Health Guide

මුඛ සෞඛ්‍යය ගැන සැළකිලිමත්වීම වැදගත් ඇයි ?

ආභරණ කොතරම් පැලඳුවත් සිනහව තරම් වටිනා ආභරණයක් නැති බව ඔබ දන්නවා. ඉතින් මේ සිනහව සැමදාමත් ආරක්ෂාකරගන්නට නම් ඔබට පුංචි කැපකිරීමක් සිදු කිරීමට වෙනවා. සෞඛ්‍ය යනු ශාරීරික, මානසික, සමාජයීය යහපැවැත්ම බව සරලව නිර්වචනය කළ හැකිය. මුඛ සෞඛ්‍යය ද සෞඛ්‍යයේ ම කොටසකි. එම නිසා සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මුඛ සෞඛ්‍යය රැකගැනීම ඉතාමත් වැදගත් වෙනවා.
නිරෝගීමත් දත් දෙපළක් කියන්නේ සුන්දර සිනහවක් පවත්වාගැනීමට ආශිර්වාදයක්. මුඛ සෞඛ්‍යය පවත්වාගැනීමේ දී දත් සහ විදුරුමස් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මුඛය ආශ්‍රිතව වැළඳෙන රෝගවලින් බහුතරයක් වළක්වාගත හැකියි. සිදුවිය යුත්තේ ඒ පිළිබඳව දැනුවත්වීම පමණයි.
මේ අතරින් විදුරුමස් දියවීම බහුලව දකින්න ලැබෙන මුඛ රෝගයක්. දත් අතර රැදුණු ආහාර ඉවත් නොකිරීම විදුරුමස් රෝග ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවකි. ආහාර කැබැලි විදුරුමස්වල හා දත් අතර රැඳී ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරීත්වයට බඳුන්වෙනවා. මේ හේතුවෙන් දත් දිරායාම හා විදුරුමස් රෝග ඇති වෙනවා. නිරෝගී විදුරුමස් දත්වලට තදින් බැඳී තිබෙනවා. එමෙන් ම රෝස පැහැයෙන් යුක්ත වෙනවා. දත් දෙකක් අතර පවතින විදුරුමස් කොටස් ඉතා තියුණුව තිබෙනවා. නමුත් විදුරුමස් කිසියම් ආකාරයකට රෝගයකට භාජනය වී ඇති නම් මෙවැනි ලක්ෂණ පහළ විය හැකිය. දත් මදින විට, තදින් යමක් සැපූ විට, හෝ අතින් තද කළ විට ලේ ගැලීමක් සිදු වේ. කල් යාමත් සමගින් මේ තත්ත්වය වර්ධනයවී විදුරුමස්වලින් සැරව ගැලීම ද සිදුවේ. මේ අවස්ථාවේ දී මුඛයෙන් දුඟදක් ද හමනවා. එමෙන් ම දත් හා හනුව අතර ඇති පටකය විදුරුමස් දිය කරන බැක්ටිරියා මගින් විනාශවීමකට ලක්වෙනවා. ඒ හේතුවෙන් විදුරුමස් දියවී අවසන් අදියරේ දී දත් බුරුල්වී දත් ගැලවී යාම ද සිදු වේ. එම නිසා විදුරුමස් රෝගය හඳුනාගැනීම හා නිසි අවස්ථාවේ දී ඒ සඳහා ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
මුලික අවස්ථාවේ දී මෙම තත්ත්වය හදුනාගැනීමෙන් පසුව සරල ප්‍රතිකාර කිරීමෙන් මම රෝගය යථා තත්ත්වයට පත් කළ හැකියි. මෙම තත්ත්වය වළක්වාගැනීමට මාස හයකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු මුණගැසී දන්ත පරීක්ෂාවක් සිදු කර ගැනීම වැදගත් වෙනවා. උදෑසන ආහාර ගැනීමෙන් පසුව හා රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව දත් මැදීම අනිවාර්යයෙන් සිදු කළ යුතුයි. දත් මැදීමේ දී මුඛයේ ඇති සියලු ම දත් හා දතෙහි සියලුම පෘෂ්ඨ ආවරණය වන පරිදි දත් මැදීමට වග බලා ගත යුතුයි. මෙහිදී ක්‍රමානුකූලව උඩු ඇන්දේ එක් කෙළවරක සිට අනිත් කෙළවර දක්වා ද, ඉන්පසුව යටි ඇන්දේ එක් කෙවරක සිට අනිත් කෙළවර දක්වා ද සියලුම පෘෂ්ඨ ආවරණය වන පරිදි දත් මැදීම සිදු කළ යුතුයි. එමෙන්ම දත් හා විදුරුමස් අතර ඇති දාරය මත බැක්ටීරියා බහුලව රැදී ඇති බැවින් එම ස්ථාන හොඳින් පිරිසිදු වන පරිදි දත් මැදීම වැදගත්.
තව ද දත් බුරුසුවක් තෝරාගැනීමේ දී ඒ වෙනුවෙන් සුදුසු දත් බුරුසුවක් තෝරා ගත යුතුයි. කෙඳි නොනැමුණු, සුමට බුරුසුවක් (සොෆ්ට්) තෝරාගැනීමට කටයුතු කළ යුතුයි. එමෙන් ම ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයක් තෝරාගැනීම ද වැදගත්. ෆ්ලෝරයිඞ් මගින් දත්වල සිදුරු සැදීම ද වළක්වනවා. ඇතැම් පුද්ගලයන්ගේ දත් අතර හිදැස් පවතිනවා. එවැනි අවස්ථාවක දී දත් නිසි පරිදි පිරිසිදු වන්නේ නැහැ. එවැනි පුද්ගලයන්ට dental fhoss නමින් නුලක් තිබෙනවා. එම නූල මගින් දත් දෙකක් අතර ඇති පෘෂ්ඨය හොඳින් පිරිසිදු කළ හැකියි.
මෙයට අමතරම වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් ද විදුරුමස් රෝග සෑදිය හැකියි. ඔබ විදුරුමස් දියවීමේ රෝගයෙන් පෙළෙන්නේ නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත් වන්නේ එමගින් ඔබ එවැනි රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් හඳුනාගත හැකි වන හෙයිනි. එමෙන් ම විවිධ රෝග තත්ත්වයන් වෙනුවෙන් ඖෂධ භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ද විදුරුමස් දියවීම සිදු වේ.
මෙවැනි කරුණු පිළිබඳව සැලකිලිමත්වීමෙන් විදුරුමස් දියවීමේ රෝගයෙන් වැළකී සිටිමට ඔබට හැකියි. එමෙන් ම ඔබගේ සුන්දර සිනහව ද කිසි දිනක වියැකී නොයාවි.

විශේෂඥ මුඛ හනුක ශල්‍ය වෛද්‍ය පද්මා ද සිල්වා (කොළඹ ජාතික දන්ත රෝහල (ශික්ෂණ)

සටහන – නදීරා අමරසිංහ