Food

දියවැඩියා රෝගීන්ට තැඹිලි බොන්න හොඳ නැද්ද ? කැරට්, බීට්, වට්ටක්කා සහ පළතුරු කන්න හොඳද ?

වර්තමානය වන විට බෝ නොවන රෝග අතර සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් ලෙසට දියවැඩියා රෝගය හඳුන්වන්නට පුළුවනි. දියවැඩියා රෝගය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතී. මෙය ලෝකයේ සෑම රටක් ම පාහේ මුහුණපා සිටින බරපතළ ම සෞඛ්‍යය ගැටලුවකි. මෙවැනි හේතු නිසා කා අතරත් නිරන්තර කතාබහට ලක්වන මාතෘකාවක් බවට දියවැඩියාව මේ වන විට පත්ව තිබෙනවා. ඒ වගේ ම දියවැඩියාව හා ආහාර පානාදිය ගැන සමාජයේ මිනිසුන් අතර විවිධ වූ මතවාද සහ කතා අපට අසන්නට දකින්නට ලැබෙනවා. එම නිසා මෙවර සාකච්ඡාවෙන් එවැනි තොරතුරු පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අප සූදානම්.

තැඹිලි සහ එළකිරි පානය කිරීම දියවැඩියා රෝගියෙකුට හිතකරද?

තැඹිලි ඉතා හොඳ පානයක්. නමුත් දියවැඩියා රෝගීන් තැඹිලි පානය කරනවා නම් තෝරාගත යුත්තේ පැණි රසින් අඩු මෝරපු නැති තැඹිලි. මෝරපු තැඹිලි එතරම් ගුණ නැහැ දියවැඩියා රෝගීන්ට. මෝරපු තැඹිලිවල තියෙන සීනි දියවැඩියා රෝගීන්ට සුදුසු වන්නේ නැහැ.
එසේ ම අවුරුද්දට වැඩි කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි ඕනෑ ම කෙනෙකුට ඉතාමත් ගුණදායක ම පානය නැවුම් එළකිරි. පිටිකිරි පානය වෛද්‍යවරු අනුමත කරන්නේ නෑ.

පැණි රස පලතුරු වර්ග නිතර ආහාරයට ගැනීම සුදුසුද?

ඕනෑ ම පලතුරක් ප්‍රධාන ආහාර වේල් තුනෙන් පසුව ග්‍රෑම් පනහකට ආසන්න ප්‍රමාණයක් ආහාරයට එකතු කර ගන්නවා නම් තමයි වඩාත් සුදුසු. පලතුරු වුණත් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම සුදුසු නෑ. අපි හිතමු ඇඹුල් කෙසෙල් කියලා. මඳ වශයෙන් ඉදුණු කෙසෙල් තමයි වඩාත් ම හොඳ. හොදින් ඉදුණු කෙසෙල්වල අඩංගු සීනි ප්‍රමාණය වැඩියි. ඒ වගේ ම තමයි අඹ, පැපොල් වැනි සීනි ප්‍රමාණය වැඩි පලතුරු දියවැඩියා රෝගියෙකුට සුදුසු නෑ. උපරිමය ග්‍රෑම් පනහක ප්‍රමාණය තමයි සුදුසු වන්නේ. නෙල්ලි, වෙරළු වැනි පැණි රස අඩු පලතුරු කෑම එවැනි අයට වඩාත් සුදුසුයි.

බීට්රූට්, වට්ටක්කා, බතල, කැරට් වැනි එළවළු වර්ග ආහාරයට ගැනීමත් දියවැඩියා රෝගීන්ට අහිතකරයිද ?

බීට්රූට්, වට්ටක්කා, කැරට්, බතල වැනි එළවළුවල තිබෙන සීනි දියවැඩියා රෝගීන්ට සුදුසු නෑ. සුළු වශයෙන් ආහාරයට එකතු කර ගත්තාට වරදක් නැහැ. වැඩිපුර ආහාරයට ගැනීම හොඳ නෑ. පලා වර්ග වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීම වඩාත් හොඳයි. ඒ වගේ ම පිටි රහිත එළවළු වර්ග පතෝල, වැටකොළු, බෝංචි වැනි එළවළු ආහාරයට එක් කර ගත්තාට වරදක් නෑ. එමෙන් ම ප්‍රෝටීන් දිනකට ග්‍රෑම් සීයයක් එකසිය පනහක් වගේ ප්‍රමාණයක් ආහාරයට ගැනීම සුදුසුයි.

දියවැඩියා රෝගියෙක් නිවුඩු සහල් බත් කෑම සුදුසු වන අතර සම්බා සහල් වැනි නිවුඞ්ඩ රහිත සහල් බත් කෑම නුසුදුසු යැයි මතයක් තිබෙනවා. එහි සත්‍ය අසත්‍යතාව කුමක්ද?

සම්බ හාල් වැනි පොඩි හාල් ආහාරයට ගැනීමෙන් ඉක්මනින් ජීර්ණය වී ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දී වැඩි සීනි ප්‍රමාණයක් ක්ෂණිකව ලේවලට උරාගැනීමක් සිදු වෙනවා. නිවුඞ්ඩ සහිත සහල් ආහාරයට ගත්විට එහි අඩංගු සීනි ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දී රුධිරයට එක්වීම සිදුවන්නේ ඉතා සෙමින්. එම නිසා ශරීරයේ තිබෙන ඉන්සියුලින් තුළින් එය පාලනය කර ගැනීමට පහසුයි. එහෙයින් නිවුඞ්ඩ සහිත ඇට ලොකු හාල් ආහාරයට ගැනීම හොඳයි. නමුත් වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු නැහැ. සාමාන්‍යයෙන් අඩු කෝප්පයක පමණ ප්‍රමාණයක් එක් වේලකට ආහාරයට ගත්තාට ගැටලුවක් නැහැ.
ඕනෑ ම දෙයක් ඕනෑවට වඩා ඕනෑ ම නෑ කියා කියමනක් ඔබ අසා ඇතිනේ. අද වනවිට ආහාරපාන ගැනීමේ දී එම කියමන අප කාටත් අනුගමනය කළාට වරදක් නැහැ. ප්‍රමාණාත්මකව නිසි පාලනයක් සහිතව තම ආහාර වේල සකස්කරගන්න ඔබටත් පුළුවනි නම් දියවැඩියා රෝගය පාලනය කිරීමටත් ඉන් මිදීමටත් හැකියාව ඇත.

වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ (දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ – කෑගල්ල)

සටහන – හේමන්ත කුමාර ජයසිංහ