Health

මාහැඟි මෙහෙවරකට උරදෙන MOH

MOH හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සමාජයට සිදුවන්නා වූ සේවාව බැලූ බැල්මට නොපෙනුණත් ඉන් ඉටුවන මෙහෙය සුළුපටු නොවේ.

උපන්දා සිට මියයන තෙක් විශේෂයෙන් ම කාන්තාවක තම ජීවිතයේ පසුකරන විවිධ වූ කඩඉම්වල දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දියත් කෙරෙන සේවාවන් ලබාගන්නට සිදුවනු ඇත්තේය.

අප සමාජයේ බොහෝදෙනා සිතා සිටින්නේ කාන්තාවක් MOH මගින් සේවා ලබාගැනීම ඇරඹෙන්නේ විවාපත්වී ඇයට දරු ගැබක් පිළිසිඳගත් පසුව බවයි. නමුත් සත්‍ය වූ කාරණය නම් MOHහි කාර්යභාරය ඇරඹෙන්නේ එකී කාන්තාව විවාහ වන්නටත් පෙර එනම්, දැරියකව සිටිය දී ය.

එහෙයින් අපේක්ෂිත මට්ටම ඉක්මවා ගිය සේවාවක් සිදුකෙරෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ගර්භණී මව්වරුන්ට ළදරුවන්ට පමණක් සීමා වූවක් නොවන බව පියවරෙන් පියවර සාකච්ඡා කිරීම මෙම ලිපි පෙළේ අරමුණ ය.

යොවුන් පියස

යොවුන් පියස මගින් සේවාව සැපයෙන්නේ තරුණ වියට පත් ගැහැනු දරුවන් සහ පිරිමි දරුවන් යන දෙපාර්ශ්වයට ම ය. ඔවුන් මුහුණ පාන විවිධාකාර සමාජයීය, මානුෂීය ගැටලු හමුවේ අසරණ වූ දරුවන්ට නිවැරදි මාර්ගෝපදේශනයක් ලබාදීම යොවුන් පියසේ කාර්යභාරයයි.

■ යොවුන් පිරිමි දරුවන් මතට ඇබ්බැහිවීම.
■ විවිධාකාර සමාජ විරෝධි ක්‍රියාවන්ට යොමුවීම.
■ ලිංගික අඩත්තේට්ටම්වලට ලක්වීම.
■ නිවසේ දෙමාපියන් අතර ඇතිවන පවුල් ආරවුල්වලට මැදිවීම.
■ දෙමාපියන් වෙන්වීම හෝ දෙදෙනාගෙන් කෙනෙක් හෝ මියයාමෙන් ඇතිවන මානසික අවපීඩනය.
■ යොවුන් වියේ දී බොළඳ ප්‍රේම සම්බන්ධතාවලට නැඹුරුවී ඒ ඔස්සේ තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම.

මේ ආදී නොයෙක් හේතු සාධක මත යොවුන් ගැහැනු දරුවා සහ යොවුන් පිරිමි දරුවා පත්වන අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් ඔවුන් මුදාගෙන, එම දරුවන්ගේ පෞද්ගලික්තවය උපරිමව ආරක්ෂා වන ආකාරයට ඔවුන්ගේ පෞරුෂත්වය නගාසිටුවීමේ විශාල කර්තව්‍යයකට MOH සහ රජයේ රෝහල් මගින් පතත්වාගෙන යන යොවුන් පියස සේවාව සැදී පැහැදී සිටී. ඒ සඳහා වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් සහ හෙදියක් නිරතුරුව තම සේවයට කැපවී සිටිති.

පූර්ව ප්‍රසව සමය (Pre-Pregnancy)

තරුණ යුවලක් අලුතින් විවාපත් වූ දා පටන් පූර්ව ප්‍රසව සමය ආරම්භ වේ. විවාහවී වසර ගණනාවක් ගත වුවත් දරු පිළිසිඳගැනීමක් සිදු නොවූ අයටත් පූර්ව ප්‍රසව සමය අදාළ වේ.

තමන්ගේ ස්ථිර පදිංචියට අදාළ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත් කර ලියාපදිංචිවීමෙන් පසුව එතැන් පටන් දරු පිළිසිඳගැනීමක් දක්වා අදාළ උපදේශන සේවාව ලබාදීම සිදුවේ. මෙහිදී,

■ කාන්තාවන්ගේ උස, බර මැන බලා BMI අගය පරීක්ෂා කර උපදෙස් ලබාදීම. (බර අඩු නම් පෝෂණය පිළිබඳ උපදෙස්) (බර වැඩි නම් එය පාලනය කරගැනීමට අදාළ උපදෙස්).
■ කාන්තාවන්ගේ මානසික සෞඛ්‍ය යහපත් ලෙස පවත්වාගැනීමට අදාළ උපදෙස් ලබාදීම.
■ වෙනත් කායික රෝග ආදිය පිළිබඳව සැලකිලිමත්වීම.
■ ස්වාමි පුරුෂයා දුම්පානය, මත්වතුර, මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වූවෙක් නම් ඒ සඳහා උපදේශන සේවා ලබාදීම.
■ දෙදෙනා අතර ලිංගික සබඳතා පවත්වාගත යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබාදීම.
■ කාන්තාවන්ට Folic Acid (ෆෝලික් අම්ලය) ලබාදීම.

ආදී වශයෙන් සියලු ම දේ ඒ හරහා සිදුකරනු ලබයි.

(කොළඹ නගරයේ පමණක් මාතෘ හා ළමා සායන 14ක් ක්‍රියාත්මක වන අතර, එයට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී වසම් 110ක් අයත් වේ.)
ගර්භණීභාවයට පත්වූ පසු එය ලියාපදිංචි කළ තැන් පටන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්යභාරය මින් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

වෛද්‍ය චින්තා ජයම්පති
(අංශ ප්‍රධානී, මාතෘ හා ළමා සෞඛ්‍ය අංශය, කොළඹ මහනගර සභාව)

සටහන – ශෂිකා තල්පෙහේවා