Health Guide

විෂබීජ නාශක දියර විශාල වශයෙන් පරිසරයට ඉසීමෙන් විෂබීජ විනාශ කළ හැකිද?

මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබුණු අපේ රටේ සියලු ම අංශ පසුගියදා නැවත විවෘත කෙරුණා. එසේ විවෘත කරන්නට පෙර පොදු ස්ථාන සහ මගී ප්‍රවාහන සේවා විෂබීජහරණය කළ ආකාරය මාධ්‍යවලින් දකින්නට ලැබුණා. එහිදී භාවිතයට ගැනුණේ විශාල වශයෙන් විෂබීජනාශක දියර ස්ප්‍රේ කරන ආකාරයයි. මෙය කෙතරම් සාර්ථක ක්‍රියාවක් ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පසුගිය මැයි මාසයේ විශේෂ නිර්දේශයක් නිකුත් කර තිබුණා. එහි ඇතුළත් කරුණු පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි මහතා සමග සිදුකළ කතාහබකි මේ.

ස්ථානීය විෂබීජහරණය සඳහා මේ කාලයේ දකින්න ලැබෙන ක්‍රම මොනවාද?

ප්‍රධන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි Open Spraying කියලා හඳුන්වන පරිසරයේ විශාල ප්‍රදේශයකට බිෂබීජනාශක දියර ස්ප්‍රේ කිරීමේ ක්‍රමය. අනිත් එක Wet mopping කියලා හඳුන්වන තෝරාගත් යම් ස්ථානයක් විෂබීජනාශක දියර යොදා පිස දැමීමේ ක්‍රමය.

බොහෝ පොදු ස්ථානවල ඇති විෂබීජහරණ කුටි (Disinfection Chamber) හරහා ගමන් කිරීමෙන් විෂබීජ සම්පූර්ණයෙන් ම ඉවත් වෙනවාද?

කොහෙත්ම නැහැ. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කරලා තියන නිර්දේශයේ ඔවුන් තරයේ කියා තිබෙනවා විෂබීජහරණ කුටි භාවිතය විෂබීජහරණයට සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා.

එය සාර්ථක නොවෙන්නේ ඇයි?

මේ කුටිය තුළදී ඇල්කොහොල්, ක්ලෝරීන් සහිත රසායන දියර, ඕසෝන් මිශ්‍ර දියර, සබන් වතුර ආදී විෂබීජහරණ දියර වර්ග කීපයක් ඉසීම සිදු වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල කියනවා පාරජම්බුල කිරණ හරහා ගමන් කරලා විෂබීජහරණය කරන්න පුළුවන් කියලා. නමුත් හොඳින් මතක තබාගත යුතු කාරණය තමයි මෙය අභ්‍යන්තරයේ පවතින රෝගයක් මිස බාහිර රෝගයක් නොවන බව. මේ කියන කුටි හරහා ගමන් කරන අය False Security එකක් ඒ කියන්නේ “මම දැන් ආරක්ෂිතයි.” කියන හැඟීම ඇති කර ගන්නවා. නමුත් ඇත්තටම ඔවුන්ගේ සිරුරේ බාහිර වශයෙන් මේ විෂබීජය තිබුණොත් කුටිය හරහා ගමන් කිරීමේ දී එය සියයට සියයක්ම විනාශ වුණා කියන සහතිකය ලබාදෙන්න පුළුවන්කමක් නැහැ.

ඒ කියන්නේ මේ කුටි හරහා ගමන් කිරීමෙන් බාහිරව පවතින විෂබීජ යම් ප්‍රමාණයකින්වත් විනාශ වෙන්නේ නෑ කියන එකද?

එහෙම විනාශ වුණත් ඒ කොච්චර ප්‍රමාණයකින්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ හරහා ගමන් කළ කෙනාට “විෂබීජ සම්පූර්ණයෙන් ම විනාශ වුණා.” කියලා හැඟීමක් ඇති වෙනවා. රෝගියෙකුගෙන් නිරෝගී කෙනෙකුට විෂබීජය ආසාදනයවීම වළක්වාගන්න වෙනත් පහසු ක්‍රම තියෙද්දි මේ වගේම මිල අධික සහ අවදානම් ක්‍රමයක් භාවිත කිරීම තේරුමක් නැහැ.

රසායනික ද්‍රව්‍ය විෂබීජනාශක විදිහට ඉසීම හානිකර නැද්ද?

භෞතික වශයෙන් සම්පූර්ණයෙන් ම හානිකරයි. බෑගවල ගෙනියන සමහර භාණ්ඩවලට හානිකර වෙන්න පුළුවන්. ක්ලෝරීන් වගේ දියර ලෝහවලට හානිකරයි. ඒ විතරක් නෙවෙයි ක්ලෝරීන් ඍජුව ඇස්වල ඇතුළුවීම හානිකරයි. ආශ්වාසය ඔස්සේ ස්වාසනාල සහ පෙනහලුවලට ඇතුළුවීමත් හානිදායකයි. ඒ කියන්නේ අතුරු ආබාධ ඇතිවෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම විෂබීජ විනාශ වෙන මට්ටමට සාදාගත් ඕසෝන් දියරවල සාන්ද්‍රණය මිනිසාටත් අහිතකරයි. මිනිසාට හිතකර මට්ටමේ ඕසෝන් දියරවලට විෂබීජ විනාශ කරන්න බැහැ. ඒ වගේමයි පාරජම්බුල කිරණ. පාරජම්බුල කිරණවලට ඍජුව නිරාවරණයවීම පිළිකාකාරකයි. මම කලින් සඳහන් කළා විෂබීජනාශක දියර විදිහට ඇල්කොහොල් යොදාගන්නවා කියලා. සාමාන්‍යයෙන් මේ සඳහා යොදාගන්නේ සියයට 70 ඇල්කොහොල්. මේවා ගිනිගන්නා සුළුයි. මේ වගේ හේතු නිසා තමයි ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ ක්‍රමය අනුමත නොකරන්නේ.

එතකොට මේවා විශාල වශයෙන් පරිසරයට ඉසීමත් සාර්ථක ක්‍රමයක් නෙවෙයි ද?

නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. විෂබීජනාශක ඉසින්න ඕනෙ මිනිස්සු නිතර අතින් අල්ලන තැන්වලට මිස පරිසරයට නෙවෙයි. ඒ කියන්නේ බස්වල අල්ලන්න තියන බාර්, දොරවල්, පඩිපෙළවල අත්වැට, ලිෆ්ට් සහ ඒ ටී එම්වල බොත්තම්, නිතර අසුන් ගන්නා බංකු ආදී තැන්වලට විශාල වශයෙන් ස්ප්‍රේ කළාට කමක් නැහැ. මේවායින් පරිසරයට සිදුවන හානිය ගණනය කරන්න බැහැ. විෂබීජවලට අමතරව පරිසරයේ ඉන්න සතුන් පවා මින් විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම විෂබීජනාශක දියර ජල මූලාශ්‍රවලට එකතු වුණාම සිදුවන හානිය ගැන අපිට හිතාගන්නවත් බැහැ. ඒ නිසා මේවා විශාල වශයෙන් ස්ප්‍රේ කරනවා වෙනුවට ඊට වඩා පහසු සහ සාර්ථක ක්‍රම අනුගමනය කිරීම තමයි වැදගත් වෙන්නේ.

වෛරසය පැතිරීම වළක්වාගන්න පහසුවෙන් කරන්න පුළුවන් මොනවද?

ඒ ගැන කාරණා හයක් ඔස්සේ පැහැදිලි කරලා තියෙනවා. පළමුවැන්න තමයි මිනිසා වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවල, ගොඩනැගිලිවල ඇතුළුවන සහ පිටවන තැන්වල ප්‍රමාණවත් පරිදි අත් සෝදාගන්න පහසුකම් සකස්කර තිබෙන්න ඕනෙ. දෙවැන්න රෝහල් තුළ සේවාදායකයන්ට අවශ්‍ය ප්‍රමාණවලින් අත් සේදීමේ පහසුකම් සලසා තබන්න ඕනෙ. තුන් වැන්න අත් සේදීමේ පහසුකම් නැති තැන්වල මද්‍යසාර ප්‍රමුඛ අත්සේදුම් දියර සපයා තිබෙන්න ඕනෙ. හතර වැන්න ස්වසන පද්ධතියේ රෝග තිබෙන අය නිතරම අත්සේදුම් දියරයක් ළඟ තබාගැනීම වැදගත්. පස් වැන්න නිතර අත්වැදෙන පෘෂ්ඨයන්, ඒ කියන්නේ කාර්යාලවල කවුන්ටර්ස්, පුටුවල ඇඳි, ලිෆ්ට්වල බොත්තම්, පඩිපෙළවල අත්වැට, දොරවල් අල්ලන අල්ලුව, පොළොව වගේ තැන් සබන් සහිත ද්‍රාවණයකින් හෝ රසායනික විෂබීජ නාශක ද්‍රවයකින් නිතර පිසදැමීම කළ යුතුයි. හය වෙනි කාරණය විදිහට සමාජ දුරස්ථභාවය තබාගැනීම වැදගත්.

පරිසරයේ පවතින විෂබීජ විශාල ප්‍රමාණවලින් විනාශ කරන්න පුළුවන් ද්‍රාවණ මොනවාද?

පහසුවෙන් සපයාගන්න පුළුවන් ද්‍රාවණ තුනක් තිබෙනවා. එකක් තමයි සියයට 70ට වැඩි අයිසොප්‍රොෆයිල් ඇල්කොහොල්. ඒ කියන්නේ සර්ජිකල් ස්ප්‍රිට්. එයින් ලෝහ පෘෂ්ඨයන් පිරිසිදු කරන්න පුළුවන්. දෙවැන්න සියයට දශම එකකට තනුක කරගත් කැල්සියම් හයිපොක්ලෝරයිට්, ඒ කියන්නේ ක්ලෝරීන්. මේක ටිකක් ගඳයි. ඒ වගේම මෙයින් සේදුවාම සුදුපාට පැල්ලම් ඇති වෙනවා. තුන්වැන්න සෝඩියම් හයිඩ්‍රොක්ලෝරයිඞ්. අපි “බ්ලීචිං ලික්විඞ්” කියලා කියන්නේ ඒවා. මෙය 1ට 25 අනුපාතයට ජලය කොටස් 25ක් එකතු කරලා තමයි හදාගන්නේ. ලෝහ නොවන පෘෂ්ඨ පිරිසිදු කරන්න මෙය පාවිච්චි කළ හැකියි. ඉතින් මේ වගේ අවස්ථාවල හැරුණාම විෂබීජනාශක දියර විශාල වශයෙන් පරිසරයට මුදාහැරීම අසාර්ථක ක්‍රමයක් කියලා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කරලා තියෙනවා.

සාමාන්‍යයෙන් ලෝකයේ බොහොමයක් රටවලට සාපේක්ෂ්ව ලංකාවේ කෝවිඞ් 19 ව්‍යාප්තිය අවම මට්ටමක පවතින්න හේතුව මොකක්ද?

බෝවන රෝගයක් පැතිරෙන යම් යම් මට්ටම් තියෙනවා. පිට රටකින් ආසාදිත කෙනෙක් ලංකාවට එන එක, එයාගෙන් සමීපතමයන්ට යන එක, ඒ අයගෙන් සමාජයේ අනිකුත් අයට යන එක වගේ මට්ටම් කීපයක් තියෙනවා. ඒ එක්තරා මට්ටමකට තියෙනවා (Community Transmission) කියලා. ඒ කියන්නේ සමාජමය මට්ටමේ පැතිරීමක්. නමුත් අපේ රට මේ මට්ටමට පත්වුණේ නැහැ. ඒ කියන්නේ තවමත් අපිට රෝගියෙක් හමු වුණාම එයාට රෝගය බෝ වුණේ කොහෙන්ද කියලා හොයාගන්න පුළුවන්. බැරිවෙලාවත් මෙය Community Transmission තත්ත්වයට පත් වුණොත් ඉතා සීග්‍රයෙන් පැතිරීයාම සිදු වෙනවා.

ලංකාවේ මේ රෝගය අවසන් වෙලා නැති අවස්ථාවක රට විවෘත කිරීම සාධාරණද?

වසංගත රෝගයක් අවසන් වෙන්නේ එයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගත්තාට පස්සේ. නමුත් කොවිඩ් 19 වෛරසයට තවමත් ප්‍රතිකර්මයක් සොයාගෙන නැහැ. ඒ වුණත් රටක් දීර්ඝ කාලීනව වසාතැබීමත් ප්‍රායෝගික නැහැ. රෝගී තත්ත්වය පාලනය කරමින් එදිනෙදා වැඩ කටයුතු ආරම්භ කිරීම හැර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා රෝගය තිබියදී ම ඒකත් එක්ක ඉන්නේ කොහොමද කියලා මහජනතාව දැනුවත් වෙන්න ඕනෙ.

ඔබ කියන විදිහට රෝගය පැතිර යද්දී ඒකත් එක්ක ඉන්න පුළුවන් ද?

රෝගය බෝ වෙන ආකාරය ගැන මේ වෙද්දි හොඳට ම පැහැදිලියි. ඒ නිසා එය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන එක නතර කර ගැනීමේ නිවැරදි ක්‍රම අනුගමනය කළොත් රෝගය තිබියදී ඒකත් එක්ක වැඩ කරගෙන යන එක අපහසු නැහැ. මෙහිදී අදාළ සෞඛ්‍යය අංශවලින් දී තිබෙන ප්‍රධාන නිර්දේශයන් පිළිපැදීම තමයි වැදගත් වෙන්නේ.

මොනවද ඒ නිර්දේශයන්?

අනිවාර්යයෙන් ම කළ යුතු පොදු කාරණා තුනක් තියෙනවා. ඒ නිවැරදිව අත් සේදීම, මුහුණු ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය. කොවිඞ් 19 කියන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිත තත්ත්වයක්. ඒ නිසා මෙය බෝ වෙන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිත ශ්‍රාවයන්වල බිඳිති මගින් විතරයි. ඒ කියන්නේ රෝගී කෙනෙකුගේ ස්වසන පද්ධතියේ තිබෙන වෛරසය ස්වසන පද්ධතිය ආශ්‍රිත බිඳිති එක්ක නිරෝගී කෙනෙකුගේ ස්වසන පද්ධතියට ඇතුළු වුණොත් විතරයි එය බෝ වෙන්නේ. ප්‍රධාන වශයෙන් ස්වසන පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන් විධි දෙක වෙන්නේ නාසය සහ කට. ඇස් දෙක සහ නාසය අතරත් සම්බන්ධතාවක් පවතින නිසා තමයි නිතරම ඇස් අල්ලන්න එපා කියලා කියන්නේ. කොවිඩ් 19 රෝගියෙක් කතා කිරීමේ දී හෝ කිවිසීමේ දී ඒ බිඳිති අපේ මුහුණට ආවේ නැත්නම් සහ අපේ අත්වල වැදුණේ නැත්නම් මේ රෝගය බෝවීමේ අවදානමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මෙය නතර කර ගැනීමේ සරල ම ක්‍රමය තමයි නිවැරදිව අත් සේදීම. ලෝකයේ පිළිගැනීම තමයි නිවැරදි විදිහට අත් සේදීම කරනවා නම් නිරෝගී අය රෝගී වෙන එකත්, රෝගී කෙනෙකුගෙන් තව කෙනෙකුට සම්ප්‍රේශණයවීමත් නතර කර ගන්න පුළුවන් කියන කාරණය. මෙය කෝවිඩ් 19ට විතරක් නෙවෙයි සියලු ම ස්වසන රෝග සහ ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලින් ආරක්ෂා වෙන්න සබන් යොදා නිවැරදි ක්‍රම අනුගමනය කරමින් අත් සේදීම ඉතාම වැදගත්. මෙය පුරුද්දක් කර ගන්න ඕනෙ.

දෙවෙනි කාරණය නිවැරදි මුහුණු ආවරණ පැලඳීම. මේ වෙද්දි ප්‍රධාන වශයෙන් මාස්ක් වර්ග තුනක් පාවිච්චි කරනවා. එකක් තමයි ගෙදර මසාගන්නා රෙදි මාස්ක් එක. රෙදි මාස්ක්වල තිබෙන්නේ ඉතාම කුඩා සිදුරු නිසා ස්වසන පද්ධතිය ආශ්‍රිත බිඳිති ඒ හරහා ගමන් කරන්නේ නැහැ. කලින් කිව්වා වගේ මේ වෛරසය ව්‍යාප්ත වෙන්නේ රෝගියෙකුගේ ස්වසන පද්ධතිය ආශ්‍රිත ශ්‍රාවයන්ගේ බිඳිති මගින්. ඒ නිසා බිඳිති එහා මෙහා යන්නේ නැත්නම් රෝගය ව්‍යාප්ත වෙන්නෙත් නැහැ. අනිත් මාස්ක් වර්ගය පාවිච්චි කර ඉවත දමන සර්ජිකල් ෆේස් මාස්ක් එක. වැදගත්ම දේ මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ එක්වරක් විතරයි. මේවා නිවැරදිව පැලඳීමටත් වරක් පාවිච්චි කර ඉවත් කිරීමටත් වගබලා ගන්න ඕනෙ. තුන් වෙනි වර්ගය N 95 හෝ KN 95 මාස්ක් වර්ගය. එය ටිකක් මිල වැඩියි. මේවා බොහෝවිට පාවිච්චි කරන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ ඍජුව ම රෝගියා සමග ගැටෙන අය විතරයි. මේවාත් පාවිච්චි කර ඉවත දැමිය යුතු වෙනවා.

මාස්ක් එකක පැලඳීමේදීත් අනුගමනය කළ යුතු කරුණු තිබෙනවා නේද?

මාස්ක් එකක් පලඳින්න කලින් අත් දෙක හොඳට පිරිසිදු කරන්න ඕනෙ. එහෙම බැරි අවස්ථාවක් නම් විතරක් සැනිටයිසර් වර්ගයක් පාවිච්චි කළ පසු තමයි මාස්ක් එක පැලඳිය යුතු වන්නේ. අනිත් එක ෆේස් මාස්ක් එකෙන් නාසය සහ කට හොඳින් ආවරණය වෙන්න ඕනෙ. ඒ වගේම මාස්ක් එක පැලඳුවාට පස්සේ නාසය, කට සහ බාහිර පරිසරය අතර හිදැස් තියෙන්න බැහැ. හොඳින් සීල් වෙලා තියෙන්න ඕනෙ. මාස්ක් එක දාලා ඉන්න වෙලාවට එය අතින් අල්ලන්න බැහැ. ගලවා ඉවත් කරන්නේ මාස්ක් එකේ පිටිපස්සේ පටියෙන් අල්ලා මිස ඉදිරිපසින් අල්ලලා නෙවෙයි. ඒ වගේම සෝදා පාවිච්චි කළ හැකි වර්ගයේ මාස්ක් එකක් නම් එය ගලවා සබන් වතුර භාජනයකට තමයි දැමිය යුතු වෙන්නේ. ගොඩක් අය කෑම කන වෙලාවට මාස්ක් එක ගලවලා ඇතුළු පැත්ත මේස පෘෂ්ඨයට ස්පර්ශ වෙන විදිහට තියලා නැවතත් අරගන පැලඳ ගන්නවා. සමහරවිට මාස්ක් එක උඩින් ෆෝන් එක තියනවා. ඒකෙන් වෙන්නේ මාස්ක් එකේ ඉදිරි පැත්තේ තියන දේවල් ෆෝන් එකේ වදිනවා. බැරිවෙලාවත් රෝගියෙකුගේ බිඳිති එහි වැදිලා තිබුණොත් රෝගය වැලඳෙන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා මාස්ක් එකක් භාවිතය හොඳ සිහියෙන් කරන්න ඕනෙ.

තුන් වෙනි කාරණය තමයි සමාජ දුරස්ථභාවය. කෙනෙක් එක්ක කතා බහ කිරීමේ දී යම් දුරක් පවත්වාගැනීමත් මේ තත්ත්වය ව්‍යාප්තවීම වළක්වාගන්න ඉතාම වැදගත්.

මේ කාරණා තුන අනුගමනය කළොත් අනිවාර්යයෙන් ම රෝගයෙන් වැළකෙන්න පුළුවන් ද?

විශේෂයෙන් ම සඳහන් කළ යුතු දෙයක් තමයි පළමු කාරණා දෙක, ඒ කියන්නේ අත් සේදීම සහ මාස්ක් පැලඳීම කියන කාරණා දෙකේ නරක දෙයක් තියෙනවා. ඒ තමයි අත් බාගෙට සේදීමෙන් සහ මාස්ක් වැරදියට පැලඳීමෙන් මහජනයාට ආරක්ෂාව ගැන වැරදි හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ අත් සෝදලා මාස්ක් දාලා ඉද්දි “දැන් මම ආරක්ෂිතයි.” කියලා හැඟෙනවා. නමුත් අත් සෝදලා තියෙන්නේ
නිවැරදි ක්‍රම අනුගමනය කරමින් නෙවෙයි නම් සහ මාස්ක් එක පැලඳගෙන ඉන්නේ වැරදියට නම් ඔවුන් කිසිසේත් ම ආරක්ෂිත වෙන්නේ නැහැ. මේකට කියනවා False Security කියලා. මේ තත්ත්වය නතර කර ගන්න නම් අඩු ම තරමින් අනිවාර්යයෙන් ම සමාජ දුරස්ථභාවයවත් ආරක්ෂා කරන්න ඕනෙ. මේ කියපු කාරණා තුනෙන් වැදගත්ම දෙක වෙන්නේ නිවැරදිව අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම. නමුත් මාස්ක් පැලඳීම රපේ රටේ අනිවාර්ය කරලා තිබෙන නිසා එය පලඳින්න ඕනෙ. ඒ අතර ම අනිත් කාරණා දෙක තරයේම කළ යුතුයි කියලා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවීවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කරලා තියෙනවා.

වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි
(පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශය)

සටහන – දුලංජලී මුතුවාඩිගේ