Health Guide

වයසට යන විට කොන්ද කුදුවීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ

ඕනෑ ම පුද්ගලයෙකු වයසට යාම සාමාන්‍ය ධර්මතාව වුවත් වයසට යන විට කොන්ද කුදුවීම හෙවත් කොන්ද නවාගෙන ගමන් කිරීමට සිදුවීම ස්වභාවික තත්ත්වයක් ලෙස ඉවත දැමීමට නොහැකිය. මෙය සැබැවින් ම දීර්ඝකාලීන ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලයක් වන අතර කුඩා කළ සිට ම තම ශරීර යෝග්‍යතාව කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් වළක්වාගැනීමේ හැකියාව තිබේ. එනම් ශරීරය කුදුවීම යනු ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වයේ අවසාන ප්‍රතිඵලය වේ.

ආයුර්වේදයට අනුව මෙය අයත් වන්නේ සන්ධිගත වාත ගණයට ය. මෙහි ලක්ෂණ මතුවන්නේ වයස අවුරුදු 50 – 60 පසුවූ විට වන අතර එය ඊට පෙර හඳුනාගැනීම අපහසු ය. නමුත් එම ප්‍රතිඵලයට අදාළ ක්‍රියාවලිය ශරීරය තුළ සිදුවන්නේ ඊට වසර ගණනකට පෙර සිට ය.
තරුණ වයසේ දී ද මේ පිළිබඳව යම් යම් ලක්‍ෂණ සහ අස්ථිවල වේදනා ඇතිවිය හැකි නමුත් බොහෝදෙනා ඒ පිළිබඳ තැකීමක් කරන්නේ නැත. බොහෝ විට එවැනි අවස්ථාවක වේදනා නාශකයක් ගැනීම හෝ සුළු ප්‍රතිකාරයක් කිරීම තුළින් වේදනාව සමනය කර ගැනීමට හැකි වන නිසා වෛද්‍ය උපදෙස් පැතීමක් නොකරයි. එහෙත් ඒ ආකාරයෙන් කාලාන්තරයක් තිස්සේ අස්ථි දුර්වලවීම සිදුවේ. එනම් අස්ථිවල ඇති සිදුරු විශාලවී අස්ථිවල ස්කන්ධ ප්‍රමාණය අඩුවීම නිසා අස්ථි දුර්වලවීමයි. ඒ හේතුවෙන් අස්ථි භග්න පවා සිදුවීමේ සම්භාවිතාවක් ඇත. කොන්ද කුදුවීම මෙහි එක් ප්‍රතිඵලයක් පමණි.

මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු ගණනාවක් බලපායි. කුඩා කළ සිට සමබල ආහාර වේලකට හුරු නොවීම, නිසි පරිදි ව්‍යායාමවල නොයෙදීම, වැරදි චර්යාවන් ඉන් ප්‍රධාන තැනක් ගනී. විශේෂයෙන් ම කැල්සියම් ඌනතාව මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන අතර කැල්සියම් බහුල ආහාර ශරීරයට අවශ්‍ය පරිදි නොගැනීම මෙම රෝගයට බොහෝ සෙයින් බලපායි. එනම් කුඩා කළ සිට ම කැල්සියම් බහුල ආහාර වන හාල්මැස්සන් වැනි කුඩා මාළු, කිරි, කතුරුමුරුංගා වැනි පළා වර්ග, බිත්තර, එළවළු, පලතුරු සිරුරට අවශ්‍ය පරිදි ලබාගෙන තිබීම වයසට යාමේ දී මෙම රෝගයෙන් මිදීමට හේතුවක් වේ. එමෙන්ම මුහුදු අහාර, කිරි, බිත්තර ආහාරයට ගැනීමට අකමැති නිර්මාංශ පුද්ගලයන්ට වුව ද කැල්සියම් අවශ්‍ය පරිදි සිරුරට ලබාදිය හැකිය. ඔවුන්ට ඒ සඳහා කතුරුමුරුංගා, මුරුංගා වැනි පළා වර්ග සහ එළවළු පලතුරු මඟින් කිසිම ගැටලුවකින් තොරව ශරීරයේ කැල්සියම් අවශ්‍යතාව සපුරාගැනීමට හැකියාව ඇත. එමනිසා නිසි වයසේ දී නිසි පෝෂණය ලැබීමට එය බාධාවක් කර නොගත යුතුය.

මෙම රෝගී තත්ත්වය සඳහා ජානමය හේතු ද බලපායි. ඊට අමතරව වයස අවුරුදු 10ත් 19ත් අතර කාලයේ දී ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා නොගතහොත් එය අනිවාර්යයෙන් ම වයස්ගතවීමේ දී මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතුවේ. එනම් වයස අවුරුදු 60ක් පමණ වන විට අස්ථි ශක්තිමත් නොවීම හේතුවෙන් අස්ථි බිඳීම හෝ ඉරි තැලීම, ශරීරය කුදුවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. එමනිසා ළමා හා යෞවන අවධියේ දරුවන්ව ක්‍ෂණික ආහාරවලට හුරු නොකර නිසි පෝෂණය ලැබෙන සමබල ආහාර රටාවකට හුරු කිරීම අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම ගර්භණී අවධියේ දී කාන්තාවන්ට ද කැල්සියම් ඌනතාව හටගැනීමේ ප්‍රවණාතාවක් තිබේ. ඒ අනුව වෛද්‍යවරුන් ගර්භණී මව්වරුන්ට කැල්සියම් අඩංගු පෙත්තක් නිර්දේශ කරයි. එය ගර්භණීභාවයට පත්වී මාස 3ක දී පමණ සිට ලබාදෙන අතර මවටත් ගර්භයේ සිටින දරුවාටත් කැල්සියම් ඌනතාව ඇති නොවීම සඳහා යොදන පිළියමකි. ඉන් අනතුරුව දරුවා ලැබීමෙන් පසුව ද නිතර දරුවාට මව්කිරි ලබාදෙන නිසා දරුවා ඉපදී මාස 3ත් 6ත් අතර කාලයේදීත් එලෙස බාහිරව මව්වරුන්ට කැල්සියම් ලබාදෙයි. තව ද මෙම කැල්සියම් ඌනතාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම ඇති වන අතර වයස අවුරුදු 40 – 45 පමණ වන විට කාන්තාවන්ගේ ආර්ථවහරණය සිදුවන නිසා හෝමෝන ගැටලුවත් සමඟ ද කැල්සියම් අවශෝෂණ කර ගැනීමට පහසු කරවන විටමින් ඩී ද අවශ්‍ය වේ. ඒ සඳහා උදෑසන හිරු එළියට නිරාවරණයවීම ඉතාමත් වැදගත් ය.

එසේම කැල්සියම් සහ යකඩ ශරීරයට උරාගැනීමට බාධා කරන චර්යාවක් ලෙස තේ පානයෙන් පැයක් ඇතුළත ආහාර ගැනීම හෝ ආහාර ගැනීමෙන් පැයක් ඇතුළත තේ පානය හැඳින්විය හැකිය. එවැනි චර්යාවලින් වැළකිය යුතුය. එමෙන්ම ශරීරයට ව්‍යායාම රහිත රැකියාවන්වල නිරතවන අයට ද කුදුවීම වැනි තත්ත්වයන්ට පසුකාලීනව මුහුණදීමට සිදුවීමේ සම්භාවිතාවක් තිබේ. එමනිසා සෑම පුද්ගලයෙකුගේ ම ශරීරයට ව්‍යායාම අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කරයි. ආයුර්වේදයේ දී මේ සඳහා භාවිත කරන යෝග ව්‍යායාම්වල අස්ථි ශක්තිමත් කරන ව්‍යායාම ද ඇති අතර ඒවා නියමිත වයස් සීමාවන්හි දී උපදේශකවරුන්ගේ මගපෙන්වීම යටතේ සිදු කිරීම පසුකාලීනව මෙවැනි රෝග තත්ත්වයන්ට ගොදුරුවීම වළක්වයි.

එසේම අධික තරබාරු පුද්ගලයන්ගේ ශරීරයේ බර දරාගැනීමේ අපහසුව නිසා කාලයක් යන විට අස්ථි දිරායාම සිදුවිය හැකිය. එමනිසා නිසි පරිදි ව්‍යායාම කර සමබල ආහාර වේලක් ද ලබාගනිමින් උසට සරිලන බර පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ.

අයුර්වේදයට අනුව ප්‍රතිකාර ලෙස අස්ථි ශක්තිමත් කිරීම සඳහා පත්තු වර්ග, තෙල් වර්ග, කසාය වර්ග ආදි වශයෙන් ඖෂධ වර්ග තිබේ. නමුත් ඒවායින් සිදුකරන්නේ ඒ වන විට ශරීරයේ පවතින තත්ත්වය වෙනස් නොවී පවත්වාගැනීමයි. ඒ වනවිටත් කුදුවීම සිදුව ඇති පුද්ගලයෙකුට නම් කළ හැක්කේ එතැනින් එහාට පරිහානිය වැළැක්වීම සහ ඇතිවන වේදනා කැක්කුම් සමනය කිරීමයි. එමනිසා වෛද්‍යවරුන් දැනුවත් කරන්නේ සෑම වයසක ම, සෑම පුද්ගලයෙකුට ම කැල්සියම් සහ විටමින් ඩී අත්‍යවශ්‍ය බැවින් නිසි වයසට අවශ්‍ය පෝෂණය ලබාගන්නා ලෙසයි. තව ද උසට සරිලන බර, ශරීරයට අවශ්‍ය ව්‍යායාම ආදිය පිළිබඳව ජීවිත කාලය පුරා ම සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ගමගේ
(ආයුර්වේද රෝහල – පන්විල)

සටහන – ඉසුරු සුධාරක දිසානායක