Health Guide

කැන්ඩිඩා දිලීර රෝගය (Candida Fungus) ගැන දැනගන්න

ශ්‍යාමලී දරුවන් දෙදෙනෙකු සිටින මවකි. ඇය සිය සැමියාගේත් දරුවන්ගේත් වැඩ කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ තැනැත්තියක් විය. එහෙත් ඇගේ එම සුවබර ප්‍රීතිමත් ජීවිතය එක්වර ම වෙනස් දිශානතියකට ඇදවැටුණේ හදිසියේ ම ඇති වූ රෝගී තත්ත්වයකිනි. දිනක් ඇයට තම යෝනි මාර්ගයෙහි වෙනදාට වඩා යම් තෙත් ස්වභාවයක් සහ කැසීම් ස්වභාවයක් දක්නට වූ අතර එය යම්කිසි සුළු ආසාත්මිකතාවක් යැයි සිතමින් ඇය මඳ උණුසුම් ජලයෙන් සබන් ගා පිරිසිදු කර ගත් අතර සති කිහිපයක් පුරා ම මෙම තත්ත්වය දිගින් දිගට ම හේතුවෙන් අවසානයේ දී පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන්නට විය. එහිදී රෝග ලක්ෂණ පිළිබඳ අවධානය යොමුකළ වෛද්‍යවරයා ඇයව ලිංගාශ්‍රිත සායනයට යොමු කළ යුතු බව සඳහන් කරමින් ලිපියක් හරහා ඇයව ඒ වෙත යොමු කළේය. වෛද්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමග ඇය මානසික වශයෙන් දැඩි ලෙස කම්පාවට පත්වූ අතර හොඳ යහපත් ජීවිතයක් ගතකරමින් සිටි තමාට එවැනි රෝගයක් වැලඳුනේ කෙසේද යන්න පිළිබඳව කලබලයට පත්වූවාය. මන්දයත් අප සමාජය තුළ ලිංගාශ්‍රිත රෝග සායනය පිළිබඳව ගොඩනැගී ඇති බහුතර මතය වන්නේ එය හුදෙක් දුරාචාරයේ හැසිරුණු සමාජ විරෝධි ක්‍රියාවන්හි නිමග්නව සිටි පුද්ගලයන් වෙනුවෙන් ප්‍රතිකාර කරන සායනයක් ලෙසයි. එහෙත් එය සම්පූර්ණ දුර්මතයකි. ලිංගික ප්‍රදේශයේ ඇතිවන සෑම රෝගයක් ම ලිංගාශ්‍රිත රෝගයක් නොවේ. එමෙන්ම එය අනවශ්‍ය ලෙස භීතිය උපදවාගත යුතු කරුණක් නොවන අතර මෙවැනි වැරදි මතයන් සමාජය තුළ නිවැරදි කළ හැකි නම් ඉන් කායිකව පීඩාවට පත් රෝගීන් මානසිකව ද කම්පාවට පත්වීම හෝ අපට වළක්වාගත හැකි වනු ඇත. එක්වර ම තමාට ඇතිවී තිබෙන රෝගී තත්ත්වය හේතුවෙන් මානසිකව කම්පාවට පත්ව සිටි ශ්‍යාමලී පසු දින ලිංගාශ්‍රිත රෝග සායනය වෙත ගමන් කළේ ද තමාට කුමන අන්දමේ කටුක අත්දැකීමකට මුහුණදීමට සිදුවේදැයි යන්න පිළිබඳ බියෙන් සහ කුතුහලයෙනි. එහෙත් එම සායනය වෙත පිවිසුණු පසු එහි කාර්යමණ්ඩලයෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ලැබුණු කාරුණික සේවාව ඇගේ සිතේ හටගෙන තිබූ බිය දියකර හරින ලදි. එහිදී වෛද්‍ය පරීක්ෂණයට භාජනයවූ ශ්‍යාමලීට වෛද්‍යවරුන් විසින් ඇගේ රෝගී තත්ත්වය පිළිබඳ නිශ්චිත වශයෙන් ම නිර්ණය කර කරුණු පැහැදිලි කර දුන් අතර ඈ මානසික වශයෙන් එතෙක් පත්ව සිටි තැතිගැන්ම ඉන් පහව ගියේය. ඒ අනුව ඇයට වැලඳී ඇත්තේ ලිංගාශ්‍රිත රෝගයක් නොවන බවත්, එය දිලීර රෝගයක් බවත් වෛද්‍යවරුන් ඇයට පැහැදිලි කළ අතර එය ඇගේ ශරීරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා ඇතිවූ තත්තවයක් විය හැකි බැවින් ඒ සඳහා රුධීර පරීක්ෂාවක් කරගැනීම සඳහා ද ශ්‍යාමලීව යොමුකළ අතර ඇගේ රෝගී තත්තවය සුව කිරීම සඳහා ප්‍රතිකාර පවතින බව පිළිබඳවත් තවදුරටත් පැහැදිලි කරන ලදි. තම රෝගී තත්ත්වය සමග සැණින් ගිලිහී ගිය තම කැදැල්ලෙහි සතුට පිළිබඳ දැඩි සේ කණස්සල්ලෙන් පසුවෙමින් සිටි ශ්‍යාමලීට වෛද්‍යවරුන්ගේ මෙම පැහැදිලි කිරීම සැබවින් ම සහනදායි අස්වැසිල්ලක් විය.

කැන්ඩිඩා දිලීර රෝගය (Candida fungus) යනු?

මෙය දිලීර ආසාදනයක් හේතුවෙන් ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවිය හැකි රෝගී තත්ත්වයකි. මෙහි දී දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ මුදවපු කිරි වැනි ස්‍රාවයක් යෝනි මාර්ගය ආශ්‍රිතව පිටවීම (සුද යාම වැනි ස්වභාවයක්) සහ ලිංගාශ්‍රිත ප්‍රදේශය ආශ්‍රිතව කැසීම වැනි ආබාධයන් හටගැනිම ය. ඇතැම් විට මෙලෙස ඇතිවීම කැසීම් ස්වභාවය නිසා යෝනි මාර්ගය ආශ්‍රිතව තුවාල වුව හටගත හැකිය. එමෙන්ම රෝගියාගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ආශ්‍රිත සම මත පැලීම් ස්වභාවයක් (සම ඉරි තැලීම වැනි) වුව මෙම රෝගය නිසා ඇතිවිය හැකිය. කැන්ඩිඩා දිලීර රෝගය (Candida fungus) බහුල වශයෙන් ම කාන්තාවන්ට රෝග ලක්ෂණ පෙන්වන අතර ඉතා සුළු වශයෙන් පුරුෂයන්ට ද ඇති විය හැකිය. ඇත්තෙන්ම මෙම දිලීර රෝගය ලිංගාශ්‍රිත රෝගයක් සේ නොසලකන අතර කැන්ඩිඩා යනු කාන්තා යෝනි මාර්ගයෙහි පවතින දිලීර වර්ගයකි. සාමාන්‍යයෙන් ඉන් කිසිවෙකුට හානියක් ඇති නොකරන නමුත් ඇතැම් අවස්ථාවක දී මෙම දිලිරය වැඩී මෙවැනි රෝග ලක්ෂණ මතු කළ හැකිය. එලෙස රෝග ලක්ෂන ඇතිවීම කෙරෙහි හේතු වන කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය. එනම්, දියවැඩියාව වැනි රෝග තත්ත්වයක් ඇත්නම් එවිට ශරීර ප්‍රතිශක්තිය දුර්වල මට්ටමක පැවතීම නිසා මෙවැනි ආසාදන මතුවිය හැකිය. එමෙන්ම ළඟක දී වෙනත් රෝගයක් සඳහා හෝ ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම නිසා එම ප්‍රතිජීවක ඖෂධ තම ශරීරයට බලපෑම හේතුවෙන් ද මෙවැනි දිලීර ආසාදන වැඩි විය හැකිය. විශේෂයෙන් ම ගර්භණී සමයේ දී ස්වාභාවිකව ම මවගේ ප්‍රතිශක්තිය අඩුවීම නිසා ද මෙම රෝග ලක්ෂණ මතුවිය හැකි අතර තව ද, ලිංගාශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා යොදාගන්නා සේදුම්කාරකයන් නිසා ද, යට ඇදුම් තදට ඇදීම නිසා ද මෙම තත්ත්වය ඇතිවිය හැකිය. කලාතුරකින් ලිංගික සබඳතාවක දී කාන්තාවකගේ යෝනී මාර්ගයේ තිබෙන මෙම ආසාදනය පුරුෂයන්ට ද බලපෑ හැකි අතර එමගින් පුරුෂයන්ගේ ද රහස් ප්‍රදේශය ආශ්‍රිතව කැසීම් ස්වභාවයක් ඇතිවීම, බිබිලි මතුවීම වැනි ආසාදන තත්ත්වයන් උද්ගත විය හැකිය.

ලිංගාශ්‍රිත සායනයක දී රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්ෂා කර බලා අන්වීක්ෂයෙන් සිදුකරන පරීක්ෂණ හරහා දිලීර ආසාදනය නිශ්චිතව හඳුනාගැනෙන අතර ඉන් අනතුරුව රෝගියා ප්‍රතිකාර සඳහා යොමුකරනු ලබයි. ඖෂධ මගින් බොහෝ දුරට මෙම රෝගය පාලනය කරගත හැකි අතර මෙය ස්වභාවිකව අප ශරීරය තුළ ම ජීවත් වන දිලීරයක් නිසා මෙය නිට්ටානට සුව කිරීමක් පිළිබඳ අපට කතා කළ නොහැකිය.

ලිංගාශ්‍රිත රෝග සායනය පිළිබඳ සමාජයේ පවතින යල්පැන ගිය වැරදි මතයන් නිසා මෙවැනි ස්වාභාවික සාමාන්‍ය රෝග ලක්ෂණයකට ඇති වූවෙකු වුව ද දැඩි තැති ගැනීමකටත්, පීඩාවකටත් පත් වේ. වැරදි මතයන් සමාජය තුළ ව්‍යාප්ත කිරීම වෙනුවට එවැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වූවන් වෙනුවෙන් යහපත් ධනාත්මක ආකල්පයක් ගොඩනගමින් ඔවුනට අස්වැසිල්ලක් විය හැකි නම් එය ඔවුනට තවදුරටත් සැඟවී නොසිට නිසි ප්‍රතිකාරයන් යොමුවීමට මෙන් ම නොපැකිළව වෛද්‍ය උපදෙස් පැතීමට ඉදිරිපත්වීමට තරම් දිරියක් වනු නිසැක ය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි
(ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන – කොළඹ)

සටහන – පියුමිලා අරවින්දි