Health Guide

සෑම විට ම හිස පරිස්සම් කරගන්න

හිසට අනතුරක් සිදුවූ පසු මෙවන් රෝග ලක්ෂණ පෙන්නුම් කළොත් වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

වඩාත් පොදු රෝග ලක්ෂණය වන්නේ හිසරදයයි. අනතුරට පසු ඇස්වටා කළු පැහැ ගැන්වීම සාමාන්‍ය දෙයක් නොවේ.

අනෙකුත් පොදු රෝග ලක්ෂණ අතර,
● කරකැවිල්ල හා සමබරතා ගැටලු
● ඔක්කාරය හා වමනය
● ව්‍යාකූලත්වය
● මතක ගැටලු හෝ අමතකවීම
● අලසබව දැනීම
● ආලෝකයට හෝ ශබ්දයට සංවේදීතාව
● අසාමාන්‍ය ලෙස නින්ද යෑම
● ඇවිදීමේ අපහසුතාව
● අසාමාන්‍ය කතා
● දුර්වල සම්බන්ධීකරණය
● අතාර්කික හැසිරීම
● ආක්ර්මණශීලී හැසිරීම
● පරිග්‍රහණය
● ශරීරයේ ඕනෑම කොටසක හිරිවැටීම හෝ අංශභාගය
● කණින්, නාසයෙන් රුධිරය හෝ තරල කාන්දුවීමක්
සිහි මුර්ජාව හෝ ගැස්ම
ආදිය ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඔබේ හිසට සිදු වූ අනතුරෙහි අවදානම අඩු බවක් පෙනෙන්නට තිබුණත්, ඔබේ රෝග ලක්ෂණ මෘදු වුවත්, ඔබට මොළයට හෝ ඒ අවට ව්‍යුහයන්ට සැලකිය යුතු හානියක් සිදුවිය හැකිය. විශේෂයෙන් පහත සදහන් අය සුළු තත්ත්වයක් වුවද මේ පිළිබදව අවධානය යොමු කරන්න.
■ වැඩිහිටි අය
■ රුධිරය කැටි ගැසීම වැළැක්වීමට බෙහෙත් ගන්න අය
■ ලේ ගැලීමේ ආබාධයක් ඇති අය
■ අධික ලෙස මත්පැන් පානය කළ බවට ඉතිහාසයක් ඇති අය

ඉහත ලැයිස්තුගත කර ඇති අවදානම් සාධක එකක් හෝ කිහිපයක් ඔබ සතුව ඇත්නම්, ඔබට හිසට තුවාල සිදුවුවහොත් වහාම වෛද්‍යවරයකු අමතන්න හෝ හදිසි ප්‍රතිකාර අංශයකට යන්න.

හිස තුවාලවීම වළක්වාගැනීමට, පහත කරුණූ පිළිබඳ අවදානය යොමු කරන්න.
■ මත්වතුර පානය කරන බොහෝ අය සමබරව ඇවිදීමට නොහැකිවීමෙන් වැටීම් සිදුවිය හැකිය. එබැවින් මත්වතුර පානය නොකරන්න.
■ වාහනවල ගමන් කරන විට ආසන පටි හෝ හිස් ආවරණ පලඳින්න.
■ ඔබ ක්‍රීඩා කරන්නේ නම්, සුදුසු ආරක්ෂිත හිස්වැසුම් පැලඳගන්න.
■ ඔබේ රැකියාව පොළොවට ඉහළින් වැඩ කිරීමට සම්බන්ධ නම්, හදිසි අනතුරු වළක්වාගැනීම සඳහා අනුමත ආරක්ෂක උපකරණ භාවිත කරන්න.
■ ඔබට කරකැවිල්ල හෝ හිසට සැහැල්ලු බවක් දැනෙනවා නම්, මත්පැන් පානය කර තිබේ නම් හෝ කරකැවිල්ල හෝ සමබරතාවයට බලපාන ඹෟෂධ ගන්නවා නම් කිසි විටෙකත් ඉහළ ස්ථානයක වැඩ නොකරන්න.
■ වරින් වර ඔබේ ඇස්වල දර්ශන පිළිබද පරීක්ෂා කරගන්න. දුර්වල පෙනීම මගින් ඔබේ වැටීම් හා වෙනත් අනතුරුවල අවදානම වැඩි කළ හැකිය. ඔබ වැඩිහිටි නම් හෝ ඔබ උසස් ස්ථානවල වැඩ කරන්නේ නම් මෙය විශේෂයෙන් සත්‍ය වේ.
■ ඔබ ආවේගකාරී අයෙක්නම් මත් වතුර පානයෙන් පසු හිංසනයනට ලක්වීමට හෝ අන් අයට හිංසා කිරීමට පෙළඹෙනු ඇත. එබැවින් මත් වතුර පානය නොකරන්න.
■ පඩිපෙළ වැනි භයානක ප්‍රදේශවල ප්‍රමාණවත් ආලෝකකරණයක් ලබාදීම හෝ අවදානම් පරාවර්ථන සංඥා තබන්න.
■ සියලු ම කම්කරුවන් සඳහා නිවැරදි ආරක්ෂක උපකරණ ලබාදීම සේවා ස්ථානයේ වැදගත් ආරක්ෂිත තොරතුරු ප්‍රදර්ශනය කරන්න.

පුෂ්පා රම්‍යානි ද සොයිසා
(ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී – හදිසි අනතුරු අංශය, ශ්‍රී ලංකා ජාතික රෝහල)