Health

දරුවන්ගේ සහ ගැබිනි මව්වරුන්ගේ මුඛ සෞඛ්‍යය

සමාජයේ බොහෝ පුද්ගලයන් තමන්ගේ මුඛ සෞඛ්‍යය පිළිබදව අවධානය යොමු කරන්නේ ඉතාමත් අවම මට්ටමකිනි. ඒ තමන්ගේ අපිරිසිදුකම සහ නොසැලකිල්ල හේතුවෙන් තම බිළිදුන්ට සහ ගර්භණී සමයේ දී කුස තුළ සිටින දරුවන්ට ද තමන්ගෙන් මුඛ රෝග හා විෂබීජ සම්පේ‍්‍රෂණයවීම පිළිබදව අවධානයකින් තොරව ය.

සාමාන්‍යෙයෙන් මුඛ සෞඛ්‍යය යහපත් ආකාරයෙන් පවත්වාගෙන නොයන පුද්ගලයෙක් දරුවන්ව සිපගැනීම, දරුවන්ට කවන ආහාරවල උණුසුම අඩුවීම සදහා පිඹීම වැනි දෑ සිදුකිරීමෙන් දරුවන්ට විෂබීජ ශරීරගතවී මුඛ රෝග මෙන් ම විෂබීජ නිසා ඇතිවන වෙනත් රෝග ද වැලදීමේ අවදානමක් තිබේ. එහෙයින් යහපත් මුඛ සෞඛ්‍යයකින් තොර පුද්ගලයන් දරුවන්ට සමීපව කටයුතු කිරීමෙන් වළක්වාගත යුතුය. එමෙන් ම දරුවන්ගේ මුඛ සෞඛ්‍යය පිළිබ`දව ද ළදරු අවධියේ සිට ම වැඩිහිටියන් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය. දරුවාගේ පළමු දතේ සිට ම අවධානය යොමු කළ යුතුය. එනම් දරුවාගේ මුඛයෙන් පෙනී යන්නේ දෙමාපියන්ගේ මුඛ සෞඛ්‍යය පිළිබද අවබෝධයයි.

විශේෂයෙන් ම මුඛ සෞඛ්‍යය පිළිබදව එතරම් සැලකිල්ලක් නොදක්වන කාන්තාවන් ගර්භණීභාවයට පත්වූ විට අයහපත් මුඛ සෞඛ්‍යය හේතුවෙන් බොහෝ අසීරුතාවන්ට පත්වන අයුරු දැකගත හැකිය. එනම් බොහෝ අපහසුතා මැද ජීවත්වන ගර්භණී සමය තුළ මුඛයේ විසර ගෙඩි ඇතිවීම, දත් කැක්කුම් ඇතිවීම වැනි තත්ත්ව විදගැනීම ඉතාමත් අපහසු වේ. එමෙන් ම ගැබිනි සමයේ දී මව්වරුන්ට විවිධ ඖෂධ වර්ග ලබාදීම සහ ශල්‍යකර්ම සිදුකිරීම අවදානම්සහගත නමුත්, මෙවැනි අවස්ථාවල වෛද්‍යවරුන්ට අවදානම තිබියදී ම ඖෂධ ලබාදීමට හා අවශ්‍ය නම් ශල්‍යකර්ම සිදුකිරීමට සිදුවේ. එය ගර්භණී මව්වරුන්ට ද විදීමට සිදුවන අසීරු අවස්ථාවකි.

එමනිසා විවාහ වන යුවළක් ඊට පෙර පොරොන්දම් පරීක්ෂා කිරීම සේ ම තම තමන්ගේ මුඛ සෞඛ්‍යය පිළිබදව පරීක්ෂා කරවාගෙන සිටීම ඉතාමත් යෝග්‍ය ය. එවිට විශේෂයෙන් කාන්තාවට ගර්භණී සමය වනතෙක් තමන්ගේ මුඛ සෞඛ්‍යය යහපත්ව පවත්වාගැනීම පිළිබදව අවබෝධය ලැබෙනු ඇත. තව ද ගර්භණීභාවයට පත්වූ පසු දත් මැදීම සහ මුඛය පිරිසිදු කිරීම සිදුකරන අවස්ථාවල මුඛයේ ඇතිවන අප‍්‍රිය ගතියත්, වමනය යාම වැනි තත්ත්වයනුත් නිසා ඇතැම් මව්වරුන් සමහර අවස්ථාවල එම ක‍්‍රියාව මහහරියි. එය සෞඛ්‍යයට ඉතාමත් අහිතකර තත්ත්වයකි.

ගර්භණී අවධියේ දී ශරීරයේ හෝමෝනවල වෙනස්කම් සිදුවන බැවින් මුඛයේ විදුරුමස් වර්ධනය සිදුවේ. එමෙන් ම වමනය යන අවස්ථාවල ඒ සමග පැමිණෙන ඇසිඞ් වර්ග නිසා දත් දියවීම ද සිදුවේ. එවිට විදුරුමස් සහ දත් අතර ආහාර කොටස් රැදීමේ හැකියාව වැඩි අතර එම ආහාර කොටස් මුඛය තුළ පැවතීමෙන් විදුරුමස් රෝග ඇති වේ. එහි දී දත්වලින් ලේ ගැලීම වැනි තත්ත්වයන් උදාවිය හැකිය. එවැනි තත්ත්වයක දී ඒවා පිරිසිදු කරගැනීම අපහසු ය. එසේ ම එවිට ඔක්කාරය, වමනය යාම වැනි තත්ත්ව ඇතිවීම නිසා එවැනි ගැබිනි මව්වරුන්ට මුඛය පිරිසිදු කිරීම වේදනාකාරි ක‍්‍රියාවක් වේ. තව ද වයස අවුරුදු 21ත් 26ත් අතර කාලයේ දී ඤාණ දත ලෙසින් හදුන්වන කෙරවලේ තුන්වන දත එමින් පවතී. නමුත් ඇතැම් අයගේ එම දත පැමිණීමට නොහැකිව හිරවී පවතී. ඒ අනුව ගර්භණි සමයේ දී අයහපත් මුඛ සෞඛ්‍යය හේතුවෙන් එම දත පවා කැක්කුමක් ගෙනදිය හැකිය. එවිට එම දත ගැලවීමට සිදුවුවහොත් එය විශාල සැත්කමකින් සිදුකළ යුත්තක් වේ. එය ගර්භණී කාලයේ දී සිදුකිරීම විශාල ගැටලුවකි.

එමෙන් ම මෙවැනි මුඛ රෝග තත්ත්වයක් ඇතිවුවහොත් එම කාන්තාවන්ට කුසේ සිටින දරුවා ගැන සිතනවාට වඩා තමන්ගේ මුඛය ගැන සිතන්නට සිදුවේ. එම නිසා ම වර්තමානය වනවිට ශ‍්‍රී ලංකාව තුළ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හරහා ගැබිනි මව්වරුන්ට දන්ත වෛද්‍යවරයෙකු හමුවී මුඛ සෞඛ්‍ය පිළිබද වර්තාවක් ලබාගැනීමට උපදෙස් ලබාදෙයි. නමුත් ඇතැම් අය ඒ පිළිබදව වැඩි සැලකිල්ලක් නොදක්වන අතර දරුවා ලැබීමට ආසන්න කාලයේ දී මේ නිසා බොහෝ අපහසුතාවලට ලක්වේ.

වර්තමානය වනවිට නවීන වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන ඇති පරිදි මුඛය නිරෝගී නැති ගැබිනි මවකගේ මුඛයේ ඇති බැක්ටීරියාවල විෂ රසායන ද්‍රව්‍යවලට කලලයට බලෑමක් කළ හැකිය. එනම් ඒ හේතුවෙන් නියමිත කාලයට පෙර දරුවා බිහිවීම, දරුවාගේ වර්ධනය අඩුවීම, දරුවාගේ ප‍්‍රමාණවත් බර නොලැබීම වැනි සංකූලතා ඇතිවන බව ද හදුනාගෙන තිබේ.

ගර්භණී අවධියේ මාස තුනෙන් පසුව කලලය තුළ දරුවාගේ දත් වැඞීම සිදුවේ. ඒ සදහා දරුවාට කැල්සියම් අවශ්‍යතාවක් ඇතිවන අතර මව ප‍්‍රමාණවත් කැල්සියම් ප‍්‍රමාණයක් ආහාර මගින් ලබාගත යුතුය. එනම් කැල්සියම් අඩංගු ආහාර සහ පළා වර්ග, පලතුරු වර්ග, එළවළු වර්ග ආදිය අවශ්‍ය පෝෂ්‍ය අවශ්‍යතාවට සරිලන ප‍්‍රමාණයට ලබාගත යුතුය. එමෙන් ම කලලයට යම් කාල පරාසයක් අවශ්‍ය පරිදි කැල්සියම් නොලැබුණහොත් දරුවාගේ දත් එන කාලයේ දී දරුවාගේ දත්වල වර්ධනය නොවුණු රේඛාවක් පිහිටයි. තව ද ඇතැම් මව්වරුන් දරුවා ලැබුණු පසු දරුවාට කිරි ලබාදීම නිසා කැල්සියම් හිගවීමෙන් තමන්ගේ දත් නරක් වූ බව පවසනු දැකිය හැකිය. නමුත් එය සම්පුර්ණයෙන් ම මිත්‍යා මතයක් වන අතර එහි දී සිදුව ඇත්තේ දරුවාගේ කටයුතුත් සමග තමන්ගේ මුඛ සෞඛ්‍යය නොසලකා හැරීම නිසා මුඛ රෝග හටගැනීමයි. එහෙයින් සියලු මව්වරුන් තමන්ගේත්, දරුවන්ගේත් මුඛ සෞඛ්‍යය පිළිබදව නිරන්තරයෙන් සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.

වෛද්‍ය අසේල විජේසුන්දර

Dental Surgeon / Implanlogist

(Roswood Dental Hospital – Kadawatha)

සටහන – ඉසුරු සුධාරක දිසානායක