Health Guide

කාන්තාවන්ගේ කන්‍යා පටලය ගැන මිත්‍යාව දුරුකරගන්න

මධුසමයට පැමිණි හිමායා බෙහෙවින් බියට පත්ව සිටියේ සයනය මත ඇතිරූ සුදු රෙද්ද මත තම පිරිසිදුභාවය සටහන් නොවී තිබූ නිසා ය. විසල් තමන්ට කෙසේ ප්‍රතිචාර දක්වයිද? තමන්ගේ අලුතින් ඇරඹු ජීවිතය එසැණින් ම හමාර කරන්නට සිදුවේද? වැනි අනේක විධ සෘණාත්මක සිතුවිලිවලින් සිත පිරී යද්දී ඇගේ දෙකම්මුල් මතින් නොනවත්වා ම කඳු`ඵ කඩා හැලෙන්නට විය.

“ඇයි මේ අඬන්නෙ හිමායා?”

“ඔයා ඔයා තව ම දන්නෙ නැද්ද මේ රෙද්දේ මගේ පිරිසිදු බව නැහැ කියලා.” ඇය හඬමින් ම ඇසුවා ය.

“මොනවා!!! ඒක එහෙම නැත්ද? මහ හඩින් සිනහා නැගූ විසල් හිමායාව තමන් අසලට ගත්තේ ය.

“මොනවද ඔයා මේ දොඩවන්නේ, මම ඔයාට කිව්වා ඔය රෙද්ද එළද්දිත් ඕවා වැඩකට නැති වැඩ කියලා.”

“ඒ කියන්නේ ඔයාට මාව විශ්වාසයි?”

“ඔව්, ඔව් මේ විසි එක්වන සියවසේ ජීවත් වෙන ඔයා තාම හනමිටි උස්සගෙන යනවනෙ.”

“ඒත් ඔයාලගෙ අම්මලා?”

විසල්ගේ දුරකතනය නාද දෙන්නට විය. එහි අනෙක් පසින් කතා කළේ විසල්ගේ වැඩිමල් සොයුරියයි. ඇය ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරියකි.

“ඔව් අක්කා මම නම් හොඳින් ඒත් ඔයාගේ නෑනා පොඞ්ඩ අඬනවා, එයාගෙ පිරිසිදුබව ඔප්පු වෙලා නැහැ කියලා. ආ ඉන්න මම එයාට දෙන්නම්.”

“නංගි මොකද්ද මේ මල්ලි කියන්නෙ, ඇත්තද?”

“අනේ ඔව් අක්කා මම දැන් මොකද්ද කරන්නෙ?”

“අයියෝ හිමා ඔයා දන්නවද ගැහැනු දරුවෙකු උපදිනකොට ම යෝනි මාර්ගයේ පිටත කෙළවරට ටිකක් ඇතුළතින් තුනී පටලයක් පිහිටලා තියෙනවා. මෙන්න මේ තුනී පටලයට තමයි කන්‍යා පටලය (Hymen) කියන්නෙ. මානව පරිණාමයේ දී මේ කොටසට වෙන් වූ විශේෂ කර්තව්‍යයක් හඳුනාගෙන නැහැ. සමහර කාන්තාවන්ට උපතින් ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. සාමාන්‍යයෙන් කන්‍යා පටලය මැද ඔසප් වන රුධිරය සහ යෝනි මාර්ගයේ ස්‍රාවයන් පිටතට පැමිණීමට හැකි වෙන පරිදි විවරයක් තිබෙනවා. මෙම විවරයේ විශාලත්වය සහ ස්වරූපය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ම මෙම පටලයෙන් යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන්නෙ නැහැ.

ලිංගික එක්වීමේ දී කන්‍යා පටලය හෝ යෝනි මාර්ගයේ ඇතුළත බිත්තියේ ඉරීමක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා රුධිර වහනයක් විය හැකියි. කාන්තාවක් පළමු වතාවට ලිංගිකව එක් වූ බව තහවුරු කරන සාධකයක් ලෙස මේ රුධිර පැල්ලම සලකන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා. ඒත් කන්‍යා පටලයක් පිහිටා නැති කාන්තාවකට පළමු සංසර්ගයේ දී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැනෙ. යෝනි විවරය වටා වළල්ලක් ලෙස මෙම පටලය පිහිටා ඇති නම් පමණක් ලිංගික සංසර්ගයක දී හෝ යෝනි මාර්ගයට කිසිවක් ඇතුළු කරන විට දී මෙම පටලය ඉරී යාමට හැකියාවක් තිබෙනවා. ඒත් ඒවගේ සමහර කාන්තාවන්ගෙනුත් යම් ප්‍රතිශතයකගේ කන්‍යා පටලය ඇදෙන සුළු නිසා එහි ඉරීමකින් තොරව සංසර්ගයේ යෙදීමට හැකියාව තිබෙනව. එවිටත් රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා පළමු ලිංගික සංසර්ගයේ දී රුධිර වහනයක් අනිවාර්යයෙන් සිදුවිය යැයි පවතින මතය විද්‍යාත්මක නැහැ. ඒ කියන්නේ කාන්තාවකගේ පිරිසිදුකම මේ ක්‍රමයෙන් ඔප්පු කරන්න බැහැ. මේ තරම් ඉගෙනගෙන තියෙන ඔයත් මේ හනමිටි අදහස් ඔළුවට දාගෙන බයේ දඟලනවා.

ඔයා දන්නවද නංගි මේ ගැන හරි අවබෝධයක් නැති හුඟදෙනෙකුගේ විවාහ කඩාකප්පල් වෙනවා වගේ ම ඒ කාන්තාවන් අධික මානසික පීඩනයකට ලක්වෙන අවස්ථාත් තියෙනවා කියලා?”

“ඔව් මගෙත් යාළුවෙක් හිටියා, එයාට වුණේ මට වුණ දේමයි. එයාගේ නැන්දම්මා විතරක් නෙමේ මහත්තයත් එයාව සැක කළා. විවාහය කඩාගෙන ගෙදර එන එක ලැජ්ජාවක් කියලා හිතාගෙන එයා හැම දේ ම ඉවසගෙන හිටියා. ඒත් එයා අන්තිමට ගෙදර ආවේ නොකරපු වරදකට මානසික ලෙඩෙක් වෙලා.”

“ඒකනේ, උපතින් ම කන්‍යපටලය නැති කාන්තාවන් වගේ ම, සමහර කාන්තාවන්ට යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන ලෙස කන්‍යා පටලය පිහිටන අවස්ථාත් තියෙනවා. ඒ වගේ අවස්ථාවක ඔසප් වන රුධිරයට පිටතට එන්නට මාර්ගයක් නැති නිසා ශල්‍ය කර්මයක් මගින් කන්‍යා පටලයේ සිදුරක් ඇති කර ඔසප් වන රුධිරය පිටතට ගලා ඒමට සැලැස්වීම අවශ්‍ය වෙනවා.”

“වෛද්‍ය පරීක්ෂණයක් මගින් කන්‍යාභාවය පරීක්ෂා කරන්න පුළුවන්ද අක්කා?”

“පර්යේෂණවලින් සොයාගෙන ඇති පරිදි කන්‍යා පටලය සාමාන්‍ය ලෙස පිහිටීම මගින් කලින් ලිංගික එක්වීමක් සිදුව නැති බව තහවුරු කරන්න බැහැ. කන්‍යා පටලය ඇදෙන සුළු නම් සංසර්ගයේ දී එයට හානියක් නොවීමට ඉඩ තිබෙනවා. ඒ වගේ ම මෙම පටලයේ ඇති වෙන සියුම් ඉරීමක් නැවත යාවීමට ද ඉඩකඩ තිබෙනවා. තවත් පර්යේෂණයක් මගින් සොයාගෙන ඇති පරිදි කලින් ලිංගික ව එක්වී ඇති කාන්තාවන්ගෙන් 52%කට කන්‍යා පටලයේ කිසි ම ඉරීමක සලකුණු හඳුනා ගෙන නැහැ. ඒ නිසා කන්‍යා පටලය පිහිටා තිබීම හෝ නො තිබීම මගින් කාන්තාවක් කලින් ලිංගික එක්වී ඇති බව සොයාගන්න බැහැ.”

“ඒත් කී දාහක් කාන්තාවො මේ කන්‍යා පටලය නිසා දුකට පත් වෙනවා ඇතිද?”

“ඔව් ඒක ඇත්ත, තවමත් අපේ රටේ වගේ ම සමහර රටවල කාන්තාවගෙත් කන්‍යාභාවය එහෙම නැත්නම් පිරිසිදුකම පළමු සංසර්ගයේ රුධිර වහනය මගින් මැන බලනවා. ඒ නිසා ම කලින් ලිංගික එක්වීමක් නිසා කන්‍යා පටලයට හානිවූ කාන්තාවන් කන්‍යා පටලය නැවත සකස් කිරීමට සැත්කමක්වලට යොමු වෙනවා. මේ සැත්කමට කියන්නෙ Hymenoplasty කියලයි. නෙදර්ලන්තයේ දී කරන ලද වෛද්‍ය පරීක්ෂණයකට අනුව මෙම සැත්කම සාර්ථක බව තහවුරුවී තිබෙනවා. ඒත් ඉතින් අත්‍යවශ්‍ය නොවන මේ වගේ සැත්කමකට යොමු නොවී සිටීම වඩාත් සුදුසුයි කියන එක තමයි වෛද්‍යවරුන්ගෙත් මතය. මේ සැත්කමේ භයානක ම තමයි සුදුසුකම් නොලත් පුද්ගලයන් ලවා කරවාගැනීමට යොමුවීම. එවැනි ස්ථානවලින් සැත්කම් සිදුකරගත් කාන්තාවන්ට විෂබීජ ආසාදන වැනි සංකූලතා නිසා රෝහල් ගතවීමට පවා සිදුවන අවස්ථා තිබෙනවා.”

“ඔයා කතා කළ එක කොයි තරම් හොඳද? දැන්නම් මට බය නැහැ, අපි කොච්චර දැන උගත් වුණත් කොච්චර නම් විද්‍යාත්මක පදනමක් නැතිව කන්‍ය පටලයෙන් කාන්තාවගේ පිරිසිදුකම ඔප්පු කරන තුරු බලා ඉඳලා ජීවිත විනාශ කරගන්නවද?”

“ඒක නම් ඇත්ත නංගි, ගැහැනුන්ටත් වඩා මේ පිළිබඳ අවබෝධයක් ලබාදෙන්න ඕනි පිරිමි අයට. හොඳියි එහෙනම් දෙන්නම පරිස්සමින් ඉන්න.”

“බොරුවටනෙ මෙතැන නැටුවෙ. ලිංගිකත්වය කියන්නේ ජීවිතේ කොටසක් මිසක් ජීවිතේ ම නෙමේ, දෙන්නා අතර හරි අවබෝධයක් තියෙනවා නම් විවාහය කියන බැඳීම හුඟක් ශක්තිමත් කරගන්න පුළුවන්.” විසල් හිමායාගේ දෑත අල්වාගෙන පැවසුවේ ය. ඒ වදන් තුළ සුරක්ෂිත බවක් හිමායාගේ සිතට නැගුණා ය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ
වෛද්‍ය චාමින්ද මාතොට
(රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල)

සටහන – දිශාන්ති වෙදගේ