Health Guide

ගැබිනි ඔබ කොරෝනා වෛරසයෙන් මිදෙන්නේ කොහොමද?

චීනයේ සිට ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය ආසාදනයවීමේ වැඩි හැකියාවක් වියපත් පුද්ගලයන්ට, කුඩා දරුවන්ට සහ ගැබිනි මවව්රුන්ට පවතිනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ වෛරසය නිසා ගැබිනි මවකට ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් සහ ඉන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව සහ නරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට විසින් පැහැදිලි කළා.

කොරෝනා වෛරසය ගැන පුංචි පැහැදිලි කිරීමක් කළොත්?

කොරෝනා වෛරසය කියන්නෙ ඉතා කුඩා RNA වෛරස ගණයට අයත් වෙන වෛරසයක්. මේ වෛරසය බොහෝ විට ආසාදන ඇති කරන්නේ වෙනත් සතුන්ටයි. නමුත් මීට පෙරත් අවස්ථා කිහිපයක දී මිනිසාට මේ වෛරස නිසා දරුණු රෝග තත්ත්වයන් ඇතිවී තිබෙනවා. වසර 2002 Severe Acute Respiratory Syndrome (SARS) තත්ත්වයත් වසර 2012 දී Middle East Respiratory Syndrome (MERS) තත්ත්වයත් මෙවැනි කොරෝනා වෛරස නිසා ඇතිවූ තත්ත්වයන්. නමුත් මෙවර චීනයෙන් වාර්තා වෙන නව කොරෝනා වෛරසය කලින් ආසාදන තත්ත්වයන්ට හේතුවූ වෛරසයන්ට වඩා තරමක් වෙනස් බව සොයාගෙන තිබෙනවා. මේ නිසා ඇතිවෙන ශ්වසන පද්ධතියේ ආසාදන තත්ත්වයන් අනිකුත් සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන ආසාදනයන්ට වඩා දරුණු නිසයි මේ ගැන වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ.

මෙය ව්‍යාප්ත වෙන්නේ කොයි ආකාරයට ද?

මේ වෛරසය රෝගියෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීමේ ප්‍රධාන ක්‍රමය වෙන්නේ ප්‍රශ්වාසය, කැස්ස, කිවිසුම් යාම හෝ සොටු දියර ගැලීම සමග පිටවෙන ස්‍රාව කොටස් ආශ්වාසයට ලක්වීමෙනුයි. ඊට අමතරව රෝගියෙකු ස්පර්ශ කිරීම, එකම අවකාශයක වැඩි වෙලාවක් කාලය ගත කිරීම ආදිය මෙම රෝගය බෝවීමට හේතු වෙනවා. නිසි පරිදි පිසීමට ලක් නොකළ සත්ත්ව නිෂ්පාදන ආහාරයට ගැනීමත් මෙම රෝගය බෝවිය හැකි ක්‍රමයක් ලෙස සැක කරනවා.

මෙය ගැබිනි මවව්රුන්ට බලපාන්නේ කොහොමද?

ඕනෑ ම ශ්වසන ආසාදන තත්ත්වයක් ගැබිනි මවකට සංකූලතා ඇති කිරීමට ඇති හැකියාව තරමක් වැඩියි. දැනට කොරෝනා වෛරස ආසාදිත ගැබිනි කාන්තාවන් පිළිබඳ ප්‍රමාණවත් විස්තර නොමැති වුවත්, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගය ගැබිනි මවුවරුන්ට බලපෑ ආකාර පිළිබඳව අපට අත්දැකීම් තිබෙනවා. ඉන්ෆ්ලුවෙන්සා රෝගය නිසා මාතෘ මරණ රැසක් ම ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ බවට ඔබ දැනුවත් ඇති. මේ නිසා ගර්භණී සමයේ මෙවැනි ආසාදන තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට හැකි උපරිම උත්සාහ ගත යුතුයි.

ඒ සඳහා දෙන්න පුළුවන් උපදෙස් මොනවාද?

1. වැඩිපුර සෙනග ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින්න.
2. සෙම්ප්‍රතිශ්‍යාව උණ හෝ එවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ගෙන් ඈත්වී සිටින්න.
3. වන සතුන් සහ සුරතලයට ඇති කරන සතුන් ඇල්ලීමෙන් හෝ සමීපයට යාමෙන් වළකින්න.
4. සත්ත්ව ආහාර හොඳින් පිසීමෙන් පසු පමණක් ආහාරයට ගන්න.
5. සැමවිටම සබන් යොදා අත් සෝදන්න. එසේ කිරීමට අපහසු අවස්ථාවල දී ඇල්කොහොල් අඩංගු පිරිසිදු කාරක තවරනයක් අත්වල තවරා පිරිසිදු කරගන්න්.
6. ඇස්, නාසය සහ මුඛය ඇල්ලීමෙන් වළකින්න.
7. ඔබට රෝගීන් ගැවසෙන ස්ථානයකට යෑම අත්‍යවශ්‍ය නම් මුඛ ආවරණයක් පලඳින්න.
8. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණයක් ඇති නම් වෙනත් ගැබිනි මව්වරු සමීපයට යෑමෙන් වළකින්න.
9. කැස්ස සහ කිවිසුම් යාම ඇති විට නාසය සහ මුඛය වැළමිටෙන් හෝ ටිෂූ එකකින් වසාගන්න. එලෙස භාවිත කරන ටිෂූ ඉක්මනින් ආරක්ෂිතව බැහැර කරන්න. ඉන් පසු ඔබේ අත් සබන් යොදා සෝදාගන්න.
10. ඔබට කිසියම් ශ්වසන ආසාදන තත්ත්වයක් ඇති බවට සැකයක් ඇති නම් හැකි ඉක්මනින් රජයේ රෝහලකට ඇතුළත්ව පරීක්ෂා කරවාගන්න.

විශේෂයෙන් ම කිව යුතු කාරණය තමයි ගර්භණී සමයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආසාදන ඉතා ඉක්මනින් නියුමෝනියා තත්ත්වයට වර්ධනයවීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා ගැබිනි මවුවරුන් ඉහත උපදෙස් පිළිපැද ඉන් මිදීමට උත්සාහ කිරීම ඉතා වැදගත්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
(උතුරු කොළඹ ශික්ෂණ රෝහල – රාගම)

සටහන – දුලංජලී මුතුවාඩිගේ