Health

දියවැඩියාව හා සෞඛ්‍යමත් ආහාර පුරුදු

අද ලෝක දියවැඩියා දිනයයි. දියවැඩියාව මේ වන විට ලෝකයේ බරපතලම ගැටළුවක් බවට පත්ව තිබේ. දියවැඩියා රෝගයට ප්‍රධානම හේතුව අපගේ නොසැලකිලිමත් ජීවන රටාවයි. දියවැඩියාව සහ සෞඛ්‍යමත් ආහාර පුරුදු පිළිබඳව අද මෙම විශේෂ ලිපිය සැකසේ.

සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ ශාරීරික ව්‍යායාම රුධිරයේ මනා සීනි පාලනයක් පවත්වා ගැනීමට ඉවහල් වන බව අප සියලුදෙනා ම දන්නා කරුණකි.
දියවැඩියාව වැලඳුණු ඔබ පසුතැවිලි වන ප්‍රධාන කරුණක් වනුයේ වෙනදා මෙන් ආහාර ගත හැකිද යන්නයි. ඒ පිළිබඳව ඔබ තවදුරටත් පසුතැවිලි නොවිය යුතු බව මෙම සටහන අවසානයේ ඔබට පසක් වනු ඇත.
දියවැඩියාව සමග ජීවත්වන ඔබ ආහාර පුරුදු පිළිබඳ සැලකිලිමත්වීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු වනුයේ,

01. දියවැඩියාව වැලඳී ඇති ඔබට භාවිත කළ හැකි ආහාර මොනවාද?

02. භාවිත කළ නොහැකි ආහාර මොනවාද?

03. ආහාර ගත යුතු වේලාවන් හා ප්‍රමාණයන්ගේ වෙනස්කම් විය යුතු ද යන කරුණු වේ.

වෙනදා මෙන් විශේෂ උත්සව අවස්ථාවල දී ගන්නා ලද ආහාර නැවතත් එලෙස ම භාවිත කළ හැකි අතර ඔබ කළ යුත්තේ වෙනදාට වඩා අඩු ප්‍රමාණවලින් හා අඩු වාර ගණනක් ගැනීමයි. එවැනි ආහාර භාවිත නොකර සිටීමට වඩා තෝරාගත් වේලාවන් හි දී භාවිත කළ හැකිවීම සතුටට කරුණක් නොවේද?

ඔබට පරිභෝජනයට ගත හැකි ආහාර හා ප්‍රමාණ නීර්ණය කිරීම ඉතා පහසු කරුණකි. ඒ සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වාදීමට කැමැත්තෙමු.
මෙය Plate Model වශයෙන් හඳුන්වනු ලැබේ. මෙහිදී අපගේ ආහාර පරිභෝජනය කරුනු ලබන පිඟාන කොටස් කිහිපයකට බෙදා, එමගින් කොපමණ ආහාර ප්‍රමාණයක් එක් ආහාර වේලක අඩංගු විය යුතු ද යන්න දළ වශයෙන් නීර්ණය කරනු ලැබේ.

1/4 – පිෂ්ටය සහිත ආහාර (බත්/ඇට වර්ග)

1/4 – ප්‍රෝටීන බහුල ආහාර (බිත්තර/මාළු)

1/2 – පිෂ්ටය අඩංගු නොවන එළවළු වර්ග

ඔබගේ ආහාර වේලෙහි සියලු ම පෝෂණ සංඝටක වන පිෂ්ටය, ප්‍රෝටීන, තෙල් සහ මේද සමග කුඩා
ප්‍රමාණවලින් අවශ්‍ය වන විටමින් සහ කැල්සියම්, ලවණ වර්ග අඩංගු විය යුතුය. ප්‍රධාන ආහාර වේල් කුඩා ප්‍රමාණයෙන් ගෙන අතරතුර කෙටි සෞඛ්‍ය සම්පන්න අමතර වේල් දෙකක් ගැනීමෙන් බඩගිනිවීම වළක්වාගත හැකිය.

දියවැඩියාව වැලඳී ඇති ඔබ දිනකට ගනු ලබන සීනි හා පිෂ්ට ප්‍රමාණය සීමා කළ යුතු අතර ප්‍රෝටීන හා අනෙකුත් සංඝටක ප්‍රමාණවත් ලෙස පරිභෝජනය කළ යුතුය. පිෂ්ට ප්‍රමාණය සීමා කිරීම පිළිබඳ අප ඉදිරියේ දී ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමු.
පරිභෝජනය කරන මේද ගැන සැලකිලිමත්වීමේ දී අසංතෘප්ත මේද (Unsaturated Fat) අඩංගු මේද වර්ග, උදා: Sunflower Oil, Olive Oil,  අලිගැටපේර භාවිතය සුදුසු වේ. සංතෘප්ත මේද (Saturated Fat) උදා: Coconut Oil භාවිතය නුසුදුසු ය.
ඔබ සීමිත කළ යුතු ආහාර වනුයේ,

අධික පිෂ්ටය සහිත ආහාර, සීනි සහිත ආහාර, පැණි බීම වර්ග, ශක්තිජනක පාන වර්ග, අධික ලුණු සහිත ආහාර ඹබි්එමර්එැා ත්‍්එ
පැණි බීමවල පහත පරිදි සීනි ප්‍රමාණයක් අඩංගු කර ඇත.

ඔබගේ දියවැඩියාව පාලනයට භාවිත කරනු ලබන ඖෂධ වර්ග අනුව එනම් පෙති / ඉන්සියුලින් ඔබ ආහාර ගනු ලබන වෙලාවන් සකසාගන්න.

උදාහරණ ලෙස ඉන්සියුලින් ගනු ලබන්නේ නම් ආසන්නත ම ආහාර වේල මගහරවා නොගැනීමට වගබලාගන්න.
එසේ නොමැති නම්, ඔබගේ රැකියාවට පහසු වන ලෙස වෙනදා මෙන් ආහාර පරිභෝජනය කරන වේලාවන් සකස් කරගන්න.
බර වැඩි පුද්ගලයන් බර අඩු කරගැනීමට අවධානය යොමු කළ යුතු අතර, බාහිරින් විටමින් වර්ග ගැනීමට අවශ්‍ය නොවේ.

සටහන – වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල (  MBBS ,MD ) Senior Registrar දියවැඩියා සහ අන්තරාසර්ග ඒකකය දකුණු කොළඹ ශීක්ෂණ රෝහල