Health Guide

කම්මුල්ගාය හැදුණොත් මොකද කරන්නේ?

මිනිසාට විවිධාකාර වූ රෝගාබාධ ඇතිවේ. ඒ ජීවන රටාව, ජීවත්වන පරිසරය, වයස, ශරීර ප‍්‍රතිශක්තිය ආදී බොහෝ හේතු සාධකවල බලපෑමෙනි. ඒවා බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙසත්, අනතුරු ආබාධ ලෙසත් වර්ග කළ හැකිය අතර ඇතැම් රෝගවලට තවමත් නිශ්චිත ඖෂධ හඳුනාගෙන නැත. මෑත කාලයේ එතරම් ම ප‍්‍රචලිත නොවුණත් ඈත අතීතයේ ජනතාව ”දෙයියන්ගේ ලෙඩ” නමින් හැඳින් වූ රෝගවලින් එකක් ලෙස දැක්වෙන ”කම්මුල්ගාය” ද එවැන්නකි. වෛරසයක් මගින් ඇතිකරන බෝවන රෝගයක් වන මෙය වැලඳී ඇති බව හඳුනාගෙන දින හයක් පමණ ඇතුළත සුවය ලබන අතර වෛද්‍යවරයෙකු මුණගැසී ඖෂධ මගින් රෝගය උත්සන්නවීම පාලනය කරගත හැකිය.

”කම්මුල්ගාය” රෝගී තත්ත්වයේ විශේෂත්වය නම් කම්මුල දෙපස ඉදිමීමේ ලක්ෂණයයි. මෙහි දී සිදුවන්නේ ඛේට ග‍්‍රන්ථියක් වන Carotid ග‍්‍රන්ථිය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශය ඉදිමීම වේ. ඒ අනුව වෛරසය ශරීරගත වී දින තුනකට පමණ පසු රෝගියාගේ කම්මුල ඉදිමීම දැකගත හැකිය. ඉන්පසුව එය සාමාන්‍යයෙන් දින කිහිපයක් පවතී.

බහුල වශයෙන් කුඩා දරුවන්ට වැල‍දෙන රෝගී තත්ත්වයක් වන මෙය ශරීර ප‍්‍රතිශක්තිය අඩු වැඩිහිටියන්ට ද ගැබිනි මව්වරුන්ට ද වැලඳීමේ හැකියාව ඇත. වර්තමානය වනවිට රුබෙල්ලා, සරම්ප සහ කම්මුල්ගාය ඉලක්ක කරගෙන කුඩා දරුවන්ට ලබාදෙන එන්නත් හේතුවෙන් මෙම රෝගය වැලඳීමේ අවදානම බොහෝදුරට අවම වී ඇති බව හඳුනාගත හැකිය. ඒ අනුව මෙය වැලඳීමෙන් පසු පාලනය කරගන්නවාට වඩා වැලඳීම වළක්වාගැනීම ඉතාමත් උචිත සහ සාර්ථක විසඳුමක් බව වෛද්‍ය මතයයි. එමෙන් ම මෙය දෙවරක් වැලඳීමේ ප‍්‍රවණතාව ඉතාමත් අඩු ය.

”කම්මුල්ගාය” වැලඳුණ විට ශරීරයේ තද උණක් හටගනියි. එමෙන් ම කෙළ ගිලීමට නොහැකිවීම, ආහාර අනුභව කිරීමට නොහැකිවීම, හරිහැටි ඛේටය උත්පාදනය නොවීම නිසා ආහාර ජීර්ණ පද්ධතිය අඩාලවීම ආදී අපහසුතා සහ ගැටලු ඇතිවේ. තව ද මෙමගින් කම්මුල අවට ප‍්‍රදේශයේ ඉදිමුමක් සිදුවන බැවින් ආයුර්වේදයේ දී සඳහන් කරන්නේ මෙහි දී ශෝථහර ද්‍රව්‍ය භාවිත කරන ලෙසයි. එසේ ම ජරග්න ද්‍රව්‍ය හෙවත් උණ නැති කරන ද්‍රව්‍ය ඖෂධ ලෙස භාවිත කරයි. මෙහි දී වැදගත් ම කාරණය වන්නේ මෙවැනි රෝගයක් ”දෙවියන්ගේ ලෙඩ” ලෙස නොසලකා හැරීමෙන් වැළකී වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් රෝගය පාලනය කළ හැකි ප‍්‍රතිකාර ගැනීමයි.

එහි දී ජරග්න ද්‍රව්‍ය ලෙස ආයුර්වේදයේ දී සාමාන්‍යයෙන් උණ රෝගයට ප‍්‍රතිකාර හෝ ඖෂධ ලෙස භාවිත කරන වෙනිවැල්ගට, කොත්තමල්ලි, කොහොඹ, බිං කොහොඹ, ඉඟුරු ආදී වෛරසයක බලය අඩුකරන ද්‍රව්‍ය රෝගියාට ලබාදෙයි. ඊට අමතරව ශෝථහර ප‍්‍රතිකාර වන අලිහක්ක උරච්චි කර ගෑම, උණු වතුරෙන් තැවීම වැනි ඉදිමුම අඩුකරන ප‍්‍රතිකාර සිදුකරයි. එමෙන් ම කෙතරම් අපහසුතාවක් දැනුණත් රෝගියා දත් මැදීම සහ මුඛය පිරිසිදුව තබාගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් මෙම වෛරසයේ විවිධ අතුරුඵලවලට මුහුණපෑමට සිදුවිය හැකිය.

”කම්මුල්ගාය” වැනි රෝගයක දී රොගියාගේ ශරීර ප‍්‍රතිශක්තිය වර්ධනය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එහි දී මෙවැනි රෝගියෙකුට ආහාර ගැනීම තරමක් අපහසු බැවින් දියරමය ආහාර ශරීරයට අවශ්‍ය තරමට ලබාදීම අත්‍යවශ්‍ය වේ. එනම් කැඳ වර්ග, සුප් වර්ග, කිරි වැනි පෝෂ්‍යදායී දේ ආහාරයට දීම සුදුසු ය. වට්ටක්කා, පතෝල, බිත්තර වැනි දෑ බෙරි කර පිසූ බත් සමග ආහාරයට ගත හැකිය. මෙහි දී රෝගිායට ආහාරයට ගත හැකි පෝෂ්‍යදායී දේ ලබාදී රෝගියාට වෛරසය සමග සටන් කිරීමට අවශ්‍ය ප‍්‍රතිශක්තිය උත්පාදනය කළ යුතුය.

එමෙන් ම ආයුර්වේදයේ දී වෛද්‍යවරුන් සඳහන් කරන්නේ රෝගය වැලඳීමෙන් පසු ඉදිමුම සහ උණ පහව යනතුරු දින කිහිපයක් ස්නානය නොකරන ලෙසයි. තව ද මෙහි අතුරු ආබාධ පිළිබඳව සැලකිලිමත්වී ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

මෙම රෝගය වැලඳී දින කිහිපයකින් ඉදිමුම අඩුවී සාමාන්‍ය ලෙස සුව වී ගියත් ඇතැම් අවස්ථාවල අතුරු ආබාධ තත්ත්ව හටගැනීමේ හැකියාව ඇත. එනම් වයස අවුරුදු 13, 14, 15 කාලයේ පසුවන පිරිමි දරුවන්ට මෙම රෝගය ඇතිවුවහොත් ඇතැම්විට වෘෂණ කෝෂ ඉදිමීම නිසා පසුකාලීනව එය මඳ සරුභාවයට පවා හේතු විය හැකිය. එමෙන් ම ගැහැනු ළමයෙකුගේ ඩිම්බ කෝෂවලට වුවත් එවැනි බලපෑමක් ඇතිවීමේ හැකියාව නැතුවා ම නොවේ. කෙසේ වෙතත් මේවා අනිවාර්යයෙන් ම සිදුවන අතුරු ආබාධ නොවන මුත් ඇතැම්විට සිදුවිය හැකි ප‍්‍රවණතාවක් තිබේ.

මීට අමතරව මෙම වෛරසය අග්න්‍යාශය සහ මොළයට බලපෑමේ හැකියාවක් ද ඇත. එනම් එය මොළයට බලපෑමක් කළහොත් ඵැබසබටසඑසි වැනි තත්ත්වයකට වුව ද ගොදුරු විය හැකිය. නැතිනම් අග්න්‍යාශයට බලපෑම් කර බඩේ අජීර්ණයක්, බඩේ කැක්කුමක්, වමනය යාමක් වැනි ලක්ෂණ මතුවිය හැකිය. එම රෝග ලක්ෂණ හෝ හිසේ කැක්කුමක් දැනෙන්නේ නම් නොපමාව වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. එවැන්නක් නොසලකා හැරීම අවදානම් සහගතය. විශේෂයෙන් ම රෝගී ගැබිනි මව්වරුන් වෛද්‍ය උපදෙස් මතම කටයුතු කිරීම අනිවාර්ය ය.

මෙම රෝගය ප‍්‍රධාන වශයෙන් ම බෝවීම සිදුවන්නේ ප‍්‍රශ්වාස වාතයෙනි. මීට අමතරව රෝගියාගේ කෙළ බිඳිති මගින්, රෝගියාව ස්පර්ශය මගින් වුව ද බෝවීම සිදුවිය හැකිය. එම නිසා රෝගියා භාවිත කරන පිඟන්, කෝප්ප, ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට ආදදි නිවසේ අනෙකුත් පුද්ගලයන් භාවිත නොකර සිටීමෙන් ඒ අය අනවශ්‍ය ලෙස වෛරසයට නිරාවරණයවීමෙන් ආරක්ෂා වේ.

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ගමගේ
(ආයුර්වේද රෝහල – පන්විල)

සටහන – ඉසුරු සුධාරක දිසානායක