News

කොළඹ, ගම්පහ සහ කළුතර ඩෙංගු ව්‍යාප්තිය වැඩි වෙයි

බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්ත වීමේ අධි අවදානමක් ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු ඇඟවීමක් කරයි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහි පරිශ්‍රවල මදුරුවන් බෝවීමේ හැකියාව සියයට 20කට වැඩි බව එම කාර්යාංශය සඳහන් කරයි.

ඉකුත් 13 සහ 14 යන දිනවල ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය සිදුකළ සමීක්‍ෂණයකදී පරිශ්‍ර 57,657ක් පරීක්‍ෂණයට භාජන කළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
එම පරිශ්‍ර අතුරින් සියයට 21.6ක් හෙවත් පරිශ්‍ර 12,471ක මදුරුවන් බෝවීමේ අවදානම පවතින බවත් ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක තුනෙහිම පරිශ්‍රවල මදුරුවන් බෝවීමේ හැකියාව සියයට 20කට වැඩි බව අදාළ සමීක්‍ෂණ වාර්තාවලින් හෙළිවී ඇත.

මදුරුවන් බහුලව සිටින ස්ථාන අතුරින් සියයට 84.5ක් ආගමික ස්ථාන බවත් ඉදිකිරීම් පරිශ්‍ර සියයට 6.2ක් හා පාසල් සියයට 6ක් බවත් එම සමීකරණයේදී අනාවරණය වී ඇත.

මදුරුවන් බෝවීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින ඉදිකිරීම් ස්ථානවල, මදුරුවන් බෝවීම සියයට 49.6ක් වෙයි. ආගමික ස්ථානවල එම ප්‍රතිශතය සියයට 34.5ක් හා පාසල් සියයට 26ක් ද වන බව අදාළ සමීක්‍ෂණ වාර්තාව මඟින් හෙළිකර ඇත.

අදාළ ආයතනවල බලධාරීන් හා මහජනතාව කඩිනමින් ක්‍රියාත්මක වී මෙම ඉතා අහිතකර, අවදානම් තත්ත්වය අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවත් පාසල් වාරය ආරම්භ වීමට පෙර, පාසල් පරිශ්‍රයේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කරයි.