Health

කොරෝනා මේ වන විට සමාජගත වෙලා ද ? – වෛද්‍ය ඩිලාන් මැටිවලකුඹුර කියන කතාව

රෝගය ‘සමාජගත වී’ ඇතිද/ නැද්ද යන්න විශාල ලෙස කතා බහට ලක්වී ඇත. මෙහි ප්‍රශ්නය පවතින්නෙ රෝගයේ ‘සමාජ ව්‍යාප්තිය’ එහෙම නැත්තන් ‘community spread’ යන්නෙහි Technical definition (තාක්ශණික/විද්‍යාත්මක අර්ථදැක්වීම) සහ සාමාන්‍ය ව්‍යවහාරයේ ‘සමාජගතවීම’ අතර පවතින යම් වෙනස්කමයි. Technical definition එක අනුව community spread/transmission යනු යම් කිසි ප්‍රදේශයක ආසාධිත රෝගීන් විශාල ප්‍රමාණයක් හමුවීම සහ එම රෝගීන්ගේ රෝග මූලාශ්‍රය එනම් වෙනත් ආසාධිත රෝගියෙක් සමග සම්බන්ධතාවය හෝ ආසාදිතයන් බහුල ප්‍රදේශයකට සංචරණය යන කරුණු සොයා ගත නොහැකි වීමයි. කොටින්ම රෝගය කෙසේ වැලදුනිදැයි සොයා ගත නොහැකි වීමයි. නමුත් අද වන විට කෙතරම් විශාල රෝගීන් ප්‍රමාණයක් හමුවුනද ඔවුන්ගේ මූලාශ්‍ර තවමත් සොයා ගැනීමට හැකියාව පවතී. ඒබැවින් තාක්ශනිකව/විද්‍යාත්මකව පැහැදිලි කිරීමේදී සමාජ ව්‍යාප්තියක් තවමත් සිදුවී නොමැති බව පැවසීමට හැකියාවක් ඇත. ක්ශේත්‍රයේ ප්‍රවීණයන් මාධ්‍ය සාකච්චා වලදී තවමත් සමාජ ව්‍යාප්තියක් සිදුවී නොමැති බව පවසන්නෙ මෙම හේතුව නිසාය. ඔවුන් ප්‍රකාශ නිකුත් කරන්නෙ ඉහත දැක්වූ තාක්ශනික/විද්‍යාත්මක අර්ථදැක්වීම මත සිටය. එහි වරදක් දැකිය නොහැක.

නමුත් සාමන්‍ය ව්‍යවහාරයේදී ‘සමාජගතවීම’ යන සංකල්පය යොදා ගන්නෙ මීට තරමක් වෙනස් ලෙසය. එනම්, රටේ විවිද ප්‍රදේශ වලින් කලින් නොවූ විරූ ලෙස රෝගීන් සැලකියුතු ප්‍රමාණයක් හමු වීමය. විද්‍යාත්මක අර්ථදැක්වීම නොසලකා හැරුයහොත්, අප වෙසෙන සමාජයේ විවිද තැන් වලින් රෝගීන් හමුවේ. එනිසා සමහර අයට අනුව රෝගය ‘සමාජගතවී’ ඇති බව විද්‍යාත්මක අර්ථ දැක්වීමකින් තොරව පැවසිය හැක.

එබැවින් මෙම වචන හරඹ අල්ලාගෙන දැගලීමෙන් පලක් නොවේ. කුමන පදනමකින් බැලුවද, මෙම් වසංගතය අප රට තුල තීරණාත්මක අවධියකට පැමිනෙමින් පවතී. ආසාධිතයන් සඳහා වෙන්වූ රෝහල් ඇඳන් තවත් ඉතුරුව පවතින්නේ ඉතාමත් සීමාසහිත ගණනකි. නමුත් තවමත් අපට මෙම වසංගතය අප රට තුල පාලනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නෙ වගකිවයුතු පුරවැසියන් ලෙස එකිනෙකාට ඇඟිල්ල දික් කිරීමෙන් තොරව සහ පක්ශ භේද හෝ වෙනත් භේද වලින් තොරව සාමූහිකව ක්‍රියාත්මක වීමයි. සෑම පුද්ගලයෙක් තුලම සෞඛ්‍ය ආරක්ශන ක්‍රියා මාර්ග සඳහා දැඩි ලෙස අනුගතවන ආකල්ප ගොඩ නැගිමය.

– වෛද්‍ය ඩිලාන් මැටිවලකුඹුර

MBBS, MSc, MD