Health Guide

ඇදුම රෝගයට හේතුව වටපිටාවද? ඇවතුම් පැවතුම්ද?

ඇදුම රෝගය ස්වසන පද්ධතිය හා සම්බන්ධ රෝගී තත්ත්වයක් වන අතර ස්වසන පද්ධතිය අවහිරවීමෙන් ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමේ අපහසුතාවක් ඇතිවීම මෙමගින් සිදුවේ. මෙය බෙහෝවිට කුඩා අවධියේ දී හටගන්නා රෝගයක් වුවත් බාල, මහලු භේදයකින් තොරව ඕනෑ ම කෙනෙකුට වැලදිය හැකි රෝගී තත්ත්වයකි. එමෙන් ම නිවැරදි පිළිවෙළට ප‍්‍රතිකාර ලබාගෙන එදිනෙදා ඇවතුම් පැවතුම් පිළිබදව සැලකිලිමත්වීමෙන් ඉක්මනින් ම මෙම ඇදුම රෝගය සුව කරගත හැකිය.

සාමාන්‍ය ආකාරයෙන් හුස්ම ගැනීමට අපහසු වී ස්වසනයේ දී පපුවෙන් හ`ඩක් පිටවීම මෙම රෝගීන් තුළ දැකිය හැකි ලක්ෂණයකි. මෙහි දී එයට බලපාන හේතුව ප‍්‍රථමයෙන් ම හදුනාගත යුතුය. විශේෂයෙන් ම කඵ (සෙම) දූෂණයවීමෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හැකිය. තව ද දූවිලි, දුම, මල් පරාග ආදිය ආශ්වාසවීමෙන් ද මෙවැනි තත්ත්වයක් හටගැනීමේ හැකියාව ඇත. කුඩා දරුවන් නිතර ජලය සමග ක‍්‍රීඩා කිරීම, ජල වාශ්ප අධික පරිසරවල ජීවත්වීම, මල් හටගන්නා කාලවල මල් පරාග ආශ්වාසයවීම, දූවිලි හෝ දුම් සහිත ස්ථානවල කාලය ගත කිරීමට සිදුවීම, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම, සවස් කාලයේ ස්නානය කිරීම සහ සිසිල් ජලය ඇතුළු පාන වර්ග නිතර පානය කිරීම වැනි බොහෝ හේතු සාධක ඇදුම රෝගය සදහා බලපායි. එමෙන් ම ලොම් සහිත සුරතල් සතුන් ඇතිකිරීම මගින් එම සතුන්ගේ ලොම් ස්වසන නාල තුළින් ගමන් කිරීම, දිවීම වැනි වෙහෙස දැනෙන කාර්යයන්ගේ නිරතවීම ආදිය ද මෙම රෝගය සදහා බලපෑ හැකි හේතූන් ලෙස දැක්විය හැකිය.

ඇදුම රෝගය හටගත් විට ස්වසන ක‍්‍රියාවලියේ දී පපුවෙන් හඩක් පිටවීම, කැස්ස ඇතිවීම, ඇස්වලින් කදුළු ගැලීම සහ සුළු ක‍්‍රියාවකිනුත් වෙහෙසකර බවක් දැනීම හදුනාගත හැකිය. එසේම සීත කාලවල දී සහ සීත දේශගුණික ප‍්‍රදේශවල දී මෙන්ම වායු දූෂිත ප‍්‍රදේශ සහ ස්ථානවල දී මෙම රෝගය සහිත පුද්ගලයන්ට රෝගය වර්ධනය විය හැකිය. නමුත් සාමාන්‍යයෙන් කුඩා දරුවන් යොවුන් වියට පත්වන විට ක‍්‍රමයෙන් එම රෝගී තත්ත්වය පහව යයි. එයට හේතුව බහුතරයක් කුඩා දරුවන් වයසත් සමග තමන්ගේ ඇවතුම් පැවතුම් වෙනස් කරගැනීමයි. ක‍්‍රමයෙන් සුරතල් සතුන්, ජලය සහ දූවිලි වැනි ද්‍රව්‍ය සමග කාලය ගත කිරීමෙන් ඉවත්වීමයි. ශරීරයේ ප‍්‍රතිශක්තිය වර්ධනයවීම ද තවත් සාධකයකි. එහෙත් කලාතුරකින් තරුණ පුද්ගලයන්, මැදිවියේ පුද්ගලයන් සහ වැඩිහිටියන් ද මෙම රෝගයෙන් පෙළෙනු දැකිය හැකිය. එයට ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් වේ. විශේෂයෙන් ම දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය, දූවිලි හෝ දුම් සහිත ස්ථානවල ජීවත්වීම හා සවස් කාලයේ ස්නානය වැනි හේතු බලපෑ හැකිය. ඒ අනුව රෝගය කුමන වයසක පුද්ගලයෙකු වුවත් රෝගය හටගැනීමට හේතුව කුමක් ද යන්න ප‍්‍රථමයෙන් හදුනාගෙන ප‍්‍රතිකාර කළ යුතුය.

ඇදුම රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් නිරන්තරයෙන් මද උණුසුම් ජලය භාවිත කළ යුතුය. සීත දේශගුණියක් සහිත පළාත්වල ගමන් කරන විට හිස සහ කන් අවාරණය කරගත යුතුය. අධික සීතලට, දූවිල්ලට සහ දුම්වලට නිවාරණය නොවිය යුතුය. දුම්වැටි හා මත්ද්‍රව්‍යවලින් වැළකිය යුතුය. සව්, බාර්ලි, රණවරා, ඉරමුසු වැනි ශරීරය සීත කරන දෑ සහ ශීතකරණයේ තැබූ පාන වර්ග පානය නොකළ යුතුය. වම්බටු, බණ්ඩක්කා, අයිස්ක‍්‍රීම් වැනි සීත ආහාරවලින් වැළකිය යුතුය. එය මෙම රෝගය ඉක්මනින් සුව කරගැනීමට උපකාරී වේ.

මෙම රෝගයට ප‍්‍රතිකාර ලෙස ආයුර්වේදයේ දී විශේෂයෙන් ම යොදාගන්නේ කඵ ශෝදන ප‍්‍රතිකර්මයි. කඵ ශමනය කිරීමට විෂබීජ නාශක ගුණයෙන් හෙබි ප‍්‍රතිජීවක ඖෂධ වන වෙනිවැල්, කහ, කොත්තමල්ලි වැනි ද්‍රව්‍ය තම්බා පානය කිරීම සුදුසු වේ. එමෙන් ම මේ සදහා නස්‍ය ප‍්‍රතිකාර ද ඉතාමත් යෝග්‍ය ය. මෙහි දී රෝගියාගේ නාසයට ඖෂධීය තෙල් බිංදු කිහිපයක් දැමීම සිදුකරන අතර රෝගියාගේ වයස අනුව සහ රෝගයේ ස්වභාවය අනුව දැමිය යුතු තෙල් බිංදු ප‍්‍රමාණය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි. තව ද මෙහි දී රෝගියාගේ හිස, නළල, හනු දෙපස, ගෙල දෙපස ආදිය හොදින් තවා ඉන් අනතුරුව ඉහත ආකාරයට නාසයට තෙල් බිංදු දැමීම සිදුකරයි. එමෙන් ම මේ සදහා ඉතාමත් ම හොද ප‍්‍රතිකාරයක් ලෙස හුමාලය ඇල්ලීම හැදින්විය හැකිය. නමුත් මෙහි දී ඇස් හුමාලයට නිරාවරණය නොකළ යුතුය. එම නිසා තෙත පුළුන් හෝ තෙත රෙදි පටියක් වැනි දෙයකින් දෑස ආවරණය කරගෙන ගෙල, පපුව, කන් දෙපස, නළල, නාසය වැනි ස්ථානවලට හොදින් හුමාලය වදින ආකාරයෙන් මෙම ප‍්‍රතිකාරය කළ යුතුය. මෙහි දී ආඩතෝඩ, පාවට්ටා, නික වැනි ශාකවල පත‍්‍ර සහ කහ වැනි ද්‍රව්‍ය උණුවතුරට දමා හුමාලය ඇල්ලීම තුළින් එම කාර්යය තවත් කාර්යක්ෂම කරගත හැකිය. වැඩිහිටියන්ට නම් දෙහි කොළ වැනි පැගිරි කුලයේ ශාකවල පත‍්‍ර ද මේ සදහා යොදාගත හැකි අතර සැරක් දැනෙන බැවින් කුඩා දරුවන්ට හුමාලය ඇල්ලීමට එම පත‍්‍ර යොදාගැනීම යෝග්‍ය නැත.

මීට අමතරව නස්‍ය ප‍්‍රතිකාරවලින් පසුව කහ කැබැල්ලක් පුලුස්සා එහි දුම ගොට්ටක් ආධාරයෙන් ආග‍්‍රහණය කිරීම කළ හැකිය. එමෙන් ම හිසේ තෙල් ගැල්වීම සහ පපුවේ කෝලශ්ලේෂ්මා තෛලය වැනි තෙලක් ආලේප කිරීම ආදිය සුදුසු ය.

මේ අනුව ඇදුම රෝගය හුස්ම ගැනීම හා සම්බන්ධ රෝගී තත්ත්වයක් වන බැවින් රෝගයට හේතු වූ සාධකය හදුනාගෙන ඉක්මන් ප‍්‍රතිකාරවලට යොමුවීම සහ අදාළ හේතු සාධකවලින් ඉවත්ව සිටීම සෞඛ්‍යසම්පන්න ජීවිතයකට මග පාදන බව සදහන් කළ හැකිය.

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා ගමගේ
(ආයුර්වේද රෝහල – පන්විල)

සටහන – ඉසුරු සුධාරක දිසානායක