Health

ලිංගික ඉන්නන් ඇතිවන්නේ කෙසේද?

ජයනි අවුරුදු 40ක පමණ දෙදරු මවකි. ජීවන අරගලය සඳහා තම සැමියාට සහායවීමේ අරමුණින් කාර්යාලයක සේවයේ නියුක්තව සිටි ඇය තම පුංචි කැදැල්ලේ එදිනෙදා යුතුකම් කටයුතු නොපිරිහෙලා ඉටු කළ ආදරණීය මවක් මෙන්ම සෙනෙහෙබර බිරිදක් ද විය. කාර්යබහුලත්වය මධ්‍යයේ වුව ද ජයනි තම ජීවිතය ඉතා සැහැල්ලුවෙන් සහ ප්‍රීතියෙන් ගත කරමින් සිටියේ තම කැදැල්ලේ උතුරා ගිය ස්නේහය නිසාය.

එහෙත් එක් දිනක් ජයනිට තම රහස් ප්‍රදේශයෙහි යම් ගැටිත්තක් ඇතිවීමක් වැනි රෝගී තත්ත්වයක් දක්නට ලැබුණු අතර ඇය ඒ පිළිබඳ තම සැමියා සමග සාකච්ඡා කළ අතර යම් ප්‍රතිකාරයක් ලබාගැනීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට තීරණය කළාය. එහිදී ඇයව පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරයාගේ නිගමනය වූවේ ඇයට ලිංගික ඉන්නන් සම්ප්‍රේෂණය වී ඇති බවයි. මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයක් බවත් සමට සම ස්පර්ශවීම හරහා එය වැලඳිය හැකි බවත් වෛද්‍යවරයා තවදුරටත් පැහැදිලි කරන්නට විය. කිසිවිටක තම සැමියාගෙන් පරිභාහිර ඇසුරක් පවත්වා නැති ජයනි වෛද්‍යවරයාගේ එම ප්‍රකාශය සමග තිගැස්මට පත් වූවේ තම සැමියා තුළ හෝ රෝග ලක්ෂණ දක්නට නොමැති මෙවැනි රෝගයක් තමාට වැලඳුනේ කෙසේද යන්න පිළිබඳවයි. එහෙත් වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කළ කරුණු හරහා ඇයගේ එම තිගැස්ම යම් දුරකට පහව යන්නට වූ අතර එතැන් සිට ඇගේ සිත තුළ මහත් කුතුහලයක් සහ සංවේගයක් ඉතිරි වන්නට විය. එනම් මෙම රෝගය වැලඳුණු සෑම පුද්ගලයෙකු තුළ ම මෙම රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව වෛද්‍යවරයා අවධාරණය කිරීමත් සමග මෙම රෝග ලක්ෂණ තම සැමියා තුළ දක්නට නැතත් ඔහුට මෙම රෝගය වැලඳී ඇති බවත්, තම සැමියාගෙන් තමාට සම්ප්‍රේෂණය වන්නට ඇති බවත් සිතමින් ඇය සිතේ ඇති වූ තිගැස්ම සන්සිදවාගත්තත් එතැන් සිට ඇගේ සිත පීඩාවට පත් වූවේ තම සැමියා වෙත මෙම රෝගය සම්ප්‍රේෂණය වූයේ කෙසේද යන්න පිළිබදව සිතමිනි.

පවුල පිළිබඳව දැක්වූ අසිමිත ප්‍රේමය නිසාම මෙම කරුණ පිළිබඳව නොවිමසා දරා සිටින්නට ඇය ඉටාගත්ත ද දිනෙන් දින තමා මානසික වශයෙන් විඳින පීඩනය දරාගැනීමට අසීරුවත් ම මේ පිළිබඳව තම සැමියාගෙන් විමසා සිත නිදහස් කර ගැනීමට අවසන ඇය තීරණය කළාය. ජයනි විසින් විමසූ කරුණු පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසුවේ ඇය සමග විවාහවීමට පෙර තුරුණු වියේ දී පැවති ප්‍රේම සබදතාවක දී ඔහු වෙනත් තරුණියක සමග එවැනි ඇසුරක් පැවත්වූ බවත්, ජයනි සමග විවාහ දිවියට එළැඹි පසු කිසිදු විටක දී ඇයට එරෙහි නොවූ බවත් ය. එමෙන්ම මෙතෙක් එවැනි රෝග ලක්ෂණයක් තමා කෙරෙන් පහල නොවූ බැවින් වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳ පැහැදිලි කරන තුරු ඔහුට එවැනි රෝගයක් වැලඳී ඇති බවක් තමා නොදැන සිටි බව මෙන්ම, දුර දිග නොබලා තුරුණු වියේ සිදුකළ ක්‍රියාවන්ගේ ඇති බැරැරුම්කම සහ අවදානම දැන් ඔහුට හොඳින් වැටහෙන බවත්, ඒ පිළිබඳව බොහෝ කනගාටු වන බවත් ඔහු තවදුරටත් පැවසුවේය. තම කැදැල්ලටත්, දරුවන්ටත් අපරිමිතව ආදරය කළ ජයනි මෙවැනි ගැටලුවක් හේතු කරගනිමින් තම පුංචි පවුල කැඩී බිඳී යාමට ඉඩ නොතැබිය යුතු බවත්, තම දරුවන්ට දෙමාපිය රැකවරණය අහිමි නොකළ යුතු බවත් සිහිපත් කරමින් තම සැමියාගේ අතීත හෙළිදරව්වට සමාව ලබාදීමට තීරණය කළ අතර වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාරයන්ට යොමුවන්නට විය. ඒ අනුව ඉන්නන් පුලුස්සා දැමූ අතර බාහිරින් ඉන්නන් දක්නට නැතත් මෙය යම් කාලයක් තවදුරටත් මෙහිම පැවතිය හැකි බවත්, එවැනි අවස්ථාවක දී රෝගියාගෙන් වෙනත් අයෙකුට මෙම රෝගය බෝවීමට මෙන්ම රෝගීයා තුළ ම නැවත වරක් හට ගැනීමට අවකාශය පවතින බැවින් එය පිළිබඳ විමසිලිමත්ව පසුවන ලෙස ද වෛද්‍යවරුන් විසින් ජයනි වෙත උපදෙස් ලබාදුණි.

ලිංගික ඉන්නන් ඇතිවීම

ලිංගික ඉන්නන් ඇතිවීම වෛරස් මගින් බෝ වන රෝගයක් වන අතර මෙයට හේතු කාරක වනුයේ Human papillomavirus (HPV) වෛරසයයි. මෙම වෛරසයේ ප්‍රභේද රැසක් දක්නට ලැබෙන අතර මෙම රෝගය ඇතිවීම කෙරෙහි බහුල වශයෙන් හේතුවන වෛරසයන් ප්‍රභේදයන් ලෙස සලකනුයේ HPV 6, 11 සහ HPV 16, 18 යන වෛරස ප්‍රභේදයන් ය. ලිංගික ඉන්නන් ලිංගික සබඳතාවක් හරහා සමට සම ගැටීමෙන් බෝවන රෝගයකි. එබැවින් ශරීරයේ වෙනත් තැනක ඇති ඉන්නන් නිසා ලිංගික ඉන්නන් බෝවිය නොහැකිය. මෙම වෛරසය ශරීරයට ඇතුළු වූ පසු ශරීරයේ මතුපිට ජීවත් වේ. ලිංගික ඉන්නන් ඇතිවීම නම් වූ මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙන්නේ ගෝවා මලක් ආකාරයෙන් සමෙන් ඉහළට මතුවන කුඩා ගැටිත්තක් වැනි ඉන්නන් වන අතර එම රෝග ලක්ෂණයන් ද මෙය වැලඳුණු සෑම පුද්ගලයෙකු තුළින් ම දක්නට නොලැබේ. එමෙන්ම ඇතැම් විට මෙම රෝගය ශරීරගතවී බොහෝ කලකට පසු වුව ද රෝග ලක්ෂණ මතුවිය හැකිය. මෙම රෝගය රුධිර පරීක්ෂණයක් හරහා හඳුනාගත නොහැකි අතර වෛද්‍යවරයා විසින් රෝග ලකෂණ පරීක්ෂා කිරීම ඔස්සේ හඳුනාගත යුතුය. දියවැඩියාව, ්‍යෂඪ වැනි රෝග නිසා ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයෙකුට හෝ දුම්වැටි පානය වැනි ක්‍රියාවන් හේතුවෙන් ප්‍රතිශක්තිය අඩු වූ පුද්ගලයෙකුට මෙම රෝගය වැලඳුණහොත් මෙම රෝගය වේගයෙන් පැතිර යාමේ වැඩි ඉඩක් පවතී.

මෙම වෛරසයේ පවතින වඩාත් අවදානම් තත්ත්වය වන්නේ මෙය ගැබ් ගෙල පිළිකා ඇතිවීමෙහිලා හේතුකාරකවීමයි. ශ්‍රී ලංකාවේ දෙවනුවට කාන්තාවන්ට වැඩීම පිළිකා වර්ගය වන්නේ ගැබ් ගෙල පිළිකා ය. ඊට හේතු වන්නේ ඉහත දී සඳහන් කරන ලද Human papilloma virus (HPV) වෛරසයෙහි ම 16, 18 යන ප්‍රභේදයන් ය. එබැවින් අප සැමවිට ම ලිංගික ඉන්නන් ඇතිවීමේ රෝගි තත්ත්වයට පත් වූ රෝගීන් Pap පරීක්ෂාවට ලක් කිරීමට යොමු කරනු ඇත. සාමාන්‍යයෙන් Human papilloma virus (HPV) වෛරසය ශරීරයට ඇතළු වූ විට එය පිළිකාවක් බවට පත්වීමට අවුරුදු 15 – 20ක් පමණ ගත වේ. එම නිසා Pap පරීක්ෂාව හරහා යම් පිළිකා අවදානමක් ඇත්නම් එය කලින් හඳුනාගෙන රෝගය උත්සන්නවීමට පෙර එය වළක්වාගැනීම සඳහා යොමුවිය යුතු ප්‍රතිකාරයන්ට යොමු කිරීමට අවස්ථාව උදාකර ගත හැකිය. ගැබ් ගෙල පිළිකාවට අමතරව මෙම වෛරසය මගින් ගුද මාර්ගය ආශ්‍රිතව මෙන්ම කාන්තා සහ පුරුෂ ලිංගාශ්‍රිතව ද පිළිකා ඇතිකරවීමේ ප්‍රවණතාවක් ඇත.

වර්තමානය වන විට මෙම වෛරසයට විරුද්ධව එන්නතක් හඳුනාගෙන ඇති අතර එම එන්නත ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් මෙහෙයවන සෞඛ්‍ය වැඩසටහන් හරහා පාසල් දරුවන්ට ලබාදීමට කටයුතු කරනු ඇත. එම එන්නත වෛරස් ප්‍රභේද 4ට පමණක් නිපදවා ඇති අතර මෙම එන්නත හරහා අනාගනයේ දී යම්කිසි ආසාදනයකට ලක්වීම කෙරෙහි ඇති අවදානම වළකනු ඇත.
ලිංගික ඉන්නන් සඳහා ඇති ප්‍රතිකාරය වන්නේ ද, ශරීරයේ අනෙකුත් ඉන්නන්ට සිදුකරන ප්‍රතිකාරයන් සේ ම පුලුස්සා දැමිමයි. ඒ සඳහා ඇසිඩ් හෝ Liquid nitrogen වැනි ද්‍රවයක් යොදාගැනේ. එලෙස ප්‍රතිකාර සිදු කිරීමෙන් පසුව වුව ද බාහිරින් ඉන්නන් දක්නට නොලැබුණත් මෙම වෛරසය යම් කාලයක් තවදුරටත් ශරීරයේ පැවතිය හැකි අතර ඒ හරහා යළිත් වරක් තමාට ම හෝ වෙනත් පුද්ගලයෙකුට හෝ මෙම රෝගය සම්ප්‍රේෂණයවීමට ඉඩ කඩ ඇත. එමෙන්ම ආරක්ෂිත කොපුවක් වැනි ක්‍රමවේදයක් යොදාගැනීම හරහා මෙම රෝගය වැලඳීමේ අවදානම පිළිබඳ යම් පමණක ආරක්ෂාවක් ඇති අතර තම සබඳතාවන් එක් සහකරුවෙකුට පමණක් සීමා නොවන අවස්ථාවක දී ආරක්ෂක ක්‍රමවේදයක් යොදාගැනීම වැදගත් වුව ද සෑමවිට ම විශ්වාසනීය එක් සහකරුවෙකුට පමණක් ඔබේ සබඳතා සීමා කළ හැකි නම් එය තම සෞඛ්‍යයට වඩාත් හිතකර මෙන්ම මෙවැනි රෝගයන්ට ගොදුරු නොවී සිටීමට උපකාරී වනු ඇත.
ගර්භණි අවධියේ දී ශරීර ප්‍රතිශක්තිය අඩු බැවින් මවට මෙම ලිංගික ඉන්නන් වැලඳීම වැනි රෝගයක් ඇත්නම් එය වැඩි විය හැකිය. ඉන් දරුවාට හානියක් සිදු නොවුණ ද දරු ප්‍රසුතියේ දී යම් ගැටලුවක් ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරුන්ට වෙනත් විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සිදුවනු ඇත.

ඔබ ඔබේ සබඳතා පිළිබඳ වගකීම්සහගත වන්නේ නම් මෙවැනි රෝගයන්ගෙන් ආරක්ෂාවීමට හැකියාව ලැබෙනු ඇත. එබැවින් සැමවිට ම තම සබඳතා විශ්වාසනීය එක් සහකරුවෙකුට පමණක් සීමා කිරීම කෙරෙහි, මෙන්ම වගකීම්සහගතව කටයුතු කිරීම කෙරෙහි ද ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ නම් වඩාත් යහපත් ය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි
(ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන – කොළඹ)

සටහන – පියුමිලා අරවින්දි