News

කොරෝනා ව්‍යාප්තියේ මේ වන විට තත්ත්වය

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ 213 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර මරණ සංඛ්‍යාවේ වැඩිවීම ආසන්න වශයෙන් සියයට 25ක අගයක පවතියි.

කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ක දක්වා ඉහළ ගොස් ඇත්තේ, ඊයේ දිනයට සාපේක්ෂව සියයට 32 ක වැඩිවීමක් පෙන්නුම් කරමින්.

වූහාන් නගරය සම්පුර්ණයෙන්ම වසා දමා අදට දින 9ක් වන අතර හුබෙයි පළාතට අයත් තවත් නගර 15 ක් අර්ධ වශයෙන් වසා දමා ඇත.

ඒ අනුව වෛරසය හේතුවෙන් තම වාසස්ථානවල සිටින සංඛ්‍යාව ලක්ෂ 600 කට අධිකයි.

ඊයේ වන විට ලොව පුරා රටවල් 21කින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තාවන රටවල් අතරට අද ඉතාලියද එක්වුණි.

ඒ අනුව වෛරසය ආසාදිත වූවන් හමුවන දෙවන යුරෝපීය රට වන්නේ ඉතාලියයි.

වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද පියවර ගන්නේ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කරමින්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වූහාන් නගරයේ සිටි සිය පුරවැසියන් 200කට ආසන්න පිරිසක් ඉවත් කරගැනීමට අමෙරිකානු රජය පියවර ගෙන ඇත.

කෙසේවෙතත් එලෙස ඉවත්කරගත් පුරවැසියන්ව සිය ස්ථිර වාසස්ථාන වෙත යැවීමට පෙර කැලිෆෝනියාහි හමුදා කඳවුරක අවම වශයෙන් පැය 72ක කාලයක් රඳවා තැබෙනු ඇති.

වූහාන්හි සිටි ජපන් ජාතිකයින් ගුවන් යානා දෙකක් මගින් ටෝකියෝ වෙත රැගෙන ගියේය.

වූහාන් නගරයේන ඉවත්කරගත් ප්‍රංශ ජාතිකයන් ගණන 250ක්.

මේ අතර වූහාන්හි සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින් 83 දෙනෙකු ඉවත්කර ගැනීම සඳහා යොදාගත් ගුවන් යානයේ තවත් විදේශීය පුරවැසියන් 27 දෙනෙකු ද ගමන් කිරීම විශේෂත්වයක්.

ඉන්දියානු රජය අද නිවේදනය කළේ වූහාන්හි සිටින 400 ක් පමණ වන ඉන්දියානු ජාතිකයින් එළැඹෙන ඉරිදා ගෙන්වා ගන්නා බවයි.

මේ අතර චීනය සමඟ පවතින කිලෝමීටර 4300ක පමණ දිගින් යුත් දේශසීමා කලාපය වසා දැමීමට රුසියාව පියවර ගත්තේය.

ඊශ්‍රායලය හා ඉතාලියද මේ වනවිට චීනය වෙත ගුවන් ගමන් සේවා අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මගීන් 6000ක් රැගත් නෞකාවක් ඉතාලි වරායකට ඇතුළුවීම වළක්වමින් තහනමක් පැනවීමට ද එරට බලධාරීන් පියවරගෙන තිබුණි.

ඒ,කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන චීන ජාතිකයෙකු එම 6000ක පිරිස අතර සිටීම හේතුවෙන්.

මේ අතර බ්‍රිතාන්‍යයෙන්ද කොරෝනා වෛරසය ආසාදිතවූ බවට තහවුරු වූ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් එකම පවුලක සාමාජිකයින් බව සඳහන්.

චීනයේ වෛරසය ආසාදිතයින් සඳහා අවශ්‍ය ඖෂධ හා වෙනත් සැපයුම් ප්‍රවාහනය සඳහා රොබෝ තාක්ෂණය භාවිත කරමින් සිටියි.

මේ හරහා වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ආසාදිතයින් වෙත නිරාවරණය වන කාලය අවම කිරීමට හැකිවීම විශේෂත්වයක්.

මේ අතර චීනයේ රෝග ව්‍යාප්තිය හා පාලනය පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙන්නේ වසර 2003දී චීනයට බලපෑ සාර්ස් රෝගයට වඩා කොරෝනා ව්‍යාප්තිය පාලනය දුෂ්කර වී ඇති බවයි.

– අනුග්‍රහය අද දෙරණ