Health Guide

ඇස් ලෙඩ කරන “ඇස් ලෙඩ”

කුමන ආකාරයකින් හෝ ඇස් රෝගීවීම ඔබේ සියලු දෛනික වැඩ කටයුතු අඩපණ කරයි. එලෙස බොහෝදෙනෙක් පීඩා විඳ ඇති බෝවන රෝගයක් ලෙස “ඇස් ලෙඩ” හැඳින්විය හැකිය. මෙය සංස්කෘත භාෂාවෙන් “අභිශ්ශ්‍යන්ධ” යන නමින් හඳුන්වන අතර ආයුර්වේදයට අනුව මෙය වාතජ, පිත්තජ, කඵජ, රක්තජ ලෙස වර්ග හතරකින් හඳුනාගනියි.

ඇස් රිදීම, ඉදිමීම, රත් පැහැ ගැන්වීම, කබ කඳුළු ගැලීම ආදිය ඇස් ලෙඩවල සාමාන්‍ය ලක්ෂණ වන අතර ඇස තුළ කුමක් හෝ ඇනෙන ස්වභාවයක් දැනීම, ඇස් කෙවීමක් දැනිම වාතජවලට බර ඇස් ලෙඩ වේ. ඇස් බොහෝ සෙයින් රතුවීම සහ දැවිල්ලක් හටගැනීම පිත්තජ පැත්තට බර ඇස් ලෙඩ ලෙස හඳුනාගත හැකිය. එමෙන්ම ඇස් ගොඩක් ඉදිමුම් ස්වභාවයක් ගැනීම, ඇස් කැසීම වැඩිවීම වැඩි වශයෙන් කඳුළු ගැලීම, ඇස් බර ගතියක් ඇතිවීම ආදිය කඵජ පැත්තට බර ඇස් ලෙඩ හඳුන්වයි. රක්තජ පැත්තට බර ඇස් ලෙඩ බොහෝවිට අධික රත් පැහැයෙන් යුතු ඇස් ඇතිවීම, ආලෝකය දෙස බැලීම අපහසුවීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙය වෛරසයක් මගින් ව්‍යාප්ත වන රෝගී තත්ත්වයකි. මෙයට ප්‍රතිකාර කළ ද, නොකළ ද දින පහකින් පමණ එම තත්ත්වය පහව යාම මෙම රොගයේ ස්වභාවයයි. එසේ දින පහකින් සුව නොවන්නේ නම් රෝගියා අනිවාර්යයෙන් ම වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය. ඇතැම් විට එයට හේතුව විසබීජයක් ඇතුළුවීම විය හැකි අතර නොදන්නා අත්බෙහෙත් භාවිත නොකර වෛද්‍යවරයෙකුගෙන් ම උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් ඔබ ප්‍රතිකාරයක් යැයි සිතා සිදුකරන දේ ඔබේ ඇස් යම් ආසාදිත තත්ත්වයකට පත්කළ හැකිය. එම නිසා ඇස්වල ආරක්ෂාව ප්‍රමුඛව සිතා කටයුතු කිරීම අවශ්‍ය ය. එසේම ඇස් පොඩි කිරීම, කැසීම වැනි දේ සිදුකිරීමෙන් ද බැක්ටීරියාවක් හෝ එවැනි කුමන හෝ විසබීජයක් ඇසට ඇතුළුවී ආසාදිත විය හැකිය. එහෙයින් සෑම විට ම රෝගියා තම ඇස් පරිස්සම් කරගත යුතුය. නැතහොත් එය ඇස්වල පෙනීමට ද බලපායි. දින පහකට ආසන්න වනවිට ඇස්වල බර ගතිය අඩුවීම, ඇස්වල රත් පැහැය අඩුවීම, කබ කඳුළු ගැලීම අඩුවීම, ඉදිමුම් ස්වභාවය අඩුවීම ආදී ලක්ෂණ මගින් මෙම රෝගී තත්ත්වය පහව යන බව නිරීක්ෂණය කළ හැකිය.

මෙම රෝගය රෝගියෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ඉතාමත් පහසුවෙන් ව්‍යාප්ත වනු දැකිය හැකිය. එනම් රෝගියෙකු තම ඇස් ඇල්ලීමෙන් පසුව යම් භාණ්ඩයක් හෝ ස්ථානයක් ස්පර්ශ කළ විට එහි රෝගකාරක වෛරසය තැන්පත් වේ. පසුව නිරෝගී පුද්ගලයෙකු එම ස්ථානය ස්පර්ශ කර තමන්ගේ ඇස් ඇල්ලූ විට එම පුද්ගලයාට ද වෛරසය ආසාදනයවී “ඇස් ලෙඩ” වැලඳෙයි. විශේෂයෙන් ම රෝගියා භාවිත කළ පිඟන්, කෝපප, තුවා, ඇඳ ඇතිරිලි, ඇඳන්, උපකරණ ආදිය භාවිත කිරීමෙන් තවත් අයෙකුට රෝගය වැලඳීමේ හැකියාව ඇත. එම නිසා එවැනි රෝගීන් කාමරයක තනිව විසීම සුදුසු වේ.

“ඇස් ලෙඩ” බොහෝවිට උෂ්ණ කාලයට ව්‍යාප්ත වන රෝගයකි. එම නිසා එවැනි කාලවල දී අප නිතර දෑත් සබන් දමා සේදීමට පුරුදු විය යුතුය. දෑස් ඇල්ලීම අවම කරගත යුතුය. එයට හේතුව විශේෂයෙන් ම පොදු ප්‍රවාහනය භාවිත කරන විට, පොදු ස්ථානවල ගැවසෙන විට ඊට පෙර එම ස්ථානයේ “ඇස් ලෙඩ” රෝගියෙකු ඉඳ තිබුණහොත් රෝගියා ස්පර්ශ කළ ස්ථාන ඇල්ලූ පසු තමන්ගේ ඇස් ස්පර්ශ කිරීමෙන් වෛසරය ආසාදනයවීමේ හැකියාව පවතින බැවිනි.

ආයුර්වේදයේ දී මෙයට ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නම් වාතජ, පිත්තජ, කඵජ සහ රක්තජ ලෙස රෝගය කුමන වර්ගයේ දැයි හඳුනාගෙන කටයුතු කළ යුතු බවයි. එනම් උදාහරණයක් ලෙස වාතජ පැත්තට බර “ඇස් ලෙඩ” වැලඳී ඇත්නම් වාත බහුල කරන ආහාර වර්ග නොගත යුතුය. තව ද මෙම රෝගය වැලඳුණු විට නිදි වැරීම නුසුදුසුදු ය. ව්‍යායාම කිරීම වැනි වෙහෙසකාර කටයුතුවලින් ඈත්ව හැකිතාක් සැහැල්ලුවෙන් සිටීම ද අවශ්‍ය වේ. එමෙන්ම පිත්තජ වැනි තත්ත්වයක් නම් පිත් කෝප කරවන ඉස්සෝ, දැල්ලෝ, බල මාළු, සෝස්, චට්නි, විනාකිරි යෙදූ ආහාර, කෘත්‍රිම රසකාරක යොදා සකස් කළ ආහාර වැනි දෑ පරිභෝජනයෙන් වැළකිය යුතුය. විශේෂයෙන් ම මෙය උෂ්ණාධික රෝගයක් නිසා උෂ්ණාධික ආහාරවලින් වැළකිය යුතු වේ.

මෙයට ප්‍රතිකාර වශයෙන් සව්, බාර්ලි වැනි සීත ආහාර ලබාදිය හැකිය. තව ද රත් හඳුන් ඇල් ජලයෙන් ගලගා ඇස වටා ආලේප කිරීම (ඇස්වල නොගෑවෙන සේ) සුදුසු ය. එමෙන්ම හොඳින් සෝදාගත් සියඹලා කොළ, දෙළුම් කොළ තම්බා එම වතුරෙන් ඇස් සේදීම සුදුසු වේ.

“ඇස් ලෙඩ” රෝගියෙකු ආහාර ගැනීමේ දී සැර ආහාර සහ උෂ්ණ ආහාර නොගත යුතු අතර පතෝල, වැටකොළු වැනි කිරෙන් පිසින ලද ආහාර ගත යුතුය. එනම් අබ, මිරිස් ඇතුළු කුළුබඩු බහුලව භාවිත නොකර සකස් කළ ආහාර විය යුතුය. එමෙන්ම හොඳින් ජලය පානය කළ යුතුය. තව ද රෝගියා නිතර පිරිසිදුව සිටීම විවිධ බැක්ටීරියා ආසාදානවලට ගොදුරු නොවී සිටීමටත්, ඉක්මනින් සුවය ළඟා කරගරුනීමටත්, රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීමටත් හේතු වේ. එම නිසා “ඇස් ලෙඩ” නිසි පිළියම් කර ඉක්මනින් සුව කරගත හැකි තත්ත්වයක් වන අතර ව්‍යාප්තිය පාලනය කරගැනිම පිළිබඳව රෝගියා මෙන් ම ආශ්‍රිතයන් ද සැලකිලිමත් විය යුතුය.

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ගමගේ
(ආයුර්වේද රෝහල – පන්විල)

සටහන – ඉසුරු සුධාරක දිසානායක