Health Guide

Trichomoniasis ගැන දැනුවත් වෙන්න

රමණී 29 වියැති යුවතියකි. සම්භාහන මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි ඇයට පසුගිය දිනක පොලීසිය විසින් සිදු කළ වැටලීමක දී නීතියේ රැහැනට හසුවන්නට සිදු වූයේ එම සම්භාහන මධ්‍යස්ථානය නියමිත ක්‍රමවේදයෙන් බැහැරව නීති විරෝධි ලෙස පවත්වාගෙන යාමේ චෝදනාව මත ය. එහිදී එම සම්භාහන මධ්‍යස්ථානයේ සේවය කළ සේවකයන් වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කළ අතර ඒ හරහා රමණීට Trichomoniasis නම් වූ ලිංගාශ්‍රිත රෝගය වැලඳී ඇති බව ද අනාවරණය විය. තම රහස් ප්‍රදේශය ආශ්‍රිතව සුද යාම වැනි තත්ත්වයක් මෙන්ම ඇතැම් විට තරමක් අප්‍රසන්න දුගඳක් සහිත කොළ පැහැයට හුරු ආකාරයෙන් සුද යාම වැනි තත්තවයක් සහ ඇතැම් විට මුත්‍රා ආසාදන තත්ත්වයක් ද දක්නට ලැබුණ ද මෙවැනි රෝගයක් තමාට වැලඳී ඇති බව රමණී නොදැන සිටි බව වෛද්‍යවරයා වෙත ඇය පැවසීය.

මෙවැනි වෘත්තියක් තෝරාගැනීමට හේතු විමසූ විට ඈ ඇගේ අතීත ජීවිත කතාව පැවසූ අතර තම කුටුම්භය රැකගැනීම වෙනුවෙන් මෙම වෘත්තිය තෝරාගැනීමට සිදුවූ අයුරු විස්තර කළාය.

“අපේ පවුලේ ඔක්කොම සාමාජිකයන් පස්දෙනෙක් හිටියා. වැඩිමහල් සොයුරන් දෙදෙනා සහ අම්මා අප්පච්චි සමග අපේ ජීවිතේ ලස්සනට ගලාගෙන ගියා. ඒත් එක්වර ම අප්පච්චි නැති වුණත් එක්ක ම අපේ ජීවිත ඔක්කොම කණපිට හැරුණා. ඔය අතරෙ අපේ අයියගේ යාළුවෝ කිහිපදෙනෙක් ම අපේ ගෙදර නිතර පැමිණි අතර රෝහිත අයියා මා සමග දැක්වූ සමීප මිත්‍රත්වය නිසා ම මා ඔහු කෙරෙහි ඉතා ඉක්මනින් ම ප්‍රේමයෙන් බැඳී ගියා. මට අවුරුදු 14 පමණ වන විට මා ඔහු සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළ අතර ඊට ගෙදර සාමාජීකයන්ගෙන් ඇතිවූ දැඩි විරෝධතාව නිසා ම වයස 16 දී පමණ නිවැසියන්ට රහසෙන් ඔහු සමග පළා යාමට සිදු වුණා. නීතියෙන් ලියාපදිංචි නොකළ ද අප එතැන් සිට විවාහපත් යුවලක් සේ එක් වහලක් යට කල් ගත කළ අතර නිසි වයස පැමිණි පසු විවාහය ලියාපදිංචිය සිදු කළා. රෝහිත ඒ වන විටත් ගොඩක් වෙනස් වෙලා තිබුණා. අපට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. රෝහිත බීමට ඇබ්බැහි වෙලා දිගට ම රණ්ඩු කරන්න පටන් ගත්තා. ඒත් දරුවන් වෙනුවෙන් මං ඉවසගෙන සිටියා.

එහෙත් වැඩි කල් නොගොස් ම අධික ලෙස මත්පැන් පානය නිසා ම රෝහිත වකුගඩු රෝගයකින් මිය ගිය අතර දරුවන් තිදෙනෙකු සමග මා තනි වුණා. එක් අතකින් වේදනාවෙන් පිරුණු යුග ජීවිතයේ මතක සහ රෝහිතගේ හදිසි වියෝව නිසා මගේ හදවත හඬාවැටෙද් දී අනෙක් පසින් දරුවන් තිදෙනෙකුගේ කුස පිරවීම සහ දරුවන් උස්මහත් කිරීම කියන වගකීම් රාශියකින් මං හෙම්බත් වුණා. ගාමන්ට් රස්සාවකට ගියත් ජීවිත 4ක් ගැටගහගන්න තරම් වැටුපක් එයින් ලැබුණෙ නෑ. අවසානයේ මං මේ ක්‍රමය තෝරාගත්තා. ඒක වැරදි තීරණයක් වුණත් මට වෙන විකල්පයක් තිබුණේ නෑ.

මං හිතන්නෙ මගේ කතාව තව කාට ම හරි මේ වගේ වැරදී තීරණයකට නොඑළඹීට හොද පාඩමක් වෙයි. හැගීම්වලට වහල් වෙලා තීරණ අරන් ජීවිතේ මේ වගේ අවදානම් තත්ත්වයකට පත් කරගෙන පසුතැවෙන්නට කලින් බුද්ධිමත්ව යළි වරක් කල්පනා කරන්න.”

අප රට තුළ කලාතුරකින් දක්නට ලැබෙන මෙම ලිංගාශ්‍රිත බෝවන රෝගය පරපෝෂිතයන් හරහා ශරීර ගත වන රෝගයක් වන අතර නිවැරදිව ඖෂධ ලබාගැනීම මගින් සම්පූර්ණයෙන් ම සුව කළ හැකිය. මෙම රෝගයේ රෝග ලක්ෂණ පුරුෂ පාර්ශ්වයට සාපේක්ෂව වැඩිපුර කාන්තා පාර්ශ්වය තුළින් දැකිය හැකි අතර එහි රෝග ලක්ෂණ වන්නේ ඉහත සඳහන් කළ පරීදි ම යෝනි මැර්ගය ආශ්‍රිතව අප්‍රසන්න දුගඳක් සහිතව කැසීමක් ඇතිවීම මෙන්ම කොළ පැහැයට හුරු පැහැයකින් සුද යාම වැනි තත්ත්වයක් ඇතිවීම සහ මුත්‍රා ආසාදනයක් ඇතිවීමයි. පුරුෂ පාර්ශ්වයට මෙම රෝගය ආසාදනය වූ විට රෝග ලක්ෂණ පහළ වනුයේ ඉතා සුළු වශයෙනි. එලෙස දක්නට ලැබෙන රෝග ලක්ෂණ වන්නේ මුත්‍රා මාර්ගයේ සැරව ආසාදනයවීම මෙන්ම මුත්‍රා දැවිල්ලක් හට ගැනීමයි. එමෙන්ම පුරුෂ පාර්ශ්වයට මෙමගින් ඇතිවිය හැකි සංකූලතා ලෙස වෘෂණ කෝෂවලට බලපෑමක් ඇතිවීම සහ පුරස්ථි ග්‍රන්ථිවල ආසාදන ඇතිවීම වැනි තත්ත්වයන් සඳහන් කළ හැකිය. මෙම රෝගය සායන හරහා සිදු කරනු ලබන සරල පරීක්ෂණය තුළින් හඳුනාගත හැකි අතර රෝගය නැවත නැවත ඇතිවීම වළක්වාගැනීම සඳහා ඖෂධ ලබාදීමේ දී රෝගයට ගොදුරු වූ පාර්ශ්වයට මෙන්ම ඔහුගේ හෝ ඇයගේ සහකරුවාට ද ප්‍රතිකාර කිරීමට කටයුතු කරනු ලබයි. අනෙකුත් ලිංගාශ්‍රිත රෝගවලට සාපේක්ෂව මේ හරහා ඇතිවන සංකූලතා ඉතා අවම වුව ද ඇතැම් විට ගර්භණී මවකට මෙම රෝගය වැලඳීම හේතුවෙන් නොමේරූ දරු උපත් ඇතිවීම, අඩු බර උපත ඇතිවීම හා යටි බඩ වේදනා ඇතිවීම වැනි සංකූලතාවන් ඇතිවිය හැකිය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි
(ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන – කොළඹ)

සටහන – පියුමිලා අරවින්දි