Health

ගැහැනු අයට වඩා වැඩිපුර පිරිමි අය කෝවිඩ් 19 වසංගතයට ගොදුරු වෙන්නේ ඇයි?

මේ වෙද්දි ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ දෙවෙනි රැල්ලත් සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පටන් අරන්. ලෝකයේ අනිකුත් රටවල තත්ත්වය තව තවත් දරුණු අතට පත්වෙමින් පවතිනවා. ඒ නිසා පවතින වසංගත තත්වයේ ස්වභාවය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය වැදගත් විවිධ දැන්වීම් සහ මහජනයාට වැදගත් වෙන විවිධ ප්‍රකාශ නිකුත් කරලා තිබෙනවා.

මේ විදිහට නිකුත් කරලා තියන එක් ප්‍රකාශයක පැහැදිලිව දක්වා තිබෙන කාරණයක් තමයි කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානම තිබෙන්නේ කාන්තාවන්ට වඩා පිරිමින්ට කියන කාරණය. ලෝකයේ මේ වනවිට කෝවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය පිරිස අතරින් සියයට 70කට ආසන්න පිරිසක් පිරිමි අය විදිහටත් සියයට 30ක් පමණ පිරිසක් කාන්තාවන් විදිහටත් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඒක එහෙම වෙන්නේ ඇයි කියලා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය පිලිප් ගොල්ඩර් මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දීලා තියනවා.

“ඕනෑම රෝගයක් ආසාදනය වෙන්න බලපාන්නේ එකිනෙකාගේ ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ හැකියාව. කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙන්න හේතුවත් ඒකමයි. අපි දන්නා විදිහට මේ වෛරසයෙන් ප්‍රධාන වශයෙන් ම බලපෑම් එල්ල කරන්නේ පෙනහලුවලට. ඒ වගේමයි හෘදයට. ඉතින් මේ නිසා පෙනහලුවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මෙහිදී පිරිමි අයට මින් වැඩි බලපෑමක් එල්ල වෙන්නේ ලෝකයේ බහුතරයක් පිරිමි දුම්පානය, මත් කුඩු වගේ දේවල්වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසයි. මේ වගේ දේවල් නිසා ඔවුන්ගේ පෙනහලුවල ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදු වෙන්නේ නැහැ. ඉතින් පිටතින් එන වෛරසය එක්ක සටන් කරන්න තරම් ප්‍රතිශක්තියක් නැහැ. ඒ නිසා දුම්පානය කරන මත්කුඩු පාවිච්චි කරන අය මීට ගොදුරු වෙනවා වැඩියි. එයට පිරිමි ද ගැහැනු ද කියලා නැහැ. නමුත් වැඩිපුර ඒවාට ඇබබ්ැහි වෙලා ඉන්නේ පිරිමි අය නිසා කෝවිඩ් 19 වෛරසය වැඩිපුර ආසාදනය වෙන්නේ පිරිමි අයට කියලා විශ්වාස කරන්න පුවළුන්.”

මහාචාර්ය ගොල්ඩර් කියන තවත් වැදගත් කාරණයක් තමයි දුම්පානය කරන කෙනෙක් එක දුම්වැටියක් පානය කරන විට ඔහු ළඟ සිටින, දුම්පානය නොකරන කෙනෙකුට එක් දුම්වැටියක් දෙවතාවක් පෙවෙනවා කියන එක. ඒ මෙහෙමයි. සාමාන්‍යයෙන් දුම්වැටිවල කට තියන තැන් ෆිල්ටර් එකක් තියනවා. ඒ නිසා දුම්වැටිය උරද්දි එහි දුම ෆිල්ටර් වෙලා තමයි උරන්නාගේ පෙනහලු දක්වා ගමන් කරන්නේ. නමුත් ඔහුගේ ළඟ ඉන්න කෙනෙකුට දුම්වැටියෙන් පිටවන දුම ඍජුව ම ආශ්වාස වාතය ඔස්සේ පෙනහලු දක්වා ගමන් කරනවා. ඒ වගේම දුම් පානය කරන කෙනා කටට අරගෙන පිටකරන දුම් රොටු ඔහු අසල ඉන්න කෙනාගෙ පෙනහලුවලට නැවත වතාවක් ආශ්වාසය මගින් ඇතුළු වෙනවා.

අන්න ඒ විදිහට දෙවතාවක් දුම්වැටි දුම ආශ්වාස වෙනවා. මේ නිසා දුම්පානය කරන තරමටම එහෙම කෙනෙක් ළඟ ඉන්න එක භයානකයි කියලා ඔහු කියනවා. ඒ නිසා දුම් බොමින් ඉන්න කෙනෙක් අසල වැරදිලාවත් රැඳී ඉන්න එපා කියලා ඔහු වැඩිදුරටත් කියනවා. ඉන් ඔබට නොදැනුවත්මව ඔබේ පෙනහලු අඩපණ වෙන්න පටන් ගන්නවා.

ගැහැනු අයට වඩා වැඩිපුර පිරිමි අය මේ තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන් තවත් හේතුවක් මහාචාර්ය ගොල්ඩර් පෙන්වා දෙනවා. ඒ තමයි X කියන ක්‍රෝමසෝනය. සාමාන්‍යයෙන් ගැහැනු අයගේ XX විදිහටත් පිරිමි අයගේ XY විදිහටත් තමයි ක්‍රෝමසෝම පිහිටන්නේ. X කියන ක්‍රෝමසෝමයේ ප්‍රතිශක්තිකරණය Y ක්‍රෝමසෝමයට වඩා කිහිපගුණයකින් වැඩියි කියලා මහාචාර්ය ගොල්ඩර් කියනවා. ඉතින් ගැහැනු අයට X ක්‍රෝමසෝම දෙකක් පිහිටන නිසාත් පිරිමි අයට පිහිටන්නේ එක X ක්‍රෝමසෝමයක් සහ Y ක්‍රෝමසෝමයක් වන නිසාත් පිරිමි අයගේ ප්‍රතිශක්තිය ගැහැනු අයට වඩා අඩුයි කියලා පෙන්වා දෙන්න පුළුවන්.

නමුත් මේ සියලු ම කරුණු මේ දක්වා පර්යේෂණවලින් තහවුරු කරලා නැහැ. පර්යේෂණ සිදු කරමින් මේවා තහවුරු කර ගන්න තව මාස ගණනාවක් ගත වෙන්න පුවළුන්. ඒ නිසා “අපි බය වෙන්න ඕනෙ නැහැ” කියලා නම් අපේ කාන්තාවන් කිසිම විදිහකට හිතන්න එපා. ගැහැනු අයත් පිරිමි අයත් එක වගේම පුළුවන් තරම් පරෙස්සමින් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

සටහන – දුලංජලී මුතුවාඩිගේ