් චොක්ලට් කෑමෙන් අපිට ඇති වැඬේ මොකක්ද කියලා ගොඩක් අය දන්නෙ නැහැ. ඒ වගේම චොක්ලට් හදන්නෙ කොහොමද, චොක්ලට් වර්ග මොනවද කියලා අපි වැඩිපුර දන්නෙ නැහැ. මේ කියන්න යන්නෙ චොක්ලට් ගැන අපි නොදන්න කතන්දර කීපයක්.

චොක්ලට් බොහොම පරණ කෑම වර්ගයක්. 1872 අවුරුද්දෙ විතර ඉඳලා කැඞ්බරි සමාගම චොක්ලට් වෙළඳාම සඳහා මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තිබුණත් චොක්ලට්වල ඉතිහාසය ඊට වඩා ගොඩක් දුරට යනවා. චොක්ලට් කියන නමින් නැති වුණත් වෙනත් නම්වලින් හඳුන්වපු චොක්ලට් වගේ කෑම වර්ග අතීත මිසරයේ තිබුණා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ඊජිප්තුවෙ පිරමීඩවල මමි තැන්පත් කරද්දි ඒ මමියෙ ඉන්න කෙනා පාවිච්චි කරපු දේවල්, එයා කන්න කැමති දේවල් ආදිය මමිය ළඟින් තැන්පත් කරන්න ඕනෙලු. ඉතින් ඒ විදිහට සමහර මමි අසල තිබිලත් චොක්ලට්වලට බොහෝ සෙයින් සමාන කෑම වර්ග හමුවෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා.

චොක්ලට් හදන්න පාවිච්චි කරන ප්‍රධාන ම දේ තමයි කොකෝවා. සාමාන්‍යයෙන් කොකෝවා ගසක ආයු කාලය අවුරුදු 200ක් විතර වෙනවා. එහෙනම් කොකෝවා කියන්නෙ බොහොම සුලභ දෙයක් කියලා දැන් ඔබට හිතෙයි. නමුත් එහෙම නැහැ. කොකෝවා ගසක ආයු කාලය අවුරුදු 200ක් වුණත් කොකෝවා ගසකින් චොක්ලට් හදන්න පුළුවන් මට්ටමේ කොකෝවා ගෙඩි ගන්න පුළුවන් වෙන්නෙ අවුරුදු 25ක් විතර කාලයක් විතරයි. ඒ නිසා කොකෝවා ගෙඩි අපි හිතන තරම්ම සුලභ නැහැ.

අපි දන්න විදියට නම් චොක්ලට් වර්ග තුනක් තියෙනවා. ඒ තමයි වයිට් චොක්ලට් නොහොත් සුදු පැහැති චොක්ලට්, බ්ලැක් චොක්ලට් නොහොත් කළු පැහැ චොක්ලට් සහ බ්‍රවුන් චොක්ලට් නොහොත් අපි එදිනෙදා දකින චොක්ලට්. නමුත් මේ වෙද්දි චොක්ලට් වර්ග හතරක් තියෙනවා කියලා ඔබ අහලා නැතිව ඇති. එතකොට මොකක්ද මේ හතර වෙනි චොක්ලට් වර්ගය. ඒ තමයි බ්ලොන්ඞ් චොක්ලට්. බ්ලොන්ඞ් චොක්ලට් කියලා කියන්නෙ ක්‍රීම් පාටට හුරු චොක්ලට්වලට. ඒ කියන්නෙ ලා කහ පැහැයට හුරු චොක්ලට්. අපේ රටේ බ්ලොන්ඞ් චොක්ලට් ඒ තරම් ප්‍රසිද්ධ නැති වුණත් බටහිර රටවල නම් ඉතා ම ජනප්‍රියයි. ඒ වගේම සුදු චොක්ලට් සහ කළු චොක්ලට්වලට වඩා මිලෙන් වැඩියි විතරක් නෙවෙයි රසයෙන් සහ ගුණයෙනුත් වැඩියි.

චොක්ලට් වැඩිපුර කන රටවල අය බුද්ධිමත් කියලා මතයක් තියනවා. ඒකට හේතු වෙන්නෙ චොක්ලට්වල තියෙන මතක ශක්තිය වර්ධනය කිරීමේ හැකියාව ඇති සංයෝගයක් බව සොයාගෙන තියෙනවා. ඇත්තටම මේ සංයෝගය තියෙන්නෙ චොක්ලට්වල නෙවෙයි. චොක්ලට් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන අනිකුත් අමු ද්‍රව්‍යවලයි. සමහර අය කියන විදිහට නම් නොබෙල් ත්‍යාගය දිනාගන්න සමත් වුණු බොහොමයක් අය චොක්ලට්වලට ඇබ්බැහි වුණු අයලු. ඒ කතාවෙ ඇත්ත නැත්ත ගැන අපි හරියටම දන්නෙ නැහැ. නමුත් නොබෙල් ත්‍යාගය, මතක ශක්තිය වැඩිවීම සහ චොක්ලට් වගේ දේවල් අතරෙ යම්කිසි සම්බන්ධතාවකුත් තියෙන්න පුළුවන්.

චොක්ලට් කියන්නෙ ඉතා ම පෝෂ්‍යදායී ආහාරයක්. චොක්ලට් කෑවාම සම පැහැපත් වෙනවා. එහෙම වෙන්නෙ රුධිර ගමනාගමනය සක්‍රීය වෙන නිසයි. ඒ වගේම සමහර රෝග තත්ත්වයන් සඳහා හොඳ ඔසුවක්. හැබැයි දියවැඩියා රෝගීන්ට නම් චොක්ලට් ඒ තරම් හොඳ නැහැ. චොක්ලට් වැඩිපුර කෑවාම මත් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක ඇත්තක්. සමහර සතුන්ට නම් චොක්ලට් කන්න හොඳම නෑ. ඒ අවාසනාවන්ත සතා තමයි බළලා. බළලුන් චොක්ලට් ග්‍රෑම් 100කට වඩා එක දවසකට කෑවොත් උන් මැරෙන්න වුණත් පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නෙ. චොක්ලට් ආදරයේ සංකේතයක් කියලා කියන්න පුළුවන්. එහෙම කියන්නෙ චොක්ලට් නිසා මොළයේ ආදරය හා සම්බන්ධ ස්නායුවල ක්‍රියාකාරීත්වය වර්ධනය වෙන නිසා. ඒ කියන්නේ ආදරණීය හැඟීම් වැඩි වැඩියෙන් ඇති කරවන්න චොක්ලට්වලට පුළුවන්. සමහර විට ඒ නිසා වෙන්න ඇති චොක්ලට් ආදරයේ සංකේතයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ගැහැනු ළමයින්ට වැඩිපුර චොක්ලට් කවන්න පිරිමි ළමයි කැමැත්තක් දක්වන්නෙත් ඒ නිසාද දන්නේ නැහැ. කොහොම වුණත් චොක්ලට් වැඩිපුර ආහාරයට ගැනීම සීනි වැඩිපුර ආහාරයට ගැනීම තරම් හානිදායක නැහැ. නමුත් එහෙම වෙන්නේ තත්ත්වයෙන් උසස් ආකාරයට නියම අමුද්‍රව්‍ය දාලා නිෂ්පාදනය කරන චොක්ලට් නම් විතරයි.

රස වර්ග පිළිබඳව විශ්ලේෂණ කරන විද්‍යාඥයන් කියන විදිහට ලෝකයේ චොක්ලට් කන්න අකමැති පුද්ගලයන් සිටින්නේ සියයට දශම ගණනක් විතරයි. ඒ පිරිස විවිධ රෝග තත්ත්වයන් නිසා චොක්ලට් කෑම අහිතකර වූවන් වෙන්න පුළුවන්. නමුත් චොක්ලට් කියන්නේ කන්න කන්න ආස හිතෙන කෑමක්. හරියටම කියනවා නම් ඇබබ්ැහි වෙන විදිහේ කෑමක්. මිනිස්සු චොක්ලට්වලට ඇබ්බැහි වෙන්න හේතු කීපයක්ම තියෙනවා කියලා විද්‍යාඥයන් කියනවා.
චොක්ලට් නිෂ්පාදනය කරන්න යොදාගන්නා කොකෝවා ඉතා ම තිත්තයි. කොකෝවා ඵලවලින් වෙන් කර ගන්නා ඇට ඇලෙනවා. ඒ වගේම ආම්ලිකයි. ඒ වුණත් ඉන් අධික සුවඳක් වහනය වෙනවා. එය ලෙමනේඞ් හෝ කස්ටර්ඞ් ඇපල්වල සුවඳට සමානයි. මේ සුවඳ නිසා කොකෝවා ඇට දැකපු ගමන් කන්න හිතෙන තරම්. මේ සුවඳ මගින් මිනිස් සිරුරේ රස සංවේදක ස්නායුවලින් අඩක් පමණ උද්දීපනය කරන නිසයි එහෙම හිතෙන්නේ. කොකෝවා ඇට වෙන් කර ගත්තාට පස්සේ ඒවා දින 60ක් විතර වේලෙන්න තියෙන්න ඕනෙ. කොකෝවා ඇට වේලෙද්දි ඒවලින් විවිධ දුර්ගන්ධයන් වහනය වෙන්නට පටන්ගන්නවා. ඒවා මිනිස් දහදිය දුගඳ, මීතයිල් දුගඳ, කරවෙමින් පවතින ගෝවාවලින් වහනය වන දුගඳ ආදියට සමාන කරන්න පුළුවන්. මේ හැම ගඳක් ම එකට එකතු වුණා ම මිනිස් මොළයට ආසක්ත වන ආකාරයේ සුගන්ධයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එය තෘප්තිමත් මතකයන් ගබඩා කර තබා ගත හැකි ආකාරයේ හෝ තෘප්තිමත් හැඟීම් අවුස්සන ආකාරයේ සුවඳක් ලෙස මොළයේ තැන්පත් වෙනවා.

චොක්ලට් නිෂ්පාදනය කරද්දි එයට මනස ක්‍රියාශීලී වන ආකාරයේ සහ ස්නායු අග්‍ර ප්‍රමෝදමත් කරවන ආකාරයේ රසායනික ද්‍රව්‍ය එකතු කරනවා. මේවාට කියන්නේ Anandamide කියලා. සංස්කෘත බසින් Ananda කියලා එක වර නගන්න පුවළුන්. Ananda කියන්නේ ප්‍රීතිය, ප්‍රමෝදය, සංතෘෂ්ථිය, අහ්ලාදය, කුල්මත්වීම වගේ දේවල්වලටනෙ. Anandamide හැඟීම කංසාවලිනුත් ඇති වෙනවා. Anandamide හැඟීම ඇතිවෙන්න චොක්ලට් වගේම කංසා බොහෝම පොඩි ප්‍රමාණයක් වුණත් ඇති.

සාමාන්‍යයෙන් නියමිත තත්ත්වයට නිෂ්පාදනය කළ චොක්ලට් කාමර උෂ්ණත්වයේ දී ද්‍රව බවට පත් වෙනවා. ඒ කියන්නේ දුස්‍රාවී කියන එකයි. මිනිස් දිවේ තිබෙන රස සංවේදක මේ දුස්‍රාවිතාවට හරිම කැමතියි. මොළයේ ස්නායුවලට අමතරව දිවේ රස සංවේදකවලට චොක්ලට්වලින් පෙළඹවීමක් ඇති වන්නේ අන්න ඒ විදිහටයි.

කොකෝවා කොච්චර තිත්ත වුණත් ඒවා බීමක් විදිහටත් හරිම ජනප්‍රියයි. එහෙම වෙන්නේ එයට නියමිත ප්‍රමාණවලින් සීනි සහ මේදය එකතු කරලා තිත්ත රසය අවම කළාට පස්සෙයි. ඒ වගේම මිල්ක් චොක්ලට් නිෂ්පාදනයේ දී මේදය සියයට 20ක, 25ක වගේ ප්‍රමාණයකුත් සීනි සියයට 40ක, 50ක වගේ ප්‍රමාණයකුත් එකතු කරනවා. ඒ වගේම අපි මේ තරම් මිල්ක් චොක්ලට්වලට ඇබ්බැහි වෙන්නෙ මේ කියපු හේතුවලට අමතරව තවත් විශේෂී හේතුවක් නිසයි.

නියමිත ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන මිල්ක් චොක්ලට් සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නෙ ස්වභාවික සීනි. ස්වභාවික සීනි කියන්නේ පළතුරුවලින් සාන්ද්‍රණය කර ගන්න සීනිවලට. ඒ වගේ ම එහි කජු සහ සැමන් මත්ස්‍යයින්ගේ අන්තර්ගත වන තරම් මේදය අඩංගු වෙනවා. මේදය සහ සීනි අඩංගු වන්නේ 1ට 2ක් වන අනුපාතයෙන්. සීනි සහ මේදය මේ ප්‍රමාණයටම අයත් වන තවත් සුවිශේෂී ආහාරයක් තමයි, මව්කිරි. මව්කිරිවල සීනි අන්තර්ගත වන්නේ ලැක්ටෝස් විදිහට. මව්කිරිවලින් සියයට 4ක් මේදයත් සියයට 8ක් ලැක්ටෝසුත් තිබෙනවා. ඒ කියන්නේ මව්කිරි ග්‍රෑම් 100ක මේදය ග්‍රෑම් එකකුත් සීනි ග්‍රෑම් දෙකකුත් අඩංගුයි. මේ අනුපාතය ඒ ආකාරයෙන් ම මිල්ක් චොක්ලට්වල අඩංගු වෙලා තියෙනවා.

අපි මිල්ක් චොක්ලට්වලට මේ තරම් ඇබ්බැහි වෙන්නේ ජීවිතයේ පළමු වතාවට ගත්තු ආහාරයේ රස මිල්ක් චොක්ලට්වලින් දැනෙන්න ගන්න නිසා කියලා රස පිළිබඳ විද්‍යාඥයන් කියනවා. වැඬේ වෙන්නේ මෙහෙමයි. පුංචි කාලෙ අපි ආහාරයට ගත් මව්කිරිවල රසයත් ඒ පිළිබඳව වූ මතකයත් තෘප්තිමත් බවත් මිනිස් මොළයේ යම් තැනක ගබඩා වෙලා තියෙනවා. මිල්ක් චොක්ලට් ආහාරයට ගැනීමත් එක්කම අර තෘප්තිමත් බව නැවත නැවත මොළයට මතක් වෙන්න පටන්ගන්නවා. ඒ කියන්නේ ඔබ අම්මාගෙන් කිරි බීලා තියෙනවා නම් අනිවාර්යයෙන් ම මිල්ක් චොක්ලට්වලට ඇබ්බැහි වුණු කෙනෙක් වෙන්න ඕනෙ කියන එකයි.

සටහන – දුලංජලී මුතුවාඩිගේ