Health Guide

උපදංශයට පුද්ගලයෙකු තුළ සැඟවී සිටිය හැකියි

සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිටින පවුලක වැඩිමහල් දරුවා වූ භාතිය 28 හැවිරිදි තරුණයෙකි. ඔහුගේ පියා කුලී වැඩ කරමින් දරු පවුල ජීවත් කළ අතර පියාගේ හදිසි අභාවයත් සමග ඔවුන්ගේ පවුලේ ආර්ථික ප්‍රශ්න තවදුරටත් දලුලන්නට විය. මෙම තත්ත්වයත් සමග සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුව ද උසස් පෙළ පංතිය දක්වා අධ්‍යාපනය හැදෑරීමට තරම් පරිසරයක් භාතියට නොතිබුණු හෙයින් අධ්‍යාපනය නවතා දමා රැකියාවක් සොයාගැනීමට ඔහු තීරණය කළ අතර ගමේ සිට කොළඹ පැමිණියේ නිවසේ ආර්ථික ගැටලුවලට පිළිතුරු සෙවීමේ අරමුණින් ය.

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගබඩාවෙහි රැකියාවක් ලද භාතිය ඉන් ලැබූ සුළු වැටුපෙන් නිවසේ ආර්ථිකයට යම්තාක් දුරකට උරදුන් ද සාමාජිකයන් හතරදෙනෙකු සිටින පවුලෙහි එදිනෙදා වේල පිරිමහගැනීමට හෝ එය ප්‍රමාණවත් නොවීය. කොළඹ නවාතැන්පොළ වෙත ගෙවිය යුතු ගාස්තුව සහ ආහාර වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදලත් සමග වෙනත් ඉතිරියක් කිරීමට තරම් හැකියාවක් ද ඔහුට නොවූ අතර දිගින් දිගටම පැනනැගි මෙම ආර්ථික ගැටලු සමග භාතිය දැඩි පීඩනයකින් පසුවිය. භාතියට තම කර්මාන්තශාලාවෙහි ම සේවය කළ තමාට වඩා තරමක් වැඩිමහල් තරුණියක වූ සුපර්ණාව හඳුනාගැනීමට ලැබුණේ මේ අතරවාරයේ දී ය. ඉතා කෙටි කාලයක් තුළ දැඩි සේ කුලුපග වූ සුපර්ණා භාතියගේ ළඟ ම මිතුරිය වූ අතර පසුව භාතිය ඇඟලුම් ශාලාවට නුදුරින් පිහිටා තිබූ ඇගේ නිවසෙහි ම නවතැන් ගැනීමට තීරණය කළේ ඉන් තවත් සුළු මුදලක් හෝ ඉතිරි කර ගැනීමට හැකි වේවි යන බලාපොරොත්තුව ද සහිතව ය. සුපර්ණාගේ නිවසේ නවතැන් ගැනීමත් සමග තව තවත් සමීපතමයන් බවට පත් වූ ඔවුන් අතර මිත්‍රත්වයෙන් ඔබ්බට ගිය බැඳීමක් දලුලන්නට විය. අවසානයවත් ම එය බොහෝදුර දිග ගිය බැඳියාවක් බවට පත් වී තිබිණි.

මෙම අතරවාරයේ දී හදිසියේ ම භාතියගේ මව අසනීප වූ අතර ඇයව සුව කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිකාරයන් වෙනුවෙන් භාතියට විශාල මුදලක් වැය කිරීමට සිදුවිය. මිතුරන් කිහිපදෙනෙකුගෙන් ලබාගත් ණය මුදල්වලින් මවගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා මුදල් සොයාගත් අතර ආර්ථික වශයෙන් මෙතෙක් උද්ගතවී තිබූ ගැටලුකාරී තත්ත්වයන් තවදුරටත් උග්‍රවීමත් සමග භාතිය දැඩි සේ පීඩාවට විය. හදිසියේ මුහුණදීමට සිදුවූ මෙම තත්ත්වයත් සමග භාතියට සති දෙකක පමණ නිවාඩු ලබාගැනීමට අවශ්‍ය වුව ද ඔහුගේ නිවාඩු ඉල්ලුම ප්‍රතික්ෂේප වූයේ ඔහු ඒ වන විටත් ප්‍රමාණය ඉක්මවා නිවාඩු ලබාගෙන තිබූ බැවිනි. අවසානයේ දී සේවයට වාර්තා කිරීමට නොහැකිවීම නිසා භාතියව රැකියාවෙන් ඉවත් කළ අතර සුපර්ණා සමග පැවති සබඳතාව ද මෙම සිදුවීම් සමගම බිඳවැටෙන්නට විය. දවස් ගණනක් පුරා නව රැකියාවක් සෙව්ව ද රැකියාවක් සොයාගැනීමට නොහැකිවීමත්, තවදුරටත් නවතැන් ගැනීමට හෝ ස්ථානයක් නොමැතිවීමත් නිසා අවසානයේ භාතිය යළිත් ගමට යාමට තීරණය කළේය. එහෙත් ඒ වන විටත් ඔහු සිටියේ ඉදිරියට කළ යුතු දෙයක් පිළිබඳව හෝ නිනව්වක් නොමැති තරම් සිත් වේදනාවක ය. භාතියගේ ළඟ ම යහළුවෙකු වූ අසේල විදෙස් සේවයේ නියුතු පුද්ගලයෙකු වූ අතර භාතිය ගමට යන විට ඔහු නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටියේය. භාතියගේ තොරතුරු සියල්ල විමසූ අසේල විදේශ ගතවී රැකියාවක් කිරීම පිළිබඳව මුල් වරට යෝජනාව ගෙන ආ අතර පසුව භාතිය ද ඒ පිළිබඳව කල්පනා කර ඔහු මුහුණ දී ඇති තත්ත්වය සඳහා එය හොඳ ම විසඳුමක් බව සිතමින් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමට වෙහෙසුණේ ය. ඒ වන විට මුදල් සොයාගැනීම සඳහා ඉතිරිවී තිබූ එක ම මග වූවේ නිවසේ ඉඩම් ඔප්පුව පමණි. එබැවින් එය උකස් කොට අවශ්‍ය මුදල් සොයාගෙන අදාළ කටයුතු සියල්ල සකසාගත් අතර අවසානයේ දී ඉතිරිව තිබූ අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා ද මුහුණ දී භාතිය එම වෛද්‍ය වාර්තා ලැබෙන තුරු නොඉවසිලිමත්ව බලා උන්නේ නුදුරේ දී ම විදේශගතවීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවෙනි. එහෙත් ඒ සියලු ම පැතුම් බොඳ කරමින් වෛද්‍ය වාර්තා හරහා ඔහුට සැල වූයේ අසුබවාදී පිළිතුරකි. එනම් වෛද්‍ය වාර්තාවල සඳහන් වූයේ ඔහුට උපදංශය නම් රෝගය වැලඳී ඇති බවත් එම හේතුවෙන් ඔහු ඉල්ලුම් කර ඇති රට වෙත යාමට ඔහුට නොහැකි බවත් ය. තමා මින් පෙර තමාට මෙවන් රෝගයක් හෝ රෝග ලක්ෂණයක් ඇතිබව නොදැන සිටි බැවින් ඉන් මහත් විමතියට හා කනස්සල්ලට පත් භාතිය වෛද්‍යවරුන් වෙත පැවසූ අතර වෛද්‍යවරුන් පෙන්වාදුන්නේ උපදංශය රෝගයෙහි රෝග ලක්ෂණ ඇතැම් විට එය වැලඳුණු සෑම රෝගියෙකු තුළ ම දක්නට නොමැති බවත්, මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් බවත් ය. තවදුරටත් වෛද්‍යවරුන් මෙම තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියේ නිසි වෛද්‍ය ප්‍රතිකාර තුළින් මෙය සම්පූර්ණයෙන් ම සුව කළ හැකි බවයි. එමෙන් ම බොහෝදෙනා එතරම් නොසිතුව ද මෙවැනි රෝගයක් තිබෙන බව හඳුනාගත් විට බොහෝ විදේශ රටවල් වෙත ප්‍රවේශවීමට ඇති අවස්ථාව වුව අහිමිවී යා හැකි බවත්, කෙටි කාලීන ආශ්වාදයක් වෙනුවෙන් ගනු ලබන එක් වැරදි පියවරක් මගින් ජීවිතයේ වටිනා අවස්ථාවන් රැසක් අහිමිවී යා හැකි බවත් පෙන්වාදෙමින් වෛද්‍යවරුන් විසින් තවදුරටත් අවධාරණය කරනු ලැබුවේ තමා පවත්වනු ලබන සබඳතාවන් පිළිබඳව වඩාත් වගකීම් සහගතව කටයුතු කළ යුතු බවයි.

වෛද්‍යවරුන්ගේ මගපෙන්වීම මත භාතිය අදාළ ප්‍රතිකාරයන් වෙත යොමු වූ අතර නිසි ප්‍රතිකාර තුළින් එම රෝගී තත්ත්වය සුවකර ගැනීමට හැකි විය. එහෙත් ඔහුගේ විදේශ ගතවීම වෙනුවෙන් යෙදවූ මුදලත් බලාපොරොත්තුවත් ඒ වන විටත් ඔහුට අහිමිවී තිබිණි.

ජීවිතයට වින්දනය අවශ්‍ය ය. එහෙත් සැමවිට ම නුවණින් විමසා බලා කටයුතු කළ යුතුය. නැතහොත් ජීවිතයේ සැබෑ වින්දනය වෙනුවට ඔබට ජීවිතය විඳවීමට සිදුවනු ඇත.

ගියවර කලාපය ඔස්සේ අපි උපදංශය පිළිබඳ මූලික ප්‍රවේශයක් ලබාගනිමින් සංජනනීය උපදංශය පිළිබඳ සාකච්ඡා කළෙමු. මෙවර ලිපිය හරහා තවදුරටත් උපදංශය රෝගය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපේක්ෂා කරන්නෙමු.

උපදංශය තත්ත්වය ඇතිවීම කෙරෙහි හේතුවන්නේ Treponema Pallidum Pallidum නම් වූ බැක්ටීරියාව බව අප ඉහත ලිපිය තුළ සඳහන් කළ අතර එය නිදන්ගත රෝගී තත්ත්වයක් බවත්, රෝගී තත්ත්වය හඳුනාගනිමින් නිසි ප්‍රතිකාර සිදු කිරීම හරහා සම්පූර්ණයෙන් ම මෙම රෝගී තත්ත්වය සුව කළ හැකි බවත් මේ වනවිටත් ඔබ දන්නා කරුණකි. මෙම රෝගී තත්ත්වය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන අතර මෙය මුඛ, යෝනි හෝ ගුද සංසර්ගය යන ඕනෑ ම ලිංගික ක්‍රියාවක් හරහා ශරීරගත විය හැකිය. ඇතිවන්නේ සමට සම ස්පර්ශවීම මගිනි. එහි දී දවස් 9 – 90 අතර කාලය තුළ පළමුව ලිංගික ප්‍රදේශය ආශ්‍රිතව තුවාලයක් හෝ කිහිපයක් ඇතිවන අතර බොහෝ විට එම තුවාල වේදනා රහිත වේ. එහෙත් ඇතැම් පුද්ගලයන්ට එලෙස තුවාල ඇති නොවීමට ද හැකිය. මෙම තුවාල වේදනා රහිත නිසා ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනිමට බොහෝදුරට යොමු නොවේ. මෙම රෝගයේ ද්වීතික අවධියක් ලෙස රුධිරය හරහා මුළු ශරීරය පුරා ම පැතිර ඇතැම් විට සම පුරා ම දද කුෂ්ට ව්‍යාප්තවීමක්, සිදුවිය හැකි අතර උණ තත්ත්වයක් ද ඇතිවීමට හැකිය. එමෙන් ම ඇතැම් විට මේ හරහා වකුගඩු සහ අක්මාවට වුව ද බලපෑමක් ඇතිවිය හැකි අතර හිසේ තැනින් තැන් කෙස් අඩුවීමක්, අක්ෂි හා මුඛ ආශ්‍රිත ගැටලු, හෝ ලිංගික ප්‍රදේශයේ ඉන්නන් ඇතිවීම වැනි තත්ත්වයන් මෙන් ම මොළේ උණ වැනි තත්ත්වයන් ද ඇතිවිය හැකියි. එමෙන් ම ඇතැම් පුද්ගලයන්ට මෙහි ද්වීතික අවධියේ දී ඉහත සදහන් කළ ආකාරයේ කිසිදු රෝගී තත්ත්වයක් ඇති නොවීමට වුව ද හැකිය. කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිවීමෙන් මෙම රෝගය තමාට වැලඳී ඇතිබව හෝ නොදැන ඇතැම් පුද්ගලයන් ජීවත් වන අතර එහි දී වසර 10, 15 හෝ 20 හෝ ගතවී පසුකාලීනව ස්නායු පද්ධතිය ආශ්‍රිතව Dementia (මතකය අඩුවීම වැනි තත්ත්වයක්), ශ්‍රවණ දෝශ, මෙන් ම රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව රෝගී තත්ත්වයක් වුව උද්ගතවීමේ අවදානමක් පවතින අතර එය මෙම රෝගයේ උත්සන්නතම අවස්ථාව වනු ඇත.

පළමු වසර දෙක තුළ මෙකී රෝග ලක්ෂණ හඳුනාගත හැකි අතර ඉන්පසුව මෙම රෝගය නිදන්ගත රෝගයක් බවට පත් වේ. නිදන්ගත තත්ත්වයේ දී කිසිදු රෝග ලක්ෂණයක් දැකිය නොහැකි වුව ද රෝගකාරක විසබීජ දිගුකාලිනව ශරීරයේ පැවතිය හැකිය. බොහෝවිට අප මෙම රෝගය හඳුනාගන්නේ විවිධ අවස්ථාවන්වල දී සිදුකරනු ලබන රුධිර පරීක්ෂණ මගිනි. එනම් ගර්භණී අවධියේ දී සිදුකරන රුධිර පරීක්ෂා, රැකියා අවස්ථා සඳහා මෙන් ම විදේශගතවීම වෙනුවෙන් ලබාගන්නා වෛද්‍ය වාර්තා ආදී පරීක්ෂණවල දී මේ රෝගය පිළිබඳව අනාවරණය කර ගැනෙයි. තව ද ලේ බැංකුවට රුධිරය ලබාදීමේ දී ද මෙම තත්ත්වය පිළිබඳව ද පරීක්ෂාවට ලක්කරනු ඇත. එලෙස හඳුනාගන්නා රෝගීන් අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු කෙරෙන අතර මෙය සම්පූර්ණයෙන් සුවකළ හැකිය. මෙහි දී ඖෂධ ලෙස පෙනිසිලීන් ලබාදෙන අතර මෙම රෝගය පිළිබඳ කල්තියා හඳුනාගැනීම හරහා ඇතිවිය හැකි සංකූලතා අවම කරගත හැකිය. මෙම රෝගය ශරීර ගතවී ඇති කාල පරාසය අනුව එක් එන්නතක් හෝ සතියකට එක බැගින් සති තුනක් තුළ එන්නත් තුනක් ප්‍රතිකාර කිරීමේ දී රෝගියාට ලබාදෙනු ලබයි.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි
(ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන – කොළඹ)

සටහන – පියුමිලා අරවින්දි