Health

ඇලජික් කියන්නේ රෝගයක් ද?

සමහර කෑම බීම සහ පරිසර තත්ත්වයන් හේතුකොට ගෙන ඇතැම් විට ඖෂධයන් හා ආලේපනයන්, සත්ත්වයන් හේතුකොටගෙන ඇතිවන ලප සහ පලු දැමීම්, කැසීම් සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇලජික් හෙවත් අසාත්මිතා ලෙස බොහෝදෙනා විසින් හඳුන්වනු ලබයි.

සැබැවින් ම අසාත්මිකතාවක් නැතිනම් ඇලජික් ඇතිවීමක් යනු කුමක් ද යන්න පිළිබඳ කිසියම් දවසක ඔබට ද යම් ගැටලුවක් මතුව තිබෙන්නට පුළුවන. එමෙන්ම කවරෙකු වුවුත් ඕනෑ ම කෙනකු ජීවීතයේ කිසියම් දවසක අසාත්මිකතාවකට ගොදුරුවී තිබීමට පුළුවන.
සාමාන්‍යයෙන් මිනිස් සිරුරට නොගැළපීමක් අහිතකර නොවන ද්‍රව්‍යකට ඇතැම් පුද්ගලයන් දක්වන සංවේදීතාව මේ අකාරයෙන් අසාත්මිකතා ඇතිවීමට හේතුකාරක සපයයි.

කෙසේ නමුත් අසාත්මිකතා ඇතිවන්නේ එකම ආකාරයකට නොවේ. අසාත්මිකතාව ඕනෑ ම ස්ථානයක හටගත හැකි අතර, මෙම තත්ත්වය ඇතිවීමට වයස් භේද, ස්ත්‍රී පුරුෂ වයස් භේද ආදිය බලනොපවත්වයි. එමෙන්ම අසාත්මිකතා ඇතිවීමට කෘත්‍රිම ද, ස්වභාවික ද යන්න බලනොපාන අතර මේ දෙවර්ගයෙන් ම නොයෙකුත් ආසාදනයන් ඇතිවිය හැකිය.

අපි මෙහොතකට අසාත්මිකතා ඇතිවීමට බලපාන හේතු එකින් එක විමසා බලමු

සුරතල් සතුන්

‘සුරතල් සතුන් නිසා අසාත්මිකතා මතුවේ ය’ යන්න ඇතැම්විට ඔබ පිළිනොගන්නට ද ඉඩ තිබේ. බල්ලන් බළලුන් ආදීන්ගේ ලොම්, පරෙවියන්, කුකුළන් හා බජිරිගාර් (ලව් බර්ඩ්ස්) හා ඇතැම් කුරුල්ල්න්ගේ පිහාටු අතර, ඇසට නොපෙනෙන තරම් සියුම් සතුන් (පියාපත් කැසීමේ දී මෙම සතුන් වාතය හා මුසුව ආඝ්‍රහනය විය හැකිය.) සුරතල් සත්ත්වයෙකු නොවන නමුත් දළඹුවන් තැවරීම මෙසේ අසාත්මිකතා ඇතිවන ලකුණු පෙන්විය හැකිය.

දූවිලි

දූවිලි යැයි කියු සැණින් බොහොදෙනෙක් සිතන්නේ මහමග ඇති දූවිලි ගැන පමණි. දූවිලි යනු නිවසේ දී ඔබ අසාත්මිකතාවන්ට ගොදුරු කරගන්නා දෙයක් ඔබේ විදුලි පංකාවේ, fදාර ජනේල්වල දමා ඇති තිර රෙදි මත මෙන්ම පොත් රාක්ක, බිත්තියේ ඇති මකුළු දැල් සහ ගෘහභාණ්ඩ ආදියේ ද තැන්පත්වී සිට ඔබේ ශ්වසනය හරහා දූවිලිවලින් ඔබට අසාත්මිකතා මතු කරවිය හැකිය. ඩස්ට් මයිට් නම් සියුම් සත්ත්ව විශේෂයක් මෙහිදී දූවිලිවල ජීවත් වන බව අප දැනසිටීම වැදගත් ය.

විවිධ ආහාර පාන

සමහරුන්ට අන්නාසි, අච්චාරු, තක්කාලි, මස් වර්ග හෝ මාළු සමහරක්, හතු වර්ග, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් මෙන්ම ඇතැම් පාන වර්ග, සිසිල් බීම, අයිස් ක්‍රීම් අසාත්මිකතා ඇතිවිය හැකිය. සිරුරේ පලු මතුවීම, කැසීම, සම රතුවී ඉදිමීම, බිබිලි දැමීම, ශ්වසන අපහසුතා ඇතිවීමට පුළුවන.

මල් රේණුවලින්

මල්වල පවතින සියුම් පරාග හා ඒවායේ ජීවත්වන කුඩා සතුන් ද නාසයට ඇතුළු වුවහොත් ඇතැමුන්ට අසාත්මිකතා ලක්ෂණ ඇති කරන්නට පුළුවන.

මදුරුවන් ආදී කෘමි සතුන් දෂ්ට කිරීම

මෙවිට දෂ්ට කළ ස්ථානය රතුවී, ඉදිමී, විශාලවී, පලු මතුවී, පැසවූ කලෙක මෙන් වේදනා ඇති කළ හැකි අතර එම පැල්ලම් සම මත ඉතිරි විය හැකිය.

ඇතැම් සතුන්ගේ අසූචි නිසා

සත්ත්ව අසූචි ඉවත් නොකිරීම නිසා පසේ දූවිලි සමග එකතුවී සිරුරට ඇතුළු විය හැකිය.

ඇතැම් රසායනික ද්‍රව්‍ය නිසා

සම මත තැවරීමෙන් හෝ ශරීරගතවීමෙන් අසාත්මිකතා මතුකරයි. බොහෝවිට ආලේපන වර්ග, ස්ප්‍රේ වර්ග, සුවඳ විලවුන් වර්ග ආදිය නිසා ද මෙම තත්ත්වයන් මතුවනු දැකිය හැකිය.

ලෝහමය ද්‍රව්‍ය නිසා

ඇතැම් පුද්ගලයන්ට ඔරලෝසු හා මාල, මුදු, කරාඹු වැනි ආභරණ පලඳන අවස්ථාවල ද අසාත්මිකතා ඇතිවිය හැකිය.
අධික සීතල හා රස්නය

මේ කාරණාවල දී ද සමට මෙන් ම සිරුරේ ක්‍රියාකාරීත්වයේ යම් යම් වෙනස්කම් (ශ්වසනය වැනි) මතුවනු දැකිය හැකිය.

ඇතැම් ඖෂධ

ඇස්ෆීන්, බ්රූෆන් මෙන් ම පෙනිසිලින් වැනි ඖෂධ හා එම කාණ්ඩයේ ඖෂධ නිසා ද අසාත්මිකතා මතුවන බැවින් හිතුමතේ ඖෂධ භාවිතය අනිසි ප්‍රතිඵල ඇතිකරයි.

දැන් අපි අසාත්මිකතා ඇතිවීමට තුඩු දෙන කරුණු මොනවාදැයි සාකච්ඡා කර අවසන් නිසා අසාත්මිකතා නිසා මතුවන ලක්ෂණ මොනවාදැයි බලමු.

පළමුවෙන් ම ඔබ දැන සිටිය යුත්තේ අසාත්මිකතා නිසා ඔබේ සිරුරේ ඕනෑ ම කොටසක යම් යම් රෝග ලක්ෂණ මතුවිය හැකිය. එමෙන්ම මතුපිට පෙන්වන අසාත්මිකතා ලක්ෂණ හැරුණුකොට අසාත්මික කාරකය රුධිරගත වුවුහොත් ශරීරයේ ඕනෑ ම ස්ථානයක ඒ නිසා මතුවන රෝග ලක්ෂණ දැකිය හැකි බව මතක තබාගන්න.

ප්‍රධාන වශයෙන් ම අසාත්මිකතාවක් යැයි සැක කළ හැකි ලක්ෂණ හඳුනාගනිමු

ශරීරයේ පලු මතුවීම, මානසික ආබාධ ඇතිවීම, ඇඳුම, හිසරදය, ඇස්වලින් කඳුළු ගැලීම, රතුවීම, සමේ දද ඇතිවීම, රතු පැහැවීම, සම කැසීම, රස්නයක් ඇතිවීම, සොටු දියර ගැලීම, කැස්ස ඇතිවීම, උණ ගැනීම, ඇතැම් විට සිහිය නැතිවීම වැනි ලක්ෂණ අසාත්මිකතා නිසා ඇතිවිය හැකිය. සහි නැතිවීම දක්වා දරුණුවූ අසාත්මිකතා අප ඇනපිලැකිසීස් (Anaphylaxis) නමින් හඳුන්වන අතර, රෝහලක සහාය ලබා ප්‍රතිකාර වෙත කඩිනමින් යොමුවිය යුතුය.

මන්ද ඇනපිලැකිසීස් තත්ත්වයක දී රුධිර පීඩනය අඩුවීම නිසා රෝගීයා කම්පන තත්ත්වයකට පත්වන බැවින් නිසි ප්‍රතිකාර නොලදහොත් රෝගියා මියයි හැකිය.

යම් ආකාරයකින් අසාත්මිකතාකාරකය පුද්ගලයකුගේ පෙනහලු වෙත ඇතුළු වුවුහොත් තොල් ඉදීමීම, වමනය, ඔක්කාරය හා පාචනය ඇතිවිය හැකි බව ද මතක තබාගන්න.

දැන් අපි අසාත්මිකතා සම්බන්ධයෙන් පවතින රෝග ලක්ෂණ මොනවාද යන්න විමසා බලමු

මේ සඳහා වෛද්‍යවරයා විසින් ඇනිටිහිස්ටමින් (Antihistamine) කාණ්ඩයට අයත් ඖෂධ වර්ග නිර්දේශ කරනු ඇත. මෙම කාණ්ඩයේ ඖෂධ, ගිලින පෙති එන්නත්, නාසයට හා ඇසට දමන දියර ලෙස ද ලබාදෙන්නට පුළුවන. මේ හැරෙන්නට ඩිසෝඩියම්ක්‍රොමොග්ලයිකේට් (Disodiumcromoglycate) අසාත්මිකතා ඇතිවීම වළක්වයි. කෝටිකොස්ට්රොයිඩ කාණ්ඩයේ ඖෂධ ද මේ සඳහා වෛද්‍ය නිර්දේශ යටතේ ලබාදෙයි. හයිඩ්‍රොකෝටිසෝන්, ප්‍රෙඩ්නිසොලෙන්න් ද ප්‍රතිකාර ලෙස යෙදවේ.

කිසියම් අවස්ථාවක ඔබට යම් අසාත්මිකතාවක් ඇති කළ ආහාරයක්, ඖෂධයක් හෝ වෙන කිසියම් දෙයක් ගැන දැනගත් පසු ඕවායින් ඈත්වී සිටීම බොහෝ ගැටලු මර්දනය කරගන්නට ඔබට උපකාරී වෙයි.

ආසාත්මිකතා යනු කෙබඳු තත්ත්වයක් ද, එය සමට පමණක් බලපානු ලබන්නක් නොවන බව ද දැන් ඔබ තුළ අවබෝධයක් ඇති.

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කන්නංගර

සටහන – යසස්වීනී ජයතිලක