Health Guide

සෑමදෙනෙක් ම දැනුවත්ව සිටිය යුතු පක්‍ෂාගාතය

ආයුර්වේදයේ දී පක්‍ෂාගාතය යන නමින් හඳුන්වන අංශභාග රෝගය වාත රෝග ගණයට අයත් වේ. ප්‍රධාන වශයෙන් වාත, පිත, කඵ යන වර්ග තුනෙන් වාතය ප්‍රධාන වී ඇති වන මෙම රෝගය ආකාර කිහිපයකින් හඳුනාගත හැකිය. එනම් ආයුර්වේදයට අනුව පක්‍ෂාගාතය වාත, පිත, කඵ එකතුවීමෙන් වාත, පිත, කඵ, වාත, පිත, කඵ, එකතුවීමෙන් මෙන්ම වාත, පිත, කඵ යන තුනම එකතුවීමෙන් ද ඇතිවිය හැකිය.

සාමාන්‍යයෙන් හෘදය වස්තුව ආශ්‍රිතව රුධිර නාළිකාවල රුධිර කැටියක් හෝ කොලෙස්ටරෝල් මගින් අවහිරවීමක් සිදුවුවහොත් හෘදයාබාද ඇතිවේ. ඒ ආකාරයෙන් ම මොළයේ රුධිර නාළිකා අවහිරවීමෙන් පක්‍ෂාගාත තත්ත්වයට පත්වේ. එහිදී මොළයේ දකුණු පස හෝ වම් පස රුධිර නාළිකාවක් හෝ රුධිර නාළිකා කිහිපයක් අවහිර වන අතර එම අවහිරතාව සිදු වන ස්ථානය අනුව එක අතක් හා පාදයක්, අත් දෙක හා පාද දෙක ම, එක අතක් පමණක් හෝ අත් දෙකම ආදී වශයෙන් අක්‍රිය වේ. කට පැත්තට ඇදවීම සිදුවේ. මෙය පක්‍ෂාගත තත්ත්වය ලෙස හඳුනාගත හැකිය.

එය සෑම පුද්ගලයාට ම එකම ආකාරයේ සිදුවන්නක් නොවේ. මෙහිදී මෙම අවහිර වන ස්ථානය පුපුරා යන අවස්ථා ද ඇති අතර එහිදී ඇතැම් විට මරණය පවා සිදුවේ.

පක්‍ෂාගත රෝග තත්ත්වයේදී රෝගියාගේ අක්‍රිය වන දකුණු පස හෝ වම් පස ලෙස පැත්ත අනුව රුධිර නාළ අවහිරය සිදුවී ඇති මොළයේ පාර්ශ්වය හඳුනාගනියි. එනම් රෝගියාගේ ශරීරයේ අක්‍රියව ඇත්තේ දකුණු පස නම් මොළයේ වම් පසට හානිය සිදුව ඇති අතර ශරීරයේ වම් පස අක්‍රියවී නම් මොළයේ දකුණු පසට හානිය සිදුව තිබේ.

ආයුර්වේදයේ දී නම් මේ සඳහා ප්‍රථමයෙන් ම දලු අනුපාන ලබාදෙයි. එනම් ඖෂධ කොටා අමුවෙන් ලබාගන්නා ඉස්ම වේ. එමගින් රුධිර නාළ අවහිරතාව දුරුකරගත හැකිය. එහිදී පක්‍ෂාගාත තත්ත්වයට පත්වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම අවශ්‍ය වන අතර ඇතැම් රෝගීන් කල් යවා ආයුර්වේද වෛද්‍යවරුන් වෙත යොමුවීමෙන් ප්‍රතිකාර කිරීම අසීරුය. එම නිසා මෙවැනි රෝගී තත්ත්වයකදී හැකි ඉක්මනින් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමුවීම තුළින් ආයුර්වේදයේ ඇති තෙල් ප්‍රතිකාරවලින් මොළයේ ස්නායු තර්පනය කර, උද්දීපනය කර එම රුධිර කැටිය දිය කිරීමට හැකිය. එමෙන්ම ගුලි, කල්ක, චූර්ණ, කසාය ආදියත් පත්තු දැමීම, නිරෝධාරා, සර්වාංගධාරා, නස්‍ය ප්‍රතිකාර ආදී ප්‍රතිකාර ද සිදුකිරීම මගින් රෝගීන් ඉක්මනින් සුව කළ හැකිය.

මෙම රෝගී තත්ත්වයේ දී වාතය පිත සමග එකතුවීම සහ වාතය කඵ සමග එකතුවීම තුළින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනස් වේ. මුඛයෙන් සෙම බේරීම, සිරුරේ බර ගතිය තිබීම ආදිය සාමාන්‍යයෙන් කඵ පැත්තට බර රෝග ලක්ෂන වේ. එසේම හැසිරීම කලහකාරීවීම ආදී ලක්ෂණ පෙන්නුම් කරන්නේ වාතය පිත සමග එකතුවීමෙනි.

පක්‍ෂාගාත රෝග තත්ත්වයෙන් පෙළෙන රෝගියෙක් අනිවාර්යෙන් ම සවස් කාලයේ ස්නානය කරවීමෙන් වැළකිය යුතුය. එනම් සවස 2.00ට ප්‍රථම නෑවීම අවශ්‍ය ය. එමෙන්ම සීතල දිනවල තෙල් ප්‍රතිකාර සිදු කළහොත් රෝගය උත්සනවීමට ද එය බලපෑ හැකිය. තව ද මද උණුසුම් ජලය පානයට ලබාදිය යුතු අතර සීතල ආහාර ද්‍රව්‍යයන් ද මෙම රෝගීන්ට නොදිය යුතුය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 35ට වැඩි සියලුදෙනා සීනි සහ කොලෙස්ටරෝල් මාස 06කට වරක්වත් පරීක්ෂා කළ යුතුය. “මට ලෙඩක් නෑ”. මානසිකත්වය නිසා ශ්‍රී ලංකාවේ බොහෝදෙනා පක්‍ෂාගාත තත්ත්වයට පත් වන තුරු ශරීරය පිළිබඳව අවබෝධයෙන් කටයුතු නොකරන අතර, රෝගීවී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදු වේ. මෙහිදී ඉක්මනින් රෝගී තත්ත්වය හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර කිරීම මගින් ප්‍රකෘති තත්ත්වයට පත්වීම ඉක්මන් වේ.

මෙම රෝග තත්ත්වය සඳහා වයස් සීමාවක් බලනොපාන අතර වර්තමාන සමාජයේ ආහාර රටාව, ශරීරයට ව්‍යායාම නොලැබීම සහ අධික තරබාරු බව වැනි හේතු මේ සඳහා බලපායි. එනම් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම යන විට මෙවැනි රෝගී තත්ත්වයන්ට ගොදුරුවීමේ අවදානමක් පවති. එමෙන්ම මෙය පරම්පරාවේ ඥාතියෙකුට පැවතුණ රෝගී තත්ත්වයක් නම් ඔවුන්ගේ දරු මුණුපුරන්ට ද ඇතිවීමේ සම්භාවිතාවක් තිබේ.

කොලෙස්ටරෝල් සඳහා ආයුර්වේදයේ දී කරපිංචා කොළ මිටක්, සුදු ලූනු බික් හතරක්, ගම්මිරිස් ඇට හතරක්, ලුණු ටිකක් සහ සියඹලා ටිකක් දමා ගලේ අඹරා පේස්ට් එකක් සාදාගෙන නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ, සවස බත් සමග ආහාරයට ගැනීමට උපදෙස් දෙයි. එමෙන්ම හොඳ පිරිසිදු මී පැණිවල සුදු ලූනු බික් ටිකක් ගිල්වා තබා මාසයක් පමණ පරණ කර දිනකට බික් කිහිපය බැගින් ආහාරයට ගැනීම ද සුදුසු වේ. එවැනි ප්‍රතිකාර මගින් සාමාන්‍ය වැඩිවීමක දී කොලෙස්ටරෝල් පාලනය කළ හැකිය. එහෙයින් ශරීරයේ පැවති යුතු කොලෙස්ටරෝල් මට්ටම ඉක්ම වූ සැණින් කෘත්‍රිම ඖෂධවලට යොමු නොවී ආයුර්ව්ද වෛද්‍යවරයෙකු මුණගැසී එම අහිතකර තත්ත්වයන් පාලනය කරගත හැකිය.

තව ද පක්ෂාගාත තත්ත්වයට පත්වී බටහිර ප්‍රතිකාර කළ රෝගියෙක් එම රෝහලෙන් පිටවූ වහාම ආයුර්වේද රෝහලකට පැමිණිහොත් සුවවීම ඉක්මන් කර ගත හැකිය. එහිදී කිසිසේත් බටහිර වෛද්‍යවරයා නියම කළ බෙහෙත් ඉවත් කළ යුතු නොවන අතර එම බෙහෙත් හා නොගැටෙන ලෙස ඖෂධ ලබාදීමටත්, ප්‍රතිකාර කිරීමටත් ආයුර්වේද වෛද්‍යවරුන් දැනුවත්ව සිටී. එමනිසා බටහිර ප්‍රතිකාර ලබා පසුව ආයුර්වේද ප්‍රතිකාර ලැබීමට රෝගීන් බිය විය යුතු නැත. විශේෂයෙන් ම එහිදී ඊට පෙර රෝගියාව පරීක්ෂා කළ වෛද්‍යවරයා ලබාදුන් වෛද්‍ය වාර්තා රැගෙන ඒම අත්‍යවශ්‍ය වේ. එවිට එම වෛද්‍යවරයාට අදාළ රෝගියා සිටින තත්ත්වය සහ ඔහුට හෝ ඇයට ලබාදී ඇති ප්‍රතිකාර, ඖෂධ පිළිබඳව නිසි අවබෝධයක් ලබාගත හැකිය. එය වැඩිදුර ප්‍රතිකාර සඳහා පහසුවක් වේ.

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ගමගේ
(ආයුර්වේද රෝහල – පන්විල)

සටහන – ඉසුරු සුධාරක දිසානායක