Health

පවුල තුළින් ම ආතතිය කළමනාකරණය කරගනිමු!

වර්තමාන සමාජ රටාව සහ එහි දී අපට මුහුණදීමට සිදුවන තත්ත්වයන් හමුවේ ආතතිය යන්න ඉතා සුලබව දක්නට ලැබෙන තත්ත්වයක් බවට පත්ව තිබේ. එබැවින් මෙවර කලාපය හරහා ද මානසික ආතතිය පිළිබඳව තවදුරටත් ඔබව දැනුවත් කිරීම වඩාත් කාලෝචිත වනු ඇත.

මානසික ආතතිය කායික රෝග මෙන් භෞතිකව දක්නට නොලැබෙන තත්ත්වයක් නිසා ම බොහෝ පුද්ගලයින් තමන් මානසික ආතතියෙන් පෙළෙන බව හෝ නොදනී. එහෙත් මේ හරහා තවත් බොහෝ මානසික රෝග මෙන් ම දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි කායික රෝග වුව ද ඇතිවීම කෙරෙහි බලපෑමක් සිදුකරන බව බොහෝදෙනා නොසිතන කරුණකි. මානසික ආතතිය නිශ්චය කර හඳුනාගනිමින් එය වළක්වාගැනීම සඳහා අප කටයුතු කළ යුත්තේ එබැවිනි.
අප නිවස තුළින් ආතතිය කළමනාකරණය කරගනිමු.
අප ජීවිතයේ දෛනිකව මුහුණදෙන විවිධ භාහිර සමාජයන් තුළ ආතතිය කළමනාකරණය කිරීමට පෙර අපට වඩාත් සමීප වූ අපේ පවුල තුළ ආතතිය පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. පවුල යනු සමාජයේ කුඩාම ඒකකයයි. එනම්, පවුල හරහා සමස්ත සමාජයටම යහපත් බලපෑමක් ඇති කළ හැකිය.

x පවුලේ අනෙක් පුද්ගලයන්ගේ රුචි අරුචිකම් හදුනාගෙන ඒ අනුව තමා තුළ යම් යම් වෙනස්කම් ඇතිකරගැනීම සහ නම්‍යශීලීවීම.

අප එක ම කුටුම්භයක් තුළ ජීවත් වුව ද අප සතු රුචි අරුචිකම් විවිධ විය හැකිය. නිදසුනක් ලෙස දෙදෙනෙකු අලූතින් යුග දිවි ආරම්භ කළ පසු එක් පවුලක් ලෙස ජීවත්වීම ආරම්භ කළ ද ඔවුන් දෙදෙනාගේ කැමැත්ත අකැමැත්ත එකිනෙකට වෙනස්වීම සාමාන්‍ය දෙයකි. ඉතා අහඹුවකින් එක හා සමාන සිතිවිලි සහිත දෙදෙනෙකු හමුවිය හැකිය. එහෙත් සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුළ ඇති රුචි අරුචිකම් දෙයාකාර වේ. එවැනි අවස්ථාවක දී අනෙකාගේ කැමැත්තට ද ඉඩක් ලබාදෙමින්, අනෙකාගේ රුචි අරුචිකම් පිළිබඳව ද සංවේදී වෙමින්, නම්‍යශීලීව කටයුතු කළ යුතුය. තවදුරටත් ඉතා සරලව පැහැදිලි කරන්නේ නම්, අනෙකාගේ රුචිකත්වය මැනවින් හඳුනාගෙන තමන්ගේ ඇතැම් රුචි අරුචිකම් අනෙකා වෙනුවෙන් වෙනස් කරගැනීමට කටයුතු කළ හැකි නම් ඔබේ පවුල තුල ආතතිය ඇතිවීම කළමනාකරණය කරගත හැකිය.

x නිවසේ වැඩ රාජකාරී බෙදාගැනීම

නිවස තුළ දෛනිකව ඉටුකිරීමට ඇති රාජකාරී අප පවුලේ එක් සාමාජිකයෙකු වෙත ම පවරා නිදහස්වීම වෙනුවට පවුලේ සාමාජිකයන් සියලූදෙනා ම එක්ව රාජකාරී එකිනෙකා අතර බෙදාගනිමින් ඉටුකිරීමට කටයුතු කිරීමද පවුල තුළ ආතතිය වළකාගැනීම කෙරෙහි මනා පිටිවහලක් වනු ඇත. සියලූ ම වැඩ ඉටුකිරීමට භාරගෙන අවසානයේ එකිනෙකා වෙත දොස් පවරාගැනීමකින් තොරව පවුලේ සියලූදෙනා ඒ සඳහා සම්බන්ධ කරගනිමින් සහයෝගයෙන් කටයුතු කළ හැකි නම් එය ඉතා අගනේය. එහි දී දරුවන්ට අපහසුවකින් තොරව ඉටුකර දිය හැකි සුදුසු කුඩා වගකීම් දෙමාපියන් විසින් දරුවන් වෙත පැවරීමට කටයුතු කළ හැකි අතර පවුලේ සියලූ සාමාජිකයින්ගේ දායකත්වය ලබාගනිමින් නිවසේ එදිනෙදා කටයුතු ආතතියකින් තොරව ඉටුකර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. උදාහරණ නිවසේ ආහාර පිසින අවස්ථාවක දී දරුවෙකු ද ආරක්ෂා සහිතව එම කටයුත්ත සඳහා උදව් කරගත හැකිය.

x පවුල තුළ යහපත් සන්නිවේදනයක් ගොඩනගාගැනීම

එකිනෙකා අතර නිසි සන්නිවේදනයක් නොමැතිවීම වර්තමානයේ අපට හමුවන බොහෝ සබඳතා බිඳවැටීම් සඳහා හේතු වී ඇති තවත් ප‍්‍රධාන සාධකයක් ලෙස හැඳින්විය හැකිය. තමාගේ කැමැත්ත අකැමැත්ත ආදිය පිළිබඳ පවුලේ අනෙකුත් පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා මනා සන්නිවේදනයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර එකිනෙක අතර පවතින සන්නිවේදන සබඳතාවන් බිඳවැටීම හරහා නිතැතින් ම එකිනෙකා අතර ගැටීම් ඇතිවිය හැකිය.

අතීතයේ අප සමාජ ක‍්‍රමය තුළ රාත‍්‍රී ආහාරය පවුලේ සියලූ සමාජිකයන් සමග එක්ව ලබාගැනිමේ පුරුද්දක් තිබිණි. එහෙත් නූතනයේ පවතින අධික කාර්බහුලත්වයත් සමග එම පුරුද්ද නූතන සමාජයෙන් ගිලිහී ඇත. දරුවන්ට සහ දෙමාපියන්ට එක්ව ආහාර ගනිමින් සාකච්ඡුා කිරීමට වුව ද කාලයක් සොයාගැනීම අසීරු වී ඇති අතර මව හරහා දරුවන්ගේ පණිවිඩ පියාට සන්නිවේදනය කිරීමත්, යළිත් ඔහුගේ අදහස මව හරහා දරුවන්ට දැනගැනිමත් අද වන විට සමාජයේ සුලබව දක්නට ඇති තත්ත්වයකි. දරුවන් කිසියම් සමාජ විරෝධි ක‍්‍රියාවකට ගොදුරුවීම, පේ‍්‍රම සබඳතාවක් බිඳවැටීම වැනි තත්ත්වයක් හමුවේ වුව ද ජීවිතයෙන් පලායාමට උත්සහ කිරීම වැනි තත්ත්වයන් වර්තමාන සමාජය තුළ අසන්නට දකින්නට ඇත්තේ ඉහත සඳහන් කළ පරිදි දරුවන් සහ දෙමාපියන් අතර පැවතිය යුතු සන්නිවේදන සබඳතා බිඳවැටීම හේතුවෙනි. පවුල තුළ එකිනෙකා අතර මනා සබඳතාවක් ගොඩනංවාගැනීම ආතතිය වළක්වාගැනිම සඳහා ඉවහල් වන අතර එකිනෙකා සමග කතාබස් කිරීම සඳහා පවුල තුළ අවස්ථාවක් වෙන්කරවාගැනීමට කටයුතු කළයුතු වේ.

x එකිනෙකාට ගෞරව කිරීම

එකිනෙකා වෙත ගෞරව කිරීම පවුල මගින් පුරුදු පුහුණු කළ යුත්තකි. නිදසුනක් ලෙස නිවසක මව පියා පිළිබඳව දරුවන් සමග දොස් නගයි නම්, දරුවා ද එතැන් සිට ගෞරව කිරීමෙන් තොරව සමාජය තුළ ජීවත් වනු ඇත. එය නිවසේ ගැටුම් ඇතිකිරීම කෙරෙහි හේතුවිය හැකිය. එම නිසා පවුල තුළ සාමාජිකයන් වෙත ලබාදිය යුතු නිසි ගෞරවය පිරිනැමිය යුතු අතර එය නිසැකව ම ඔබේ දරුවාගේ අනාගත සමාජ පැවැත්ම සඳහා ඔවුන් එක්කරගනු ඇත.

x නවීන තාක්ෂණය පමණ ඉක්මවා භාවිත නොකිරීම

අප භාවිත කරන තාක්ෂණනික උපකරණයක් තුළ අපට නොපෙනෙන අනතුරු බොහෝ ප‍්‍රමාණයක් සැඟව ඇතිබව වැඩිදෙනෙකු නොසිතනා කරුණකි. තාක්ෂණය පමණ ඉක්මවා භාවිත කිරීම හේතුවෙන් අද වන විට පුද්ගලයින් මානසික වශයෙන් විවිධ ගැටලූකාරී තත්ත්වයන්ට පත් ව ඇත. විශේෂයෙන් ම ඔබෙ දරුවා තාක්ෂණය වෙත සමීප කිරීමට පෙර ඔබ වරක් නොව කිහිපවරක් සිතා බැලිය යුතු වේ. ඇතැම් දෙමාපියන් සා/පෙ විභාගය සමත් වූ දරුවා වෙත තිළිණයක් ලෙස පිරිනමන්නේ ජංගම දුරකතනයකි. එහෙත් එය ම දරුවාගේ අනාගත අධ්‍යාපන කටයුතු බිඳවැටීමට හේතුව වනු ඇත. තාක්ෂණය නිසි පරිදි භාවිත කරන්නේ නම් එය ඉතා මහෝපාකාරී මෙවලමක් වුව ද දරුවෙකු එකවර තාක්ෂණික ලෝකයකට පිවිසුණු පසු දරුවා එයට ඇබ්බැහි වී ආතතියට පත්වීමට හැකි අවකාශය වැඩිය. එවිට දරුවා පමණ ඉක්මවා රූපවාහිනී නැරඹීමට, වීඩියෝ ගේම්ස්වලට මෙන් ම ජංගම දුරකතන භාවිතයට නැඹුරු විය හැකි අතර දරුවා දෙමාපිය පාලනයෙන් ගිලිහී යා හැකිය. දෙමාපියන් මේ පිළිබඳ ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුය. නිදසුනක් ලෙස දුරකතනයක් සඳහා සිම් කාඞ්පතක් ලබාගැනීමට නම් ජාතික හැඳුනුම්පතක් අවශ්‍යය වේ. එහෙත් අපට සමාජ මාධ්‍ය තුළ දකින්නට ඇති සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන් දෙස බැලූ විට තේරුම්ගැනීමට හැකිවන්නේ දෙමාපියන්ගේ දුරකතන හරහා ඔවුන් සමාජ මාධ්‍ය භාවිත කරන බවයි. එනම් ඉන් ගම්‍ය වන්නේ දෙමාපියන් මේ පිළිබඳ වගකිමකින් තොරව කටයුතු කර ඇති බවයි.

එබැවින් පවුලක් තුළ ගැටලූවක් ඇතිනොවන පරිදි තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ දැනුවත්විය යුතුය. නැතහොත් එය පවුලේ සමගිය බිඳදමා ආතතිය ඇතිකිරීම සඳහා ප‍්‍රධාන හේතුවක් බවට පත්වනු ඇත.

x ප‍්‍රජාවක් ලෙස සමාජය තුළ ඉදිරියට යාමට උත්සහ කිරීම

මම සහ මගේ පවුල, මගේ දරුවා පමණක් යන ආකල්පයෙන් බැහැරව සමාජය තුළ එක්ව එකම ප‍්‍රජාවක්, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට උත්සහ ගැනිමට හැකි නම් එය ද ආතතිය වළකාගැනීමට හේතුවක් වනු ඇත. තනිතනිව තම ජයග‍්‍රහණ වෙත ගමන් කිරීම හරහා ඒවා සමෘද්ධ කර ගැනීම අසීරුවීමත් සමග නිරායාසයෙන් ම ආතතියට පතවන අතර කණ්ඩායමක් රටක් ලෙස එක්ව ඉදිරියට යන්නේ නම් ඒ හරහා ඔබේ ආතතිය දුරුවනු ඇත.

x නිවසේ සිටින වැඩිහිටියන් සමඟ යහපත් සබඳතා ගොඩනගාගැනීම.

මෙහි දී වැඩිහිටියන් ලෙස අර්ථගැන්වෙන්නේ අපේ නිවස්වල සිටින ජ්‍යෙෂ්ඨ වැඩිහිටි පිරිසයි. ඇතැම් විට ඔවුන් සතු ගතානුගතික අදහස් සමග නිවසේ දී ඇතැම් තීරණවලට එළඹීමේ දී ඔබට යම් අසීරුතාවකට මුහුණදීමට සිදුවනු ඇත. එහෙත් පවුල තුළ ආතතිය කළමනාකරණයේ දී ඔවුන් සමග ද හොඳ සබඳතාවක් ගොඩනගාගැනිමට අත්‍යවශ්‍ය වේ.
ඔවුන්ගේ රුචි අරුචිකම් තේරුම්ගනිමින්, ඔවුන්ට ද යම් ගෞවරයක් ලබාදෙමින් එම ගැටලූ තත්ත්වයන් ද අවමකර ගැනිමට කටයුතු කළ යුතු ය.

ඔබේ පවුලේ එදිනෙදා කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීම තුළින් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකි අතර ඉහත සඳහන් කළ කරුණු පිළිබඳ ඔබ සැලකිලිමත්වන්නේ නම් එය ඔබේ කැදැල්ල තුළ ආතතිය වළක්වාගැනිමට නිසැකව ම මහෝපකාරී වනු ඇත.

මනෝ වෛද්‍ය විශේෂඥ කේ. එච්. ධනුජ මහේෂ්
(මූලික රෝහල තංගල්ල)

සටහන – පියුමිලා අරවින්දි