Health Guide

HIV හෙවත් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය

ගයනාත් අවුරුදු 24ක තරුණයෙකි. ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ඔහු කොළඹ නගාරාසන්නයේ ම තාවකාලිකව පදිංචිවී සිටි අතර අනුරාධපුරය ඔහුගේ උපන් ගම විය. දිනක් ගයනාත් ඉතා කලබලකාරී ලෙස ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි සායනයට පැමිණෙන අතර එහිදී ඔහු වෛද්‍යවරයා හමුවේ ඔහුගේ ගැටලුවත් මෙතෙක් සිදුවූ සිදුවීම් සියල්ලත් අනාවරණය කළේය.

ගයනාත් සහ තම පවුලෙහි සාමාජිකයන් අතර එතරම් සමීප සබඳතාවක් කුඩා කල සිට ම නොතිබුණු අතර එම නිසා ම ඔහු තම මිත්‍රයන් සමග සමීප සබඳතා පවත්වා ඇත. ඔහු සමලිංගික ඇසුරට යොමුවී ඇත්තේ උසස් පෙළ කාලයේ සිටයි. ඔහු පවසන්නේ එකල දෙමාපියන් සමග සමීප සබඳතාවක් නොතිබීමත්, තම සිතැඟි පරිදි විවිධ දේ අත්හදා බැලීමට යාමත් නිසා ඔහු මෙම ඇසුරට යොමුවූ බවයි. ඔහු අවුරුදු 4ක පමණ කාලයක් පුරා මෙම සමලිංගික ඇසුරෙහි නිරතව සිට ඇති අතර මිතුරන් 5දෙනෙකු සමග මෙලෙස සබඳතා පවත්වා තිබිණි. මෙම අතරවාරයේ දී ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ හමුවූ මිතුරෙක් ඔහුගේ ඇසුරට පත්වන අතර ඔහු පෞද්ගලික ගුරුවරයෙක් බව එම පුද්ගලයා පවසා ඇත. දෙවරක් පමණ ඔවුන් මුණගැසී හඳුනාගන්නා අතර පසුව ගයනාත් එම පුද්ගලයාගේ නවාතැනට ගොස් ඔහු සමග ලිංගික සබඳතාවක් පවත්වා ඇත. එහිදී ආරක්ෂිත උපක්‍රම ලෙස ඔවුන් කොන්ඩමයක් භාවිත කළ ද අවසානයේ එය පුපුරා ගිය බැවින් ඔහු බියට පත් ව ඇත.

ඉන්පසු එම ස්ථානයෙන් ඉවත්වී ගයනාත් දිව එන්නේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි සායනය වෙතයි. එහිදී වෛද්‍යවරයා වෙත මෙම සිදුවීම අනාවරණය කරමින් තොරතුරු ඉදිරිපත් කරන අතර කොන්ඩමය පුපුරා ගිය බවද සැල කළ බැවින් එහිදී ගයනාත්ට ද කරුණු පැහැදිලි කර දී ඔහුගේ ද රුධිර සාම්පල් පරීක්ෂා කර අදාළ ප්‍රතිකාරයන්ට ඔහුව ද යොමු කිරීම සඳහා වෛද්‍යවරයා විසින් කටයුතු කරන ලදි.

වර්තමානය වන විට බොහෝදෙනා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මිතුරු සබඳතා ඇතිකරගන්නා අතර එම සබඳතා ඔස්සේ මෙවැනි ලිංගික ඇසුරු සඳහා වුව පහසුවෙන් පෙළඹේ. එහෙත් විශ්වාසනීය නොවන එවැනි ආගන්තුක සබඳතා වෙත යොමුවීමට පෙර ඔබ නුවණැති පුද්ගලයෙක් ලෙස නැවත වරක් කල්පනා කර බැලිය යුතුයි. මන්දයත්, නැතහොත් ඔබ දුරදිග නොබලා ගනු ලබන මෙවැනි තීරණයක් නිසා ඔබට මෙම ඉහත දක්වා ඇති ආකාරයේ විශාල ගැටලුවකට වුව මුහුණපෑමට සිදුවිය හැකියි. එම නිසා සැම විට ම ඔබ වඩාත් කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

ශ්‍රී ලංකාව HIV හෙවත් මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදානමක් සහිත රටකි. එනම් එහි ව්‍යාප්තිය 0.1 වඩා අඩු අගයක පවතියි. නමුත් මෑත කාලය තුළ අප රටෙන් වාර්තා වන HIV රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙයි. 2019 වර්ෂය තුළ පමණක් නව HIV ආසාදිතයන් 439ක් වාර්තාවී ඇති අතර එම ආසාදිත සංඛ්‍යාවෙන් 359ක් පිරිමි පුද්ගලයන් වේ. ශ්‍රී ලංකාව HIV පැතිරීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම මගිනි (86%). එයින් ද පිරිමි-පිරිමි අතර පවත්නා අනාරක්ෂිත ලිංගික හැසිරීම නිසා ශ්‍රී ලංකාව HIV ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ සුලබව සිදු වේ. වයස අවුරුදු 15-24 අතර යෞවනයන් අතර HIV ආසාදනයේ වර්ධනයක් දැකිය හැකිය. 2019 වසරේ නව HIV ආසාදිතයන්ගෙන් 54ක් (12%) ම මෙම වයස් කාණ්ඩයමේ තරුණ තරුණියන් වූ අතර මොවුන් අතරින් ද 89%ක් ම පිරිමි පුද්ගලයන් විය.

ඒ අනුව වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තිය බහුල වශයෙන් සිදුවන්නේ ඉහත අප දැක්වූ නිදර්ශනයේ ද සඳහන්ව ඇති අන්දමේ පිරිමි-පිරිමි ලිංගික සබඳතාවලින් බව ඉහත දත්තයන් ඇසුරෙන් ද හඳුනාගත හැකි අතර ඔබ ඔබගේ සබඳතා පිළිබඳ අනිවාර්යෙන් ම වගකීමෙන් මෙන්ම නුවණින් යුතුව කටයුතු කිරීම එබැවින් අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය මත පදනම්ව වර්තමානයේ දී ගොඩනැගෙන සබඳතා පිළිබඳ වඩාත් විමසිලිමත් ව කටයුතු කළ යුතු අතර එය ඔබෙත් සමාජයේත් යහපැවැත්ම කෙරෙහි හේතු වනු ඇත.

එමෙන්ම දෙමාපියන් ලෙස ඔබගේ ද අවධානය ඔබේ ගැහැනු දරුවාට මෙන් ම පිරිමි දරුවා වෙත ද නොඅඩුව යොමු කිරීම වර්තමානය වන විට ඉතා අත්‍යවශ්‍ය වනු ඇත. යොවුන් වියේ දී ම දරුවන් මෙවැනි චර්යාවන්ට හා ගැටලුකාරී තත්තවයන්ට යොමුවීම ඒ ඔස්සේ අවම කර ගැනීමට හැකි වනු ඇත. එබැවින් දෙමාපියන් වශයෙන් හැකි සෑම විටක ම දරුවන් පිළිබඳ සමිපව සහ විමසිලිමත්ව කටයුතු කිරීමට ඔබ වගබලාගත යුතුය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි
(ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන – කොළඹ)

සටහන – පියුමිලා අරවින්දි