Health Guide

ඔබත් ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳින අයෙක්ද?

ඇතැම් පුද්ගලයන් ගොදුරු වී පීඩා විඳින ප්‍රධාන රෝගයක් ලෙස ආතරයිටීස් (Arthritis) හැඳින්විය හැකිය. ශරීරයේ සන්ධිවලට බලපාන තත්ත්වයක් වන මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ දී Osteo Arthritis, Rheumotoid Arthritis ලෙස වර්ග දෙකකින් හඳුන්වයි. එසේ ම ආයුර්වේදයේ දී මෙම රෝගයේ සන්ධි ඉදිමීම ආශ්‍රිත තත්ත්වයන් ආමවාත ලෙසත්, ඉදිමීමකින් තොරව අස්ථි දිරායාම හා වෙනත් ඒ ආකාරයේ සන්ධි ආශ්‍රිත රෝග තත්ත්වයන් සන්ධිගත වාත ලෙසත් හැඳින්වේ. ඒවා රෝග ලක්ෂණ (රූප) සහ පූර්ව රූප මගින් හඳුනාගැනේ.

ආයුර්වේදයට අනුව ආමවාත රෝගයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, අප ගන්නා ආහර ජීර්ණය නොවීම නිසා ශරීරයේ ඇතිවන ආමය නම් විෂ රුධිරය ඔස්සේ තැනින් තැනට ගමන් කරන විට කුමන හෝ ස්ථානයකින් එය මතු වේ. එය ආමවාත රෝගය හෙවත් සන්ධි ආශ්‍රිත ඉදිමීම ලෙස දැක්විය හැකිය. එනම් ආමය සමග එකව වාතය කුපිතවීමයි. මෙය දවසකින් දෙකකින් සිදුවන ක්‍රියාවලියක් නොවේ. සාමාන්‍යයෙන් ශරීරය නිර්මාණය වී ඇත්තේ ගන්නා ආහාරවලින් අවශ්‍ය කොටස් උරාගෙන අනවශ්‍ය කොටස් බැහැර කිරීමට වන අතර එම ක්‍රියාවලිය හරිහැටි සිදුනොවන විට නියම ආකාරයෙන් ජීර්ණය නොවීම නිසා ඉතිරිවන යම් යම් ආහාර කොටස් රුධිරය සමග සංසරණය වේ. එලෙස ශරීරයේ ඇතිවන ආමරසය නම් විෂ ආතරයිටීස් ඇතුළු ශරීරයේ සියලු ම ලෙඩරෝගවලට බලපායි. එහි දී එම විෂ පාචනය කළ යුතුය. එනම් හරිහැටි දිරවා නැති ආහාර ජීර්ණය කළ යුතුය. ඒ සඳහා අභ්‍යන්තර ඖෂධ මෙන් ම බාහිර ඖෂධ ද යොදාගැනේ.

ආයුර්වේදයේ විශේෂත්වය වන්නේ රෝගයක වර්තමාන තත්ත්වයට මෙන් ම රෝගයේ මූලයට ද ප්‍රතිකාර කිරීමයි. එහි දී වැඩි අවධානයක් රෝගයේ මූලය කෙරෙහි යොමු කරයි. එහෙයින් මෙම ආතරයිටීස් තත්ත්වයන්ට ක්ෂණික ප්‍රතිකාර නොකරන අතර යම්කිසි කාලයක් නොකඩවා ප්‍රතිකාර කළ යුතුය. එහි දී ද බාහිර ප්‍රතිකාර කිරීමේ හා අභ්‍යන්තර ප්‍රතිකාර කිරීමේ ක්‍රම සහ ඒ වෙනුවෙන් වැය වන කාලය රෝගියා අනුව වෙනස් වේ. එමෙන් ම දියවැඩියාව, වකුගඩු රෝගය වැනි රෝගයකින් පෙළෙන රෝගීන්ට කරන ප්‍රතිකාර සහ ලබාදෙන ඖෂධ ආදිය ද වෙනස් වේ.

ආමවාත රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර ලෙස තැවිලි පොට්ටනි යොදාගෙන තැවීම, අභ්‍යන්තරික ඖෂධ ලබාදීම, පත්තු දැමීම ආදිය සිදු කරයි.

වාතය කෝපවීම නිසා ඇතිවන සන්ධිගත වාත යනු විශේෂයෙන් ම සන්ධිගත වේදනා ලෙස හැඳින්විය හැකිය. මෙම තත්ත්වය කෙනෙකුට ඇතිවූ විට හරිහැටි ප්‍රතිකාර නොකර කල්ගතවීමෙන් අස්ථි ඇදවීම වැනි දුෂ්කර තත්ත්වයන්ට පත්විය හැකිය. නමුත් මෙය සන්ධිගත වාත නිසා ම නොව ආමවාත නිසා ද සිදුවිය හැකි තත්ත්වයකි. කෙසේ වෙතත් එවැන්නක් සිදුවන්නේ රෝගය අවසන් අවස්ථාව හෙවත් ගම්භීරගත අවස්ථාවට පත්වීමෙනි. එනම් රෝගය යම් උත්සන්න අවස්ථාවකට පැමිණීමෙන් පසුව ය. එහෙයින් මෙම ආතරයිටීස් රෝග තත්ත්වයන්ට මුල් කාලයේ දී ම ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය ය.

ආතරයිටීස් වැනි රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලෙස වේදනා නාශනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ආයුර්වේදයේ එන තෛලමය ප්‍රතිකාර ආදී ප්‍රතිකාරයන් සිදුකිරීම ඒ අනුව ඉතාමත් යෝග්‍ය වේ. තව ද සන්ධිවල ගෙවී ඇති කාට්ලේජ්, පටක ආදිය නැවත සකස් කිරීමට පත්තු වැනි ප්‍රතිකාර ක්‍රමවලට හැකිය. ඒ ආකාරයෙන් රෝගියාට අනුව ගැළපෙන ප්‍රතිකාර සහ ඖෂධ ලබාගත යුතුය.

විශේෂයෙන් ම ආයුර්වේදයේ දී පවසන්නේ කෑම-බීම, ඇවතුම්-පැවතුම් පිළිබඳව සැලකිල්ලක් දක්වමින් එදිනෙදා ජීවිතය ගත කරන ලෙස ය. ඒ අනුව ඕනෑ ම කෙනෙක් තමන්ගේ චර්යා රටා සහ ගන්නා ආහාරපාන මෙවැනි රෝගී තත්ත්වයකට සුදුසු ද යන්න පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය. ආතරයිටීස් වැනි රෝගවලට විශේෂයෙන් වම්බටු, මෑකරල්, පිපිඥ්ඥා, කැකිරි, බණ්ඩක්කා වැනි එළවළු ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම සුදුසු වේ. ඒ ආකරයේ ශීත ආහරවලින් වැළකිය යුතුය. ඒ එවැනි ආහාර නිසා කැක්කුම වැඩි විය හැකි බැවිනි. එමෙන් ම වර්තමානයේ බොහෝදෙනා නැඹුරු වී සිටින ක්ෂණික ආහාර ලබාගැනීම ආමවාත තත්ත්වයට බෙහෙවින් බලපායි. මීට අමතරව ඇවතුම්-පැවතුම් පිළිබඳව අවධානය යොමු කළහොත් සවස් කාලයේ ස්නානය කිරීම වැනි ක්‍රියාවන්ගෙන් මෙම කැක්කුම් සුවවීම කල්ගත වන තත්ත්වයට පත්විය හැකිය. එසේ ම ඇල්වතුර අඩුවෙන් භාවිත කළ යුතුය. ජලය පානය කිරීමේ දී ද මඳ උණුසුම් ජලය පානය කිරීම වඩාත් උචිත වේ.

සන්ධිගත වාත වැනි රෝගී තත්ත්වයක් ඇතිවීමට වයස බලපාන්නේ නැත. එයට ඉහත සඳහන් හේතු සේම අදාළ පුද්ගලයාගේ ශරීරයේ බර, බර එසවීම වැනි කටයුතුවල නිරතවීම, කඩතොලු සහිත පාරවල්වල නිතර ගමන් කිරීම වැනි හේතූන් ද බලපායි. පාසල් දරුවන් වුව ද දිනපාත විශාල, බර බෑගයක් ඔසවාගෙන පාසල් යාමට සිදුවීම වැනි හේතු නිසා මෙවැනි රෝගී තත්ත්වකට පත්විය හැකිය. තව ද කොන්දේ කැක්කුම, තුනටියේ වේදනාවන් ආදිය පුද්ගලයෙකුට කරන ලද යම් සැත්කමක අතුරු ආබාධයක් ලෙස ද ඇතිවීමට හැකියාව තිබේ.

සන්ධිගත වාත සහ ආමවාත විවිධ හේතූන් මත ඇතිවිය හැකි බැවින් සෑම පුද්ගලයෙක් ම මෙවැනි රෝග තත්ත්වයන් ඇතිවීමට පෙර ම තමන්ගේ නිරෝගී බව තහවුරු වන ආකාරයෙන් කටයතු කළ යුතුය. යම් හෙයකින් කිසියම් පුද්ගලයෙකුට මෙම රෝගය වැලඳෙයි නම් මුල් අවස්ථාවේ දී ම වෛද්‍යවරයෙකු හමුවී
තත්ත්වය නිවැරදිව හඳුනාගෙන නිසි ප්‍රතිකාර සිදු කළ යුතුය.

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ගමගේ
(ආයුර්වේද රෝහල – පන්විල)

සටහන – ඉසුරු සුධාරක දිසානායක