Health Guide

බැක්ටීරියල් වැගිනෝසිස් (Bacterial Vaginosis (BV)) ගැන දැනගන්න

චතුරි අවුරුදු 24ක අවිහාහක තරුණියකි. රැකියාවක නිරතව සිටි ඇය තරමක් කාර්යබහුල ජීවිතයක් ගත කළ ද නිරන්තරයෙන් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන යුවතියකි. එම අවධානය හේතුවෙන් ම ඇගේ යට ඇඳුමෙහි කහ පැහැයට හුරු යම්කිසි ද්‍රාවණයක් තැවරී ඇති බව දිනක් ඇයට දක්නට ලැබිණි. තමා මෙතෙක් කිසිඳු ලිංගික සම්බන්ධතාවකට සම්බන්ධ නොවූ නිසාත්, ඒ ආශ්‍රිත රෝගී තත්ත්වයකට ගොදුරුවීමට හේතු සාධකයක් නොමැතිවූ නිසාත්, එය තමාගේ පවිත්‍රතාව පිළිබඳ ගැටලුවක් ලෙස අනුමාන කළ ඇය තම පිරිසිදුකම පිළිබඳව තව දුරටත් සැලකිලිමත්වීමට වගබලාගත්තාය. එහෙත් ඉහත සඳහන් කළ ලක්ෂණයන් තවදුරටත් වර්ධනය වෙමින්, දුර්ගන්ධයක් ද සහිතව දක්නට ලැබුණු අතර චතුරි වෛද්‍ය උපදෙස් වෙත පැමිණියේ ඒ පිළිබඳව ඇතිවූ ව්‍යාකූලත්වය සඳහා ද නිසි පිළිතුරක් සහ ප්‍රතිකාරයක් ලබාගැනීමේ අරමුණිනි. වෛද්‍යවරයා විසින් ඇයව ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු කළ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණයෙන් සහ තොරතුරු විමසීමෙන් පසුව ඇයට වැලඳී ඇත්තේ බැක්ටීරියල් වැගිනෝසිස් (BV) යන රෝගී තත්ත්වය බව වෛද්‍යවරයා විසින් ඇයට අණාවරණය කරන ලදි. තව ද, එය ලිංගාශ්‍රිත රෝගයක් නොවන බවත් මෙම තත්ත්වය යෝනි මාර්ගයේ බැක්ටීරියාවල වෙනස්වීම නිසා ඇතිවන තත්ත්වයක් බවත් වැඩිදුරටත් වෛද්‍යවරයා විසින් ඇයට පහදා දුන් අතර ප්‍රතිජීවක ඖෂධ නිසි ආකාරව ලබාගැනීම හරහා රෝගය සුව කළ හැකි බව ද පැවසුවේය.

බැක්ටීරියල් වැගිනෝසිස් (Bacterial Vaginosis (BV)) යනු,

ඕනෑ ම කාන්තාවකගේ යෝනි මාර්ගයේ සුහදව ජීවත් වන බැක්ටීරියා වර්ග රාශියක් සිටියි. එම බැක්ටීරියා අතර Lactobacillus නම් බැක්ටීරියා වර්ගයක් සිටින අතර එමඟින් යොනි මාර්ගයේ PH අගය 4.5 වැනි ආම්ලික තත්ත්වයකින් පවත්වාගැනේ. යෝනි මාර්ගයේ එම හිතකර තත්ත්වය නොමැතිවූ විට අහිතකර බැක්ටීරියා වර්ධනයවී බැක්ටීරියල් වැගිනෝසිස් (Bacterial Vaginosis) තත්ත්වය ඇති වේ. එනම්, හිතකර බැක්ටීරියා විවිධ හේතුන් මත විනාශවූ පසුව මෙම තත්ත්වය උද්ගත විය හැකිය. එලෙස හිතකර බැක්ටීරියා විනාශවීමට බලපාන හේතු කිහිපයකි. අප විවිධ රෝගයන් සඳහා ප්‍රතිජීවක ලබාගන්නා අවස්ථා මෙන්ම, ලිංගික ප්‍රදේශය අභ්‍යන්තරය (යෝනි මාර්ගය ඇතුළත) සේදීම වැනි හේතු නිසා ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකිය. එමෙන්ම ලිංගික සබඳතා පවත්වන අයෙකු නම් පුරුෂ ශුක්‍ර ධාතු නිසා ද අභ්‍යන්තරයේ PH අගය වෙනස් විය හැකිය. තව ද, ඔසප් චක්‍රයේ දී බැහැර වන රුධිරයේ ද PH අගය ඉහළ වන අතර එම නිසා ද මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි අතර මෙවැනි අවස්ථාවක දී ඔසප් චක්‍රයේ කාලය අවසන්වී දින කිහිපයක් පමණ එවැනි ආසාදන තත්ත්වයන් ඇතිවී පසුව කළින් සාමාන්‍ය තත්ත්වයට පත් විය හැකිය.

මෙම බැක්ටීරියල් වැග්නෝසිස් තත්ත්වය ශ්‍රාවය පරීක්ෂා කර බැලීම හරහා හඳුනාගත හැකි අතර, බැක්ටීරියා හේතුවෙන් ඇති වන තත්ත්වයක් හෙයින් ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමෙන් පූර්ණ ලෙස සුව කළ හැකිය. මෙය ලිංගිකව බෝ වන හෝ බාහිරින් පැමිණෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා රෝගයක් නොවන නිසා ඕනෑ ම අවස්ථාවක යෝනි මාර්ගයේ සමතුලිතාව බිඳවැටීමෙන් නැවත නැවත ඇතිවිය හැකිය. මෙම රෝගය නිසා විවිධ සංකූලතා ඇති විය හැකිය. එනම් ගර්භණී කාන්තාවකට, මෙම තත්ත්වය ඇති වුවහොත් ඇතැම් විට නොමේරු දරු උපත් ඇති විය හැකි අතර දරුවාගේ බර අඩුවීමට ද හැකිය. එමෙන්ම මෙම විසබීජය අභ්‍යන්තර ලිංගික අවයවවලට බලපෑමෙන් යටි බඩ වේදනා තත්ත්වයක් ඇතිවීම වැනි සංකූලතාවයන් ද මෙමඟින් ඇති විය හැකිය.

මෙවැනි ආසාදන තත්ත්වයන් වළක්වාගැනීම සඳහා යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගැනීම ද ඉතා වැදගත් වේ. විශේෂයෙන් ම ඇතැම් කාන්තාවන් තම ලිංගික ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා විවිධ සේදුම්කාරක භාවිත කිරීමට පුරුදුව සිටින නමුත් එය එතරම් සුදුසු දෙයක් නොවේ. එසේ සේදීමට අවශ්‍ය ම නම් සැර අඩු සබන් වර්ගයක් යොදාගැනීමට කටයුතු කළ යුතු අතර, ලිංගික ප්‍රදේශය තෙත ස්වභාවයෙන් තොරව පවත්වාගැනීමට කටයුතු කළ යුත්තේ නැතහොත් තෙතමනයත් සමඟ දිලීර ආසාදන ඇතිවිය හැකි බැවිනි. තව ද ලිංගික ප්‍රදේශය බාහිරින් සේදීම විනා, අභ්‍යන්තරයට ජලය යොදමින් සේදීම ද සුදුසු නොවේ.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි
(ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන – කොළඹ)

සටහන – පියුමිලා අරවින්දි