Health Guide

ක්ලැමිඩියාව (Chlamydia) ගැන දැනගන්න

සුභාශිනී වයස අවුරුදු 23ක තරුණියකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරමක් පිටිසර ගම්මානයක කුඩා කාලය ගත කළ ඇයට එතරම් මිහිරි ළමා කාලයක් නොවුණි. ඇයට වයස අවුරුදු 4 දී පමණ තම පියා අහිමි වූ අතර ඉන්පසු මව විසින් දෙවන විවාහයක් සිදුකරගන්නා ලදි. ඇගේ බාප්පා නිතර බීමත්ව සිටින පුද්ගලයෙකු වූ අතර ඉතා සුළු වරදක දී පවා ඔහු විසින් ලබාදෙන ලද දරුණු දඩුවම්වලින් පිඩාවට පත්වීමට සුභාශිනීට සිදු වූ අතර බාප්පාගේ කලහකාරී හැසිරීම් තුළින් ඇය ඉතා පීඩාවට පත්ව සිටියාය. දෙවන විවාහයෙන් වසර කිහිපයකින් පසුව ඇගේ මව නැවත වරක් දරුවෙකු බිහි කළාය. මෙම අතරවාරයේ දිනක් මව නිවසේ නොමැති අවස්ථාවක සුළු පියා බීමත්ව නිවසට පැමිණි අතර එදින කුඩා සුභාශිනී ඔහුගේ ගොදුරබවට පත්විය. සුභාශිනීට ඔහු විසින් සිදුකරන ලද ලිංගික අතවරයන් නිසා ඇය ඉතා කැළබීමට පත්ව උන් නමුත් මවට මේ පිළිබඳව සැල නොකරන ලෙස බාප්පාගෙන් එල්ල වූ මරණ තර්ජන නිසා ඇය ඒ සියල්ල රහසේ ඉවසා සිටියාය. එහෙත් දිගින් දිගට ම සුළු පියාගෙන් ලක්වන්නට සිදු වූ අතවරයන් තවදුරටත් දරාගත නොහැකි බැවින් දිනක් සුභාශිනී රහසේ නිවසින් පළා ගියාය. ඉන්පසු හඳුනන මිතුරියකගේ සහයෝගයෙන් ඇය බියගම කර්මාන්තශාලාවක රැකියාවක් ලද අතර එහි සේවයේ නියුතු කාලයේ දී හමුවූ ව්‍යාපාරිකයෙක් මාර්ගයෙන් සම්බාහන මධ්‍යස්ථානයක රැකියාවකට ප්‍රවිශ්ට විය. එහිදී සම්බාහනයට අමතරව සේවාදායකයන්ගේ ලිංගික අවශ්‍යතාවන් සපුරාලීමට ද ඇයට සිදු වූ අතර ලද ඉහළ වැටුප නිසා මුල් කාලයේ දී රැකියාවට නිමග්නවීමට කැමැත්තක් ඇති වුව ද පසුකාලීනව රැකියාවේ අතෘප්තිය නිසා ම ඇය වසර කිහිපයකින් රැකියාවෙන් ඉවත් වූවාය. ඉන්පසු ඇය පදිංචිව සිටි ප්‍රදේහයෙහි ම වෘත්තියෙන් හමුදා සෙබළෙකු වූ නිමන්ත සහ ඇය විවාහ වූ අතර නිමන්තගේ පවුලේ වූයේ නිමන්තත් ඔහුගේ අසනීප වූ මවත් පමණි. විවාහවී කලක් ගත වුව ද දරුවන් පිළිසිඳ නොගැනීම හේතුවෙන් නිමන්තගේ මවගෙන් චෝදනා එල්ලවන්නට පටන්ගත් අතර එම දොස් හමුවේ සුභා ද කම්පාවට පත්ව සිටියාය. මෙම අතරවාරයේ දී සුභාගේ යොනි මාර්ගයෙන් නිතර යම්කිසි ශ්‍රාවයක් පිටවනු දක්තට ලැබුණු අතර උණ හෝ යටි බඩෙහි වේදනාවක් නොවුණත් සුභා බියෙන් පසු වූයේ ඇගේ අඳුරු අතීතයේ සිදුවීම් හේතුවෙන් ඇයට මෙවැනි තත්ත්වයන් උද්ගත වුණි ද යන්න පිළිබඳවයි.

මෙම තත්ත්වයන්ට නිවැරදි විසඳුමක් ලබාගැනිමේ අරමුණින් සුභා තම සැමියා ද කැටුව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනහි සායනය වෙත යොමුවූ අතර එහිදී ඇයව පරීක්ෂා කර ඇයට ගොනෝරියා නොවන (NGC) තත්ත්වය සඳහා ලබාදෙන ප්‍රතිකරෙ ලබාදුන් අතර ඇගේ සැමියාට ද අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධයන් ලබාදුන්නේය.

ක්ලැමිඩියාව (Chlamydia)

මෙම රෝගය ඇතිවන්නේ chlamydia trachomatis නම් වූ බැක්ටීරියාව මගිනි. මෙය සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන්නේ ලිංගික සබදතා මගිනි. එනම් නිදර්ශන ලෙස මෙම බැක්ටීරියාව මුඛ ලිංගික සබඳතාවකින් සම්ප්‍රේෂණය වුවහොත් උගුරේ ආසාදනයන් ඇතිවිය හැකි අතර යෝනි ලිංගික සබඳතාවක් හරහා සම්ප්‍රේෂණය වුවහොත් යොනි මාර්ගය ආශ්‍රිතවත්, ගුද සබඳතාවකින් සම්ප්‍රේෂණය වුවහොත් ගුද මාර්ගය ආශ්‍රිතවත් ආසාදනය විය හැකිය. ඊට අමතරව මෙම රෝගය මවගෙන් දරුවාට බෝවීමේ හැකියාක් පවතින අතර එය දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ දී ක්ලැමිඩියා බැක්ටීරියාව සහිත ඕජස දරුවාගේ දෑස්වල තැවරී පෙනීමෙහි ගැටලු ඇතිවීමටත්, එය දරුවාගේ ශ්වසන පද්ධතිය බලපෑම හේතුවෙන් නිව්මෝනියාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු තත්ත්වයන් ද මේ හරහා ඇතිවිය හැකිය. මෙය රුධිරය හරහා සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.

රෝග ලක්ෂණ

මෙම විසබීජය ශරීරගත වූ විට දක්නට ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයකි. ඒ අනුව මෙහි දැකිය හැකි මූලික ම රෝග ලක්ෂණය වන්නේ ශ්‍රාවයක් නිකුත්වීමයි. එනම් පුරුෂයෙකුගේ මුත්‍රා ප්‍රදේශයෙන් ද කාන්තාවකගේ නම් යෝනි ප්‍රදේශයෙන් ද ශ්‍රාවයක් නිකුත් වනු ඇත. මෙහිදී සඳහන් කරනුයේ සාමාන්‍ය ඇතැම් කාන්තාවන්ට පවතින සුද යෑම වැනි තත්ත්වයක් පිළිබඳ නොවන අතර ක්ලැමිඩියා තත්ත්වයක දී පිටවන ශ්‍රාවය සමග රුධිරය පිටවීමක් හෝ යටිබඩ වේදනාවක් ද බොහෝවිට ඇතිවිය හැකිය. එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් කාන්තාවගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවක් ඇතිවිය හැකිය. පිරිමි පුද්ගලයෙකුට මෙම බැක්ටීරියාව ආසාදනය වූ විට මුත්‍රා මාර්ගයේ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවිය හැකි අතර නැතහොත් මුත්‍රා මාර්ගයෙන් වතුර වගේ දියරයක් පිටවීමක් රෝග ලක්ෂණ ලෙස දැකිය හැකිය. එමෙන්ම මෙම විසබීජය අභ්‍යන්තරයට ම ගමන් කිරීම හරහා පුරුෂයන්ගේ වෘෂණ කෝෂවලට ද ආසාදනය විය හැකිය. තව ද කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ගේ ද ඇස්වල මෙය තැවරීම මගින් ඇස් ආශ්‍රිතව ද යම් ආසාදන තත්ත්වයක් ඇතිවිය හැකිය. ඉතාම කලාතුරකින් මෙම රෝගය නිසා පුද්ගලයෙකුට තදබල ලෙස යම් බලපෑමක් ඇතිවිය හැකි අතර එහිදී පසුකාලීනව මෙම රෝගයේ බලපෑමෙන් හන්දි රෝගයන් ඇතිවිය හැකිය. මෙම රෝගය නිසා ඇතිවන සංකූලතා තරමක් දරුණු වන අතර නිසි ලෙස ප්‍රතිකාරයන් කළහොත් මෙම තත්ත්වය සම්පුර්ණයෙන් ම සුව කරගත හැකිය. මෙම රෝගයේ දී ඇතැම් විට රෝගය ආසාදනයවී ඇති සෑම රෝගියෙකු තුළ ම ඉහත සඳහන් කළ රෝග ලක්ෂණයන් දක්නට නොලැබිය හැකිය. නිදසුන් ලෙස කාන්තාවගේ මෙම රෝගය ගැබ් ගෙලෙහි ආසාදනය වූ විට එය හදුනාගත හැක්කේ එම ශ්‍රාවයන් යෝනි මාර්ගය ඔස්සේ පිටතට ගලා ආ පසුවයි. එසේ නොවුණහොත් මෙම රෝගි තත්ත්වය හදුනාගත නොහැකි අතර තමන්ට ද නොදැනී එම රෝගය ශරීරය තුළ පැවතිය හැකියි. පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් මෙම රෝගය පිළිබඳ රෝග ලක්ෂන පෙන්වීම ඉතා අඩු ය.

මෙම රෝගය නිසා ඇතිවිය හැකි සංකුලතා පිළිබඳ සඳහන් කිරීමේ දී පුරුෂයන්ගේ වෘෂණ කෝෂවලට මෙම රෝගය බලපෑම හේතුවෙන් වඳභාවය ඇතිවිය හැකි අතර කාන්තාවන්ට ද වඳභාවය ඇතිවීම කෙරෙහි මේ හරහා බලපෑමක් එල්ලවිය හැකිය. තව ද මෙම රෝගයෙහි සංකූලතාවක් ලෙස කාන්තාවන්ට දීර්ඝ කාලීනව උදරාබාධයක් ඇතිවිය හැකි අතර පැලෝපීය නාළය ආශ්‍රිතව දරු පිළිසිඳ ගැනීම් ද (Ectopic pregnancy) ඇතිවිය හැකිය.

ක්ලැමිඩියාව සඳහා ඇති ප්‍රතිකාරයන්

රෝගය ඉක්මනින් ම හදුනාගනිමින් නිවැරදි ප්‍රතිකාරයන් නිසි පරිදි සිදුකිරීම හරහා මෙම රෝගය සම්පූර්ණයෙන් ම සුව කළ හැකිය. මේ සඳහා ප්‍රතිජීවක ඖෂධ දින 7ක් වැනි කාලයක් ලබාදීම සිදුකෙරෙන අතර අයහපත් ලිංගික චර්යා ඔස්සේ නැවත් වරක් මෙම රෝගය ඇතිවීමෙහි සම්භාවිතාවක් ඇති අතර මෙම රෝගය නැවත නැවත ආසාදනයවීම හරහා වඳභාවයට පත්වීමට හැකිය. එබැවින් හැකිතාක් තම චර්යාවන් පිළිබඳ වගකීමෙන් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් ය. මෙම රෝගය රුධිර පරීක්ෂනයක් හරහා හදුනාගත නොහැකි අතර ඒ සඳහා සැරව ලබාගෙන පරීක්ෂා කළ යුතුය.

මෙම රෝගය වළක්වාගැනීම සඳහා තම ලිංගික චර්යාවන් පිළිබඳ වගකීම්සහගතව කටයුතු කිරීම මෙන්ම ලිංගික සබදතා පැවැත්වීමේ දී ආරක්ෂාකාරී ක්‍රමවේදයන් (කොණ්ඩම් භාවිතය) අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි
(ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන – කොළඹ)

සටහන – පියුමිලා අරවින්දි