Health Guide

මුඛ රෝගවලින් ආරක්‍ෂා වෙන්නේ මෙහෙමයි

ඕනෑ ම පුද්ගලයෙක් තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන විට විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතු අංගයක් ලෙස මුඛය හැඳින්විය හැකිය. ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වන ස්ථානය ලෙස හඳුනාගත හැකි මුඛය පිරිසිදුව තබාගැනීම අතිශය වැදගත් වන අතර සමබල ආහාර වේලක් ලබාගැනීම ද නිරෝගී මුඛයක් පවත්වාගැනීමට බලපායි. එහිදී මධුර, අම්ල, ලවණ, තිත්ත, රස-කටු, කසාය යන රස හයෙන් ම යුතු ආහාර ලබාගැනීම වැදගත් වේ.

බොහෝවිට කුඩා දරුවන්ගේ මධුර රස (පැණි රස) ආහාර වැඩිපුර ගැනීමට හුරුවීම දැකිය හැකි අතර තරුණ වියට එළඹෙන විට ඇඹුල් රස දෑ ආහාරයට ගැනීමට කැමැත්තක් දක්වයි. එම පුරුදු නිසි ආකාරයෙන් කළමනාකරණය කර නොගතහොත් ඉක්මනින් දත් දිරායාම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. එමනිසා එවැනි ආහාරයක් ලබාගත් පසු හොඳින් දත් සහ දිව මැද මුඛය පිරිසිදු කර ගැනීම අවශ්‍ය ය. එමෙන්ම සාමාන්‍යයෙන් දිනකට දෙවරක් දත් මැදීම වෛද්‍ය නිර්දේශය වන අතර ඒ සඳහා සෞඛ්‍යාරක්‍ෂිත දත් බුරුසුවක් භාවිත කරයි. එහෙත් අතීතයේ දී මේ සඳහා භාවිත කළේ දැහැටි කූරකි. එම දැහැටි කූරු කුරුඳු වැනි ඖෂධීය ශාකවලින් සකසාගන්නා බැවින් මුඛයේ ආසාදන ඇති කරන හෝ මුඛයෙන් දුගඳ හැමීමට දායක වන බැක්ටීරියාවලට විරුද්ධව ක්‍රියා කිරීමට ඒවාට හැකිය.

එසේම දත් මුල් දියවීම වැනි තත්ත්වයක දී කාලයකට විදුරුමස තුවාලවී ලේ ගැලීම සිදුවන අතර ටික කාලෙකින් එම තුවාල සුවවී යන නමුත් නැවත ඇති විය හැකිය. එම නිසා එවැනි අයට ළපටි පුවක්, කරාබු නැටි, එනසල්, කුරුඳු පොතු, සාදික්කා, වසාවාසි වැනි ඖෂධීය ද්‍රව්‍ය එකතු කළ ජලයෙන් කට සේදීම ආයුර්වේදයේ නිර්දේශ කරයි. එමෙන්ම දිනපතා ම ලුණු මිශ්‍ර ජලයෙන් කට සේදීම ද ඕනෑම පුද්ගලයෙකුට යහපත් මුඛ සෞඛ්‍යයක් සඳහා ප්‍රයෝජනවත් වේ. මීට අමතරව විදුරුමස් දියවීම සුව කිරීම සඳහා මංජනෙ සෘක් නමින් ඖෂධයක් ඇත. එම ඖෂධය විදුරුමස්වල ආලේප කිරීම ආයුර්වේදයේ දී එම රෝග තත්ත්වයට කරනු ලබන ප්‍රතිකාරයකි. තව ද දත් මුල්වලින් ලේ ගැලීම සිදුවන අයට ඉරිමේදාදී තෛලය ඒ මත ආලේප කිරීම සිදු කළ හැකිය.

මුඛයෙන් දුගඳක් හැමීමද ඇතැම් පුද්ගලයන්ට පවතින ගැටලුවකි. එයට බලපාන එක් හේතුවක් නම් නිසි අයුරින් දත් මැදීම සිදු නොවීම නිසා මුඛයේ දත් අතර රැඳුණු පිළුණුවූ ආහාර වේ. එමෙන්ම දත්වල කුහර තිබීම ද මේ සඳහා හේතු වේ. තව ද මුඛයේ අධික වියලි ස්වභාවය ද මෙයට බලපාන සාධකයක් ලෙස හඳුනාගත හැකිය. එනම් ජලය පානය අඩුකම ද හේතුවක් වශයෙන් දැක්විය හැකිය.
එසේම දත් මැදීම සෑම විට ම කළ යුත්තේ ආහාර ගැනීමෙන් පසුව වන අතර බොහෝදෙනා ආහාර ගැනීමට පෙර දත් මැදීම සිදු කරයි. තව ද දත් බුරුසුවට දන්තාලේපය විශාල ප්‍රමාණයක් දමාගෙන දත් මැදීම සිදු කරනු දැකිය හැකිය. එහෙත් ඒ සඳහා භාවිත කළ යුත්තේ කඩල ඇටයක් තරම් දන්තාලේප ස්වල්පයකි. එසේම එම දන්තාලේපවල ප්‍රමිතිය ගැන ද අවධානය යොමු කළ යුතුය.

මුඛ සෞඛ්‍ය පිළිබඳව අධ්‍යයනය කරන විට දත් දිරායාම ද විශේෂ රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගත හැකිය. බොහෝ විට කුඩා දරුවන් මධුර රස ආහාර අධිකව ගැනීමත්, ඉන්පසුව නිසි අයුරින් මුඛය පිරිසිදු කර නොගැනීමත් නිසා දත් දිරායාම, දත් කුහර ඇතිවීම ආදිය සිදුවේ. එමෙන්ම ළදරුවන් කිරි උරමින් නින්දට යාම හා අවදිවූ සැණින් කිරි උරා බීම හරහා විනාඩි 20කට වැඩි කාලයක් මව්කිරි මුඛයේ රැඳේ නම්, මව්කිරිවල ඇති සීනි හේතුවෙන් ද දත් දිරායාම සිදුවිය හැකිය. සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුගේ පළමු දත මතුවූ දා සිට ම දත් මැදීම ආරම්භ කළ යුතුය. දත් හතරක් පමණ පැමිණි විට ඒ සඳහා ළඳරු බුරුසුවක් භාවිත කිරීමට හැකිය. තව ද එම කාලයේ දී මඳ ලුණු වතුරෙන් මුඛය සේදීම ද අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වයන් වළක්වාගැනීමට උපකාරී වේ.

මීට අමතරව බොහෝ පුද්ගලයන්ගේ මුඛ රෝග සඳහා හුණු, දුම්කොළ සහිත බුලත්විට කෑම ද බලපායි. එනම් මුඛයට ඖෂධීය වශයෙන් ද ගුණදායක වන බුලත්විට කෑම නිසි ප්‍රමිතියකින් සහ පාලනයකින් පමණක් ලබාගැනීම අවශ්‍ය වේ. එහිදී බුලත්විට සැකසීම සඳහා හුණු, දුම්කොළ භාවිත නොකළ යුතු අතර පාලනයකින් යුතුව බුලත් සහ පුවක් කෑම අහිතකර නැත. එහෙත් බුලත්විට සඳහා හුණු, දුම්කොළ භාවිතය මුඛ පිළිකා ඇතිවීම වැනි තත්ත්වයන්ට ද හේතුවේ. එසේ නමුත් බුලත්විට කෑම මඟින් දත් ශක්තිමත්වීම, මුඛයේ සෙම් කොටස් ඉවත්වීම, අහිතකර බැක්ටීරියා ඉවත්වීම ආදී බොහෝ ගුණදායී ප්‍රතිඵල ද ඇත. එමනිසා ආයුර්වේදයේ දී මුඛ සෞඛ්‍යයට හිතකර ඖෂධීය බුලත්විටක් ලෙස කුරුඳු, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, එනසල් වැනි දේ ද එක්කර හුණු, දුම්කොළ රහිත බුලත්විටක් හඳුන්වා දී තිබේ. එමඟින් දත් මුල් ශක්තිමත් කර දත් දිරායාම අවම කරන අතර දිව හොඳින් පිරිසිදු කිරීමත්, මුඛයෙන් මිහිරි සුවඳක් හැමීමත් ඇති කරයි.

එමෙන්ම මුඛයේ දුර්ගන්ධය ඇතිවීමට තවත් හේතුවක් ලෙස ගැස්ට්‍රයිටීස් වැනි තත්ත්වයන් නිසා ආහාර මාර්ගයේ ඇතිවන ආම්ලික බව හඳුනාගත හැකිය. වැඩි කාලයක් ආහාර නොගෙන සිටීම, ක්‍රමවත්ව ශරීරයට අවශ්‍ය පමණට ජලය පානය නොකිරීම එයට හේතුවයි. එසේම හුණු, දුම්කොළ සහිත බුලත්විටට අමතරව මුඛ පිළිකා ඇතිවීම සඳහා බලපාන ප්‍රධාන සාධක වන්නේ, දුම්පානය සහ මත්පැන් පානයයි. එමනිසා එවැනි පුරුදුවලින් වැළකීම යහපත් මුඛ සෞඛ්‍යයකට මග පාදයි.

සාමාන්‍යයෙන් දරුවෙක් මාස 6 දී පමණ රස හඳුනාගන්නා බැවින් එම කාලයේ සිට ම දරුවන් මධුර රසට හුරු නොකර පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු කිරීම ශරීරයට සෑම අතින් ම ගුණදායක වේ. එනම් ධාන්‍ය වර්ග, රතු සහල් ආදිය කුඩා අවධියේ සිට ම දරුවන්ට හුරු කිරීමෙන් එය දීර්ඝ කාලීනව නිරෝගී මුඛ සෞඛ්‍යයකටත්, නිරෝගී පැවැත්මකටත් හේතු වේ. එමෙන්ම ශරීරයට හිතකර බැක්ටීරියාවලට ශරීරය තුළට යාම සඳහා උදෑසන අවදිවූ පසු ජලය පානය කිරීම සුදුසු වේ. දත් මැදීම පමණක් ම නිරෝගී මුඛයකට හේතු නොවන අතර දිව හොඳින් පිරිසිදු කිරීම හා දත් පිරිසිදු කිරීම සඳහා යොදාගන්නා නූලක් වැනි දෙයක් භාවිතයෙන් දත් අතර රැඳෙන දෑ ඉවත් කිරීමත් ප්‍රතිඵලදායක ය. තව ද දත් මැදීම සඳහා භාවිත කරන දත් බුරුසුව කෙඳි ඈත් වනවිට ඉවත් කිරීම ද, ප්‍රමිතියෙන් යුතු හොඳ දන්තාලේපයක් භාවිත කිරීම ද නිරෝගී මුඛයක් පවත්වාගැනීමට අත්‍යවශ්‍ය සාධක වේ.

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ගමගේ
(ආයුර්වේද රෝහල – පන්විල)

සටහන – ඉසුරු සුධාරක දිසානායක