Health Guide

ගොනෝරියා හෙවත් සුදු බිංදුම ගැන ඔබත් දැනුවත්ව ඉන්න

“මට ඇත්තටම බයයි ඩොක්ටර් රජයේ රැකියාවක නිරතවීම තමයි මගේ එකම හීනය, ඒත් මේ ලෙඬේ නිසා කවදාහරි මං රැකියාවකට යන්න කරන මෙඩිකල් රිපෝට් ෆේල් වෙයිද?”

“නැහැ සම්පත්, එහෙම දෙයක් නම් වෙන්නෙ නෑ. ඒ ගැන අනිසි බියක් ඇතිකරගන්න එපා, නිසි ප්‍රතිකාරවලින් මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම සුව කළ හැකියි. ඒත් ඔයා මීට වඩා දුරදිග බලලා වැඩ කරන්න නම් අවශ්‍යයයි. නිකරුණේ තමන්ගෙ ජීවිතේ මේ විදිහට ආශාවක්, ඇබ්බැහිවීමක් නිසා විනාශ කරගන්න එපා. ඔයා දන්නවද මේ වගේ අනාරක්ෂිත චර්යා නිසා ඔයා මීටත් වඩා දරුණු මාරාන්තික රෝගී තත්ත්වයකට වුණත් පත්වෙන්න පුළුවන්. ඒ නිසා නිසි ප්‍රතිකාර ලබාගෙන මේ තත්ත්වය සුවකරගෙන මේ වගේ නොගැළපෙන වැරදි දේවල්වලින් සම්පූර්ණයෙන් ම ඉවත් වෙන්න. බලන්න ඔයාට කොච්චර ලස්සන අනාගනයක් තියෙනවාද, ඉතින් ඇයි මේ වගේ වැරදි දෙයක් නිසා මානසික වශයෙනුත් පහළට වැටිලා ජීවිතේ විඳවන්න හදන්නේ? ඔයා ප්‍රතිකාරවලට යොමුවෙන්න, ඉන් පස්සේ මේ දේවල්වලින් ඈත් වෙලා ඉගෙනගෙන ජීවිතේ ඉස්සරහට යන්න.”

සම්පත් එදින වෛද්‍යවරයා හමුවී නිවසට පැමිණියේ මෙතෙක් කල් හිස මත තබා උන් විශාල බරක් නිදහස් කරගත්තා වැනි සැහැල්ලුවකිනි.

18 හැවිරිදි සම්පත් දරුවන් තිදෙනෙකු සිටින පවුලක මද්දුමයා ය. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය විවාහවී නිවසින් බැහැරව වාසය කළ අතර බාල සහෝදරිය සා/පෙ පංතියේ අධ්‍යාපනය ලබන්නීය. සම්පත්ගේ පියාගේ ජීවිකාව වූවේ, දවසේ කුළියට මේසන් වැඩ සඳහා අත් උදව් සැපයීමයි. මව ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාව කරමින් ජීවන අරගලයට සහය වූවා ය. සා/පෙ විභාගය ඉහළින් ම සමත් වූ සම්පත් තිළිණයක් ලෙස දෙමාපියන්ගෙන් ජංගම දුරකතනයක් ඉල්ලා සිටි අතර අමාරුවෙන් හම්බකර ගත් කාසි එක්කාසු කර තම එකම පිරිමි දරුවා ඉල්ලා සිටි ත්‍යාගය ඔහුට ලබාදීමට දෙමාපියන් කටයුතු කළේ තම දරුවා කෙරෙහි වූ අප්‍රමාණ ආදරයෙනි. එහෙත් එම ආදරය ම දරුවාගේ ඛේදවාචකය බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවුණේ සම්පත් මුහුණුපොත හරහා මෙතෙක් නොදත් නාඳුනන සමාජයක් සමග සයිබර් ලෝකය තුළ ගනුදෙනු කිරීමට ආරම්භ කිරීමත් සමගයි. සම්පත් මුහුණුපොත හරහා ගලා ආ මිතුරු ඇරයුම්වලට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ පෙළඹවීම්වලට අවනතව ගොගැළපෙන සමලිංගික සබදතාවලට නතු වූවේ නිරායාසයෙනි. ඇතැම් විට ඔහු මුහුණ පා සිටි ආර්ථික අපහසුතාවන්ගෙන් මිදීමට එය ඔහුට විසඳුමක් සේ පෙනෙන්නට ඇත. එම සෑම හමුවකදීම අවශ්‍ය මුදල් එම පැමිණෙන තැනැත්තා විසින් වියදම් කළ අතර ඇතැම් විට සම්පත් තම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කටයුතු ද දෙමාපියන්ට නොදන්වා ම ඒ ලැබෙන මුදල් තුළින් සපුරාගැනීමට පෙළඹුණේය. පසුකාලීනව එය ඔහුට ඇඛ්බැහියක් බවට පත්විය. මෙලෙස සබඳතා පැවැත්වීමේ දී ඇතැම් විට ඔහුට විශ්වාසයැයි හැගුණු පුදගලයන් සමග සබඳතා පැවැත්වීම සඳහා කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් හෙතෙම භාවිත නොකළ අතර මෙම ක්‍රියාවන්ගේ අනතුරුදායක තත්ත්වය ඔහුට වැටහුණේ තම රහස් ප්‍රදේශය ආශ්‍රිතව ගොනෝරියා රෝගයෙහි රෝග ලක්ෂණ පහළවීමත් සමගයි. මෙම තත්ත්වය සමග සම්පත් දැඩි සේ කලබලයට පත් වූ අතර රහසේ ම අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු සොයා බලන්නට කටයුතු කළේය.

උ/පෙ විභාගයෙහි ප්‍රතිඵල නිකුත් වූවේ මේ අතරවාරයේ දී ය. එම ප්‍රතිඵලවලට අනුව සම්පත් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා අවශය සුදුසුකම් ඔහු සපුරා තිබූ අතර ඔහු කුඩා කල සිට දුටු රජයේ රැකියාවක නිරතවීමේ සිහිනය මල් ඵල ගැන්විය හැකි බවට බලාපොරොත්තු ඔහු තුළ දැල්වෙන්නට විය. එහෙත් තමා ඒ වන විටත් ගොදුරු වී ඇතැයි සැක පහළ ව ඇති ලිංගාශ්‍රිත රෝගය නිසා තමන්ගේ මෙම සිහින සියල්ල ම බොඳවේවි යැයි යන භීතියෙන් සම්පත් ළතැවෙන්නට වූ අතර එම නිසා ම සතුටින් සිනාසිය යුතු මොහොතක වුව සම්පත්ගේ මුහුණේ වූවේ ශෝකානුකූල බවකි. දෙමාපියන් පවා තම සහෝදරයා පිළිබඳ සතුටට පත්ව සිටින මොහොතක සම්පත්ගේ මුහුණ තුළින් දිස්වන දෝමනස්ස බවත්, දින කිහිපයක සිට සම්පත් තුළින් දිස්වන නොසන්සුන්කමත් පිළිබඳ අවධානය යොමු කළ ඔහුගේ බාල සහෝදරිය ඒ පිළිබඳව තම මව ද දැනුවත් කරමින් සම්පත්ගේ දුරකතනය පරීක්ෂා කරන්නට වූ අතර එහි දී සම්පත්ගේ වැරදි සබඳතා පිළිබඳව මෙන් ම ගොනෝරියා රෝගය පිළිබඳව ඔහු එම දින කිහිපය තුළ ම දිගින් දිගට ම තොරතුරු විමසා ඇති ආකාරය දැකගන්නට හැකි විය. මෙම සිදුවීම හමුවේ සම්පත්ගේ දෙමාපියන් මෙන් ම සොහොයුරිය ද දැඩි කම්පාවට පත් වූවත් මේ පිළිබඳ සත්‍ය විමසා බැලීම සඳහා අවසානයේ දී සම්පත්ගෙන් මේ පිළිබඳව විමසීමට ඔවුහු කටයුතු කළෝය. එහි දී සම්පත් මෙතෙක් කල් රහසින් සිදුකළ ක්‍රියාවන් නිවැසියන් ඉදිරියේ පාපෝච්චාරණය කිරීමට ඔහුට සිදුවිය. මෙම සිදුවීම් පෙළ සැලවීමත් සමග දෙමාපියන් ඉතා කනගාටුවට පත් වූ අතර එම හැගීම් සඟවාගනිමින් තම දරුවාව වහාම අවශ්‍ය ප්‍රතිකාරයනට යොමු කිරීමට ඔවුහු කටයුතු කළහ. ඒ අනුව ලිංගාශ්‍රිත රෝග සායනය වෙත ඔහුව යොමුකෙරිණි. ඒ වන විටත් දැඩි සේ මනසිකව කම්පාවට පත්ව සිටි සම්පත්ට ලිංගාශ්‍රිත රෝග සායනය හරහා නිසි ප්‍රතිකාර මෙන් ම ඉතා කාරුණික උපදේශනය ද ලැබුණු අතර අඳුරුවීමට ගිය සම්පත්ගේ ජීවිතයට නිසි මග පෙන්වමින් යළිත් ජීවිතය යහමගට ගැනීම සඳහා වූ අත්වැල ඒ හරහා හිමිවිය. මෙවන් තත්ත්වයකට පත් රෝගීන් සඳහා නිසි ප්‍රතිකර්මයන් සිදුකරමින් ඔවුන්ගේ ජීවිත වෙත නිසි මාර්ගෝපදේශනය සැපයීමට දායකත්වය සපයන ලිංගාශ්‍රිත රෝග සායනය සැබවින් ම මේ රටේ ජනතාව වෙනුවෙන් සිදුකරනුයේ අමිල වූ සේවයකි. හුදෙක් සායනයකින් ඔඛ්බට ගිය විශ්වාසනීය සහ ගුණාත්මක සේවාවක් එහි දී සෑම රෝගියෙකු වෙත ම පිරිනමනු ලැබේ.

මෙහදී විශේෂයෙන් ම සඳහන් කළ යුතු දෙයන් වන්නේ දෙමාපියන් තම දරුවන් වෙත තාක්ෂණික උපකරණ ලබාදීමේ දී මීට වඩා සැලකිලිමත් විය යුතු බව මෙන් ම දරුවන් තාක්ෂණික උපකරණ හරහා සයිබර් සමාජය තුළ ගණුදෙනු කිරීමේ දී ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි. දරුවන්ට බොහෝ විටමෙහි ඵල විපාක මෙන් ම මිතුරා සහ සතුරා වෙන්කර හඳුනාගැනීමට තරම් හැකියාවක් නොමැත. එබැවින් දෙමාපියනි, “ඔබ දරුවා තාක්ෂණයට සමීප කරවීමට පෙර තව වරක් ඒ පිළිබඳව සිතා බලා නුවණැතිව කටයුතු කළ යුතුය”. සම්පත් යනු සමාජය තුළ මෙවන් තත්ත්වයකට පත් වූ තවත් එක් පුද්ගලයෙක් පමණි. මෙවැනි චර්යාවන්ට නැඹුරුව තම අනාගතය විනාශ කරගත් තවත් බොහෝ පුද්ගලයන් අප සමාජය තුළ ජීවත් වේ. නිසි ප්‍රතිකාරයන් හරහා ගොනෝරියා වැනි රෝගී තත්ත්වයක් සුව කළ හැකි වුව ද මෙවැනි සබඳතා නිසා ඉතා දරුණු රෝගී තත්ත්වයන් පවා ඇතිවීමේ අවදානමක් ඇත. එබැවින් වැදගත් ම කරුණ වන්නේ ඔබ මෙවැනි වැරදි සබඳතාවලින් ඈත්වී සිටීමයි. ඔබගේ සබඳතා විශ්වාසවන්ත එක් සහකරුවෙකුට හෝ සහකාරියකට පමණක් සීමා කරන්න. සැම විට ම අප මෙම ලිපි පෙළ හරහා පසක් කරන්නා සේ “ඔබ සෑම විට ම ඔබ පවත්වනු ලබන සබඳතා පිළිබඳව ඉතාාමත් වගකීම් සහගතව කටයුතු කරන්න.”.

ගොනෝරියාව රෝගය

ගොනෝරියාව යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකි. අප සාමාන්‍ය ව්‍යවහාරය තුළ “සුදු බිංදුම” ලෙස හඳුවන්නේ ද මෙම රෝගී තත්ත්වයයි. මෙය රෝගය Neisseria gonorrhoeae නම් බැක්ටීරියාව හේතුවෙන් ආසාදනය වන අතර සම්පූර්ණයෙන් ම සුව කළ හැකි රෝගයකි. සාමාන්‍යයෙන් මෙය ශරීර ගතවූ විට ඉක්මනින් රෝග ලක්ෂණ පහළ වේ. එහෙත් මෙය වැලඳුණු සෑම පුද්ගලයෙකු තුළ ම රෝග ලක්ෂණ දක්නට නොමැති අතර කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි පුද්ගලයන් තුළ මෙහි රෝග ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබේ. පිරිමි පුද්ගලයන් තුළ මෙම රෝගය පිළිබඳ පහළවන රෝග ලක්ෂණ ලෙස මුත්‍රා මාර්ගයෙන් සැරව පිටවීම, සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව දැවිල්ලක් ඇතිවීම මූලිකව වශයෙන් දැක්විය හැකිය. එමෙන් ම මේ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාරයන්ට යොමු නොවුණහොත් මෙම විසබීජයන් වෘෂණ කෝෂවලට පැතිරී ගොස් වෘෂණ කෝෂ ආසාදනයක් වුව ද ඇතිවිය හැකිය.

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ගැබ්ගෙල ආශ්‍රිතව මෙම රෝගය ආසාදනය වන අතර ගැබ්ගෙලට ආසාදනය වූ විට ගැබ්ගෙල ආශ්‍රිතව ස්‍රාවයන් හටගනී. එම ස්‍රාවයන් ඇතැම් විට යෝනි මාර්ගය හරහා බාහිරව දැකිය හැකි අතර ඇතැම් කාන්තාවන් තුළ එවැනි රෝග ලක්ෂණයන් පහළ නොවේ. එමෙන් ම ඇතැම් කාන්තාවන්ට ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවක් ලෙස මෙන් ම ලිංගික සබඳතාවක දී වේදනාවක් ඇතිවීමට හේතු විය හැකිය. තව ද මෙහි දී යටිබඩ වේදනාවක් වැනි රෝග ලක්ෂණයක් ද ඇතිවිය හැකිය. මෙහි දී ගැබ්ගෙල ආසාදනයවීම නිසා නිසි ප්‍රතිකාරයන්ට යොමු නොවුණහොත් ගැබ්ගෙල හරහා ප්‍රජනක පද්ධතියේ ඉහළට විසබීජය ගමන් කර ගර්භාෂය පැලෝපීය නාළ සහ ඩිම්භකෝෂ ආදියට ආසාදනය විය හැකියි. මෙම රෝගය සඳහා නිසි ප්‍රතිකාර නොගැනීම හේතුවෙන් පසුකාලීනව කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශ්වය ම වඳභාවයට පත්වීමේ අවදානමක් ද පවතී. තව ද මෙම රෝගය ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව විවිධ සංකූලතා ඇතිවීමට මෙන් ම මුළු ශරීරයට ම බලපා උණ හෝ දදයක් ලෙස ද රෝග ලක්ෂණ පෙන්විය හැකිය.

රුධිර පරීක්ෂණයක් හරහා මෙම රෝගය හඳුනාගැනීමට නොහැකි අතර සැරව පරීක්ෂා කිරීම හරහා හඳුනාගැනීම සිදුකෙරෙයි. ඊට අමතරව වර්තමානයේ දී හඳුන්වා දී ඇති DNA PCR පරීක්ෂණ හරහා මෙන් ම Culture Test හරහා ද මෙය හඳුනාගත හැකිය. මෙලෙස පරීක්ෂණ හරහා තහවුරු කරගත් පසුව ප්‍රතිකාර සිදුකෙරෙන අතර සංකූලතා ඇති විට සහ සංකූලතා නොමැති විට සිදුකෙරෙන ප්‍රතිකාර ක්‍රමයන් දෙයාකාර වේ. ප්‍රතිකාර කිරීමේ දී සැම විට ම රෝගය වැලඳුණු පුද්ගලයාට පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ සහකරුවාට සහ සහකාරියට ද ප්‍රතිකාර කළ යුතු අතර නැතහොත් රෝගය නැවත නැවතත් ආසාදනයවීමේ ඉඩකඩ පවතී. මෙය ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන් ම සුව කළ හැකි වුව ද චර්යාමය වෙනස්කම් අනුව නැවත ඇතිවීමට හැකිය. එබැවින් යහපත් චර්යාවන්ට අනුගතවීම ඉතා වැදගත් වේ.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි
(ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන කොළඹ)

සටහන – පියුමිලා අරවින්දි