Health Guide

සන්ධි වේදනා සහ අස්ථි පර්වදාහය

සන්ධි වේදනා පිළිබඳ අද පැමිණිලි කරන බොහෝදෙනෙකු එදා මෙන් වයස්ගත වූවන් ම නොවේ. අද තියෙන කෑමවල හැටි තමයි මේ යැයි බොහෝදෙනා කතාවට කීවත් සන්ධි වේදනාවේ වගකීම තනිකර ම ආහාරපානවලට විතරක් පවරන්න බැහැ. ඒ සන්ධි වේදනාවලට බලපානු ලබන වෙනත් හේතූන් ද පවතින නිසයි.

බොහෝ විට සන්ධි වේදනා කැක්කුම් බහුතරයක් බැර වෙන්නේ ආතරයිටිස් රෝගයටයි. නමුත් ආතරයිටිස් එසේත් නැතිනම් ආයුර්වේදය අනුව අස්ථි පර්වදාහයට හේතුව තනිකර ම ආහාර පමණක් නොවේ. අස්ථි පර්වදාහය නැතහොත් සන්ධිගත වාතය යනු මිනිස් සිරුරට සන්ධිවලට වේදනා ඇති කරන එක ම රෝගය නොවේ. නැතහොත් සන්ධිගත වාතය යනු මිනිස් සිරුරට සන්ධිවලට වේදනා ඇති කරන එක ම රෝගය නොවේ.

ඇතැම් සන්ධි වේදනා ඇතිවන්නේ වැරදි ඉරියව් හේතුවෙනි. එසේත් නැතිනම් නිදාගැනීම සඳහා භාවිත කරන මෙට්ට කොට්ට ශරීරය හා නොගැළපීම, ඉඳගන්නා පුටුව ශරීරයේ පිහිටීමට සහය නොදැක්වීම, පාවහන්වල වැරදි යනාදිය ද සන්ධි වේදනාවලට හේතු සපයතැයි කිවහොත් එය වරදක් නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාවේ අර්ගනොමික්ස් යනුවෙන් නවතම විෂයයක් ලෙස කතාබහට ලක්වනුයේ මෙම කාරණයයි. ඇතැම් පාවහන් නිසා ඇඟිලි සිරවීම, මැණික් කටුව ලෙස හඳුන්වන ස්ථානය ඇඹරීයාමෙන් ඇති වන මස්පිඬු වේදනාව ද සමහරවිටෙක අස්ථි වේදනාවක් ලෙස දැනීමට ඉඩ ඇත. එමෙන්ම වඩා උස අයෙක් නම්, උස පුටුවක වාඩි වී පහත පිහිටි මේසයක වැඩ කරන්නන්ට වුවහොත් සිරුර පවත්වාගන්නා අසීරු ඉරියව්ව හේතුවෙන් ගෙල පෙදෙස සහ කොන්ද ආශ්‍රිතව වේදනාවක් මතුවිය හැකිය. ඒ ආකාරයෙන් ම නිදාගන්නා මෙට්ටය ද ඔබේ කොන්දේ වේදනා කැඳවන්නට ඉඩ තිබේ. දැන් ඔබ අස්ථිවල ඇතිවන නැතහොත් අස්ථිය හා බැඳුණු මාංශපේශිවල ආතතිය හේතුවන වේදනා අස්ථි පර්වදාහයට නැතිනම් ආතරයිටිස් රෝගයට සම්බන්ධයක් නැති බව අවබෝධ කර ඇතිවාට සැකයක් නැත. අප අද කතාබහට ලක්කරනුයේ අස්ථි පර්වදාහය නැතිනම් සන්ධිගත වාතය ඔස්ටියෝ ආතරයිටිස් ලෙස බටහිර වෙදකමේ සාකච්ඡාවට බඳුන් කරන කාරණයයි.

ඔස්ටියෝ ආතරයිටිස් යනු අස්ථි වියපත්වීම ආරම්භයේ සිට ඇතිවන රෝගයකැයි වෙන් කළ හැකිය. සැබවින් ම මෙය අස්ථිය තුළ ඇතිවන ප්‍රදාහ තත්ත්වයකි.

දණහිස මෙයින් වැඩිපුර ම ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට බඳුන් වන බව දක්නට හැකිය. දණහිස 75%ක් ද අතේ ඇඟිලි 60%ක් ද වේ.
කටී කශේරුකා 30%ක් ද උකුල 25%ක් ද, ග්‍රිව කශේරුකා 20%ක් ද, වළලුකර සන්ධියට 20%ක් ද, උරස් සන්ධියට 15%ක් ද, වැළමිට 10%ක් ද ආදි වශයෙන් පීඩාවට ලක්වෙයි. ඇත්තෙන් ම දණහිස යන්න සිරුරේ පවතින ශක්තිමත් ම සන්ධිය නොවේ. එය දුර්වල සන්ධියකි. මෙම සන්ධිය යම් අයෙකු අධිකව බර එසවීම නිසා ද, නිරතුරු චලනවලට හා තැලුම් පෙළුම්වලට භාජනය වන නිසා ද ඉතාමත් සියුම් ආකාරයේ තුවාල හා අඛණ්ඩ සීරිම් නිසා ද කාලයත් සමඟ දැඩිව දැනෙන තුවාලයක් බවට පත්වෙයි. ග්‍රීවා කශේරුකාගත අස්ථි පර්වදාහය කොඳු ඇට පෙළේ ඇතිවන පර්වදාහයකි. බොහෝදෙනෙක් එය සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් යැයි හඳුන්වන්නේ කොඳු ඇට පෙළේ මතුවන නිසා ය.

මෙම රෝගය මැදිවියෙන් පසුව එළඹෙන නිශ්චිත හේතු නොදත් චිරකාලි ලක්‍ෂණ ඇති පරිහානික බහු සන්ධි රෝගයකැයි සැලකෙන අතර අස්ථිවල වෘද්ධිතාවක් ඇතිවන සන්ධි ප්‍රදාහයක් යැයි සැලකෙයි.

සාමාන්‍යයෙන් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය අප රටේ අයට පමණක් නොව මුළු ලොව පුරාම ව්‍යාප්තව පවතින්නකි.

ලෝක ජනගහනයෙන් 20%කට පමණ මෙම රෝග තත්ත්වය පවතී යැයි සැලකේ. අවුරුදු 40කට පසු රෝගය හටගැනේ යැයි පැවසිය හැකි අතර 50%ක ප්‍රමාණයෙන් අවුරුදු 60 ඉක්මවූවන්ට ද 90%ක් අවුරුදු 80 ඉක්මවා යාමේ තත්ත්වයක් ද පවතියි.

විශේෂයෙන් ම අර්ථවහරණයට පත් වයස්ගත හෝ මැදිවියේ කාන්තාවන්ට සහ තරබාරු කාන්තාවන්ට මෙම රෝගය වැඩිපුර වැලඳෙයි. නමුත් මෙය කාන්තාවන්ට පමණක් වැලඳෙන රෝගයක් යැයි සැලකිය යුතු නැත.

එමෙන්ම තම තමන් නියැලෙන රැකියාවන් අනුව ද මේ තත්ත්වයේ යම් යම් ලක්‍ෂණ දැකිය හැකිය. අප මුලින් ම කම්කරු රැකියාවල නියුතු වූවන්ට දණහිසේ හා වළලුකරෙහි ද, පතල් කර්මාන්තයේ නියැලෙන්නන්ට කොඳු ඇට පෙළෙහි හා දණහිසේ ද, පාපන්දු ක්‍රීඩකයන් වැනි අයට මැණික් කටුවේ ද මේ රෝගයේ අවස්ථා මතුවීමට ඉඩ පවතියි. විශේෂයෙන් සුදු ජාතිකයන් සම්බන්ධයෙන් සලකන කල ඔවුන්ට උකුළු සන්ධියේ මේ තත්ත්වය වැඩිපුර ඇතිවෙනු දක්නට පුළුවන. කෙසේනමුත් මේ රෝගය සම්බන්ධයෙන් දේශගුණික බලපෑමක් පවතින බව දැනගත යුතුය. නමුත් මේ රෝගීන් රුමැටියාහ පර්වදාහ රෝගීන් තරමට නිතර නිතර රෝගී තත්ත්වය පිළිබඳ එහි වේදනාව පිළිබඳ පැමිණිලි කරනු දැකිය හැකිය. මෙම රෝගීන් බොහෝ විට අධික තරබාරුවෙන් යුතු අය විය හැකිය. අධික බර දැරීම නිසා යාන්ත්‍රිකව ඇතිවන සූක්‍ෂම සිරීම් තුවාලවලින් මෙම රෝගය හටගන්නා බව පෙනෙයි. සාමාන්‍යයෙන් අපි අස්ථි සම්බන්ධිත රටාව පිළිබඳ විමසා බැලීමේදී එම රෝගයට ගොදුරු වන්නන්ගේ විශේෂ ලක්‍ෂණයක් ද දැකිය හැකිය. ඒ එම ඇඟිලි පුරුක්හි විකෘතිවූ ඇට කෙළවර හෙබර්ඩන්ගේ ගැට නම් ගැට විශේෂයක් හට ගැනීමයි. මුල දී ප්‍රදාහයක් ඇති විට මෙම ගැටවල රතු පැහැය, ඉදිමුම, උණුසුම, ස්පර්ශය නොඉවසුම ආදී ලක්‍ෂණ පැවතීමට ඉඩ තිබේ. නමුත් එම ප්‍රදාහ ඉවත්ව ගිය පසුව එම ගැටවල වේදනාවක් නොමැතිව ඉදිමුමක් දැකිය හැකිය.මෙහිදී වඩාත් ම පීඩාවක් ඇති වන්නේ, අතේ හා පයේ මහපට ඇඟිල්ලට ය.

එමෙන්ම මෙම අස්ථි පර්වදාහය ප්‍රාථමික අස්ථි පර්වදාහය හා ද්විතියික අස්ථි පර්වදාහය වශයෙන් කොටස් දෙකකට වෙන්වන අතර ප්‍රාථමික අස්ථි පර්වදාහයට තවමත් හේතු සොයාගෙන නැත. නමුත් ද්විතියික අස්ථි පර්වදාහයට පවතින හේතු ලෙස වයස්ගතවීම, අභිඝාත, භෞතවේදිය ප්‍රපීඩන හා දුර්වලතා, පාරම්පරිකත්වය, පරිවෘත්තිය විකෘති, අන්තෝසර්ග (හෝමෝන) විකෘති, ආසාදන, රුධිර නාල රෝග, මානසික උද්වේග, ආදිය සැලකිය හැකියි. මේවා නිසි පරිදි හඳුනාගෙන ප්‍රතිකාර යෙදීමට නම් රෝගියා විසින් රෝග විස්තර හා ඇවතුම් පැවතුම් පිළිබඳ සත්‍ය තොරතුරු වෛද්‍යවරයාට පැවසීමට අවශ්‍ය ය. ඒ ප්‍රතිකාර තීරණය කළ හැකි වනුයේ ඒ අනුව බැවිනි. ආතරයිටිස් රෝග හා බැදුණු තවත් රෝග පැවතියත් ඒවා සම්බන්ධ ගැටලු නිසි රෝග පරීක්‍ෂාවකින් පසු කළ යුතු වෙයි.

අයුර්වේද වෛද්‍ය අනිල් වසන්ත ජයවීර
(ගම්පහ අස්ගිරියේ ජයවීර හෙළ වෙද මැදුර)

සටහන – යසස්වීනි ජයතිලක