Health Guide

නළලට අල්ලලා උණ මනින උපකරණය මොකක්ද?

වර්තමානයේ බොහොමයක් ආයතනවලට ඇතුළුවීමේ දී නළලට සමීප කර තබන යම් උපකරණයක් මගින් ශරීර උෂ්ණත්වය මනින ආකාරයක් දකින්නට තිබේ. සාමාන්‍යයෙන් අප දන්නා උෂ්ණත්වමානවලින් ශරීර උෂ්ණත්වය මැනීමේ දී එය විනාඩි කීපයක් රෝගියාගේ ශරීරයට ස්පර්ශ කර තැබිය යුතු නමුත් මෙකී උපකරණය රෝගියාගේ සිරුරේ ස්පර්ශ කිරීමකින් තොරව ඉතා අඩු කාලයකින් ශරීර උෂ්ණත්වය පිළිබඳ පාඨාංක ලබා දේ. මෙම උපකරණය මගින් කොතෙක් දුරට නිවැරදි පාඨාංක ලබා ගත හැකි ද යන්න පිළිබඳව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි මහතා පැහැදිලි කළේ මෙසේය.

“උෂ්ණත්වය මනින ක්‍රම කීපයක් තියෙනවා. උෂ්ණත්වය කියලා සාමාන්‍යයෙන් මනින්නේ උණුසුම. මෙය මනින්න ෆැරන්හයිට් සහ සෙල්සියස් කියලා සම්මත පරිමාන දෙකක් තියනවා. 1724 අවුරුද්දේ ඩැනියෙල් ගේබි්‍රයෙල් ෆැරන්හයිට් කියන භෞතික විද්‍යාඥයා මේ පරිමාණය නිර්මාණය කරලා තියෙන්නේ ලුණු ද්‍රාවණයක් මිදෙන සහ දියවෙන උෂ්ණත්වයන් සැලකිල්ලට ගනිමිනුයි. නමුත් 1742 දී ඇන්ඩි්‍රයස් සෙල්සියස් විසින් සෙල්සියස් නිර්මාණය කරලා තියෙන්නේ ජලය මිදෙන සහ දියවෙන උෂ්ණත්වයන්ට අනුවයි. ඒ නිසා ෆැරන්හයිට්වල ජලය මිදෙන උෂ්ණත්වය 32 සහ ජලය උතුරන උෂ්ණත්වය 212 විදිහට පාඨාංක ලැබෙනවා. ඒ පරිමාන අපිට ඒ තරම් හුරු නැති නිසා අපි පාවිච්චි කරන්නේ සෙල්සියස් පරිමානය. කෙල්වින් නමින් හඳුන්වන පරිමානයත් උෂ්ණත්වය මනින්න පාවිච්චි කරනවා. කෙල්වින් බින්දුව කියන්නේ සෙල්සියස් ඍණ 273.15ට. ඒ කියන්නේ වතුර මිදෙන උෂ්ණත්වය කෙල්වින්වලින් නම් (ධන) 273.15 යි. කෙල්වින් බින්දුව තමයි ලෝකෙ පැවතිය හැකි අවම උෂ්ණත්වය වෙන්නේ.”.

“මේ පරිමාන පාවිච්චි කරලා උෂ්ණත්වය මනින්න නිර්මාණය කළ ප්‍රධාන උපකරණ දෙක තමයි රසදිය උෂ්ණත්වමානය සහ මධ්‍යසාර උෂ්ණත්වමාන ය. මේ දෙකම දියරමය උෂ්ණත්වමාන. රසදිය සහ මධ්‍යසාර කියන දෙකම යම් පෘෂ්ඨයක යම්කිසි කාලයක් ස්පර්ශ කර තැබීමෙන් අඩු උෂ්ණත්වවල දී සංකෝචනයවීමත් වැඩි උෂ්ණත්වවල දී ප්‍රසාරණයවීමත් කියන සිද්ධාන්තයට අනුව තමයි ක්‍රියා කරන්නේ. මේවායේ තිබුණු ගැටලුව තමයි රසදිය උෂ්ණත්වමානයෙන් රෝගියෙකුගේ උෂ්ණත්වය මනිද්දි රෝගියා සහ උෂ්ණත්වය මනින පුද්ගලයා අතර ඇතිවන සම්බන්ධතාව වැඩියි. ඒ කියන්නේ වෛරස රෝගයක් නම් බෝවීමේ ප්‍රවණතාව ඉතාම වැඩියි.”.

“සාමාන්‍යයෙන් ශරීරයේ උෂ්ණත්ය මනින ස්ථාන තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දිව යට, අත යට සහ ගුද මාර්ගය කියන ස්ථාන. මේ තුනෙන් ප්‍රායෝගික බව අඩු වුණත් නිවැරදිම උෂ්ණත්වය වෙන්නේ ගුද මාර්ගයේ උෂ්ණත්වය මැනීම. ඒකට හේතුව අචලතාපීන් වන මිනිසාගේ සිරුරේ උෂ්ණත්වය විදිහට අපි සලකන්නේ ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය. ඒ අනුව දිව යට හෝ අත යට උෂ්ණත්වයට වඩා ගුද මාර්ගයේ උෂ්ණත්වය මැනීමෙන් නිවැරදි ශරීර උෂ්ණත්වය ලබාගන්න පුළුවන්. නිරෝගී පුද්ගලයෙකුගේ මුඛ කුහරය තුළ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.5 ත් 38 අතර වෙන්න ඕනෙ. අත යට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.7ත් 37.3ත් අතර වෙන්න ඕනෙ. ගුද මාර්ගයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.6ත් 38ත් අතර වෙන්න ඕනෙ. නමුත් මිනිසාගේ සිරුරේ සම්මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5ත් 37.5ත් අතර කියලා තමයි පිළිගෙන තියෙන්නේ. 37.5ට වැඩි නම් උණ කියලා කියන්න පුළුවන්. මෙය වයස, ක්‍රියාශීලී බව, රැකියාව, සෞඛ්‍යය තත්ත්වය වගේ දේවල් මත වෙනස් වෙන්න පුළුවන්.”.

“වර්තමානයේ වගේ වසංගත තත්ත්වයක දී රසදිය උෂ්ණත්වයමානය භාවිත කිරීම යම් ආකාරයක අවදානම් තත්ත්වයක්. ඒ නිසා රෝගියා ඍජුව ස්පර්ශ නොකර උෂ්ණත්වය මැනි හැකි උපකරණයක අවශ්‍යතාව ඇති වුණා. එහි ප්‍රතිපළයක් විදිහට තමයි අද බහුලවම දකින්න ලැබෙන අධෝ රක්ත උෂ්ණත්වමානය නිර්මාණය වෙන්නේ. මෙය 80 දශකයේ නිර්මාණය වුණත් පේටන්ට් බලපත්‍රය ලබාගෙන වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නේ 2002 අවුරුද්දෙදියි. අයි ආර් උෂ්ණත්වමාන මිනිසා සඳහා විතරක් නෙවෙයි කාර්මික ක්ෂේත්‍රයේත් පාවිච්චි කරනවා.”.

“මේ උෂ්ණත්වමානය මගින් රත් වූ පෘෂ්ඨයකින් නිකුත් වන අධෝරක්ත කිරණවල ප්‍රබලතාව සංවේදකයක් මාර්ගයෙන් මනිනු ලබනවා. අධෝරක්ත කියලා කියන්නේ මිනිසාට දෘෂ්‍ය වර්ණාවලියේ දකින්න තිබෙන වර්ණ පරාසයට එහා ගිය පියවි ඇසට නොපෙනෙන කිරණයක්. අධෝරක්ත කිරණ නිකුත් කරන්නේ රත් වුණු පෘෂ්ඨවලින්. මෙය අපිට ඇහැට පෙනෙන්නේ නැති නිසා විශේෂිත සංවේදකයකින් මැන ගත යුතු වෙනවා. සංවේදකයෙන් මැන ගන්නා අධෝරක්ත කිරණයේ ප්‍රබලතාව මත තමයි තීරණය කරන්නේ එකී පාෂ්ඨයේ උෂ්ණත්වය මොකක්ද කියලා. අධෝරක්ත උෂ්ණත්වමාන වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි අතේ තියාගෙන රෝගියාගේ නළලට සමීප කර උෂ්ණත්වය මනින අපි මේ දවස්වල දකින්න ලැබෙන වර්ගය. අනිත් එක එකතැනක සවි කර තැබිය හැකි Thermal Scanner නමින් හඳුන්වන ගුවන්තොටුපළ, වරායවල සවි කර මගීන්ව ස්කෑන් කර උෂ්ණත්වය මනින එක.”.

“මෙය භාවිතය ඉතාම පහසුයි. එය රෝගියාට ස්පර්ශ වෙන්නේ නැති නිසා මෙමගින් රෝගය බෝවීමක් සිදු වෙන්නේ නැහැ. එය රෝගියාගේ සිට සෙන්ටිමීටර් 3ත් 5ත් අතර දුරකින් තබා උෂ්ණත්වය මනින්න පුළුවන්. ඒ වගේම අනිත් උෂ්ණත්වමානවලින් පාඨාංක ලබාගන්න වෙලා යනවා. නමුත් මෙය තත්ත්පරයකට අඩු කාලයක දී පාඨාංක ලබාදෙනවා. ඒ වගේම අනිත් උෂ්ණත්වමාන වීදුරු නිසා ඕනෑම වෙලාවක බිඳෙන්න පුළුවන්. රසදිය උෂ්ණත්වමානයේ රසදිය විෂ වුණු අවස්ථා ඕනෙ තරම් තිබෙනවා. මෙය අනිත් උෂ්ණත්වමාන වගේ රෝගියාගෙන් රෝගියාට පිරිසිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.”.

“නමුත් විවිධ හේතු නිසා මෙහි පාඨාංක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි නම් අධෝරක්ත උෂ්ණත්වමානයෙන් නිවැරදි පාඨාංක ලබාගන්න බැහැ. පරිසරයේ ආර්ද්‍රතාව සියයට 85ට වඩා වැඩි නම් නිවැරදි පාඨාංක ලබා ගන්න බැහැ. මෙය ප්‍රබල විද්‍යුත් චුම්බක තරංග සහිත ප්‍රදේශයක දී නිවැරදි පාඨාංක ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මොබයිල් ෆෝන් එක ළඟ තබාගෙන මෙයින් ලබාගන්නා පාඨාංක නිවැරදි නැහැ. ඒ වගේම මෙහි තිබෙන සංවේදකය නිසා බිම වැටුණොත් ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා අධෝරක්ත උෂ්ණත්වමාන නිෂ්පාදනයේ දී ම දෝෂ පරාසයක් විදිහට සෙල්සියස් අංශක දෙක බැගින් ඉදිරියටත් පසුපසටත් ලැබෙන්න පුළුවන් කියලා නිෂ්පාදකයන් කියනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුගේ උෂ්ණත්වය දෙවතාවක් මැන පාඨාංක ලබාගැනීම අනිවාර්ය වෙන්න ඕනෙ.”.

“අධෝරක්ත උෂ්ණත්වමානයෙන් උෂ්ණත්වය මැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ කරුණු කීපයක්ම තියෙනවා. පළමුවැන්න තමයි අධෝරක්ත උෂ්ණත්වමානයකින් ශරීර උෂ්ණත්වය මනින්න කලින් ඒකෙ උපදෙස් පත්‍රිකාව කියවලා ඒ උෂ්ණත්වමනයට අදාළව උෂ්ණත්වය මැනිය යුතු ස්ථානය ගැන හරියට දැනගන්න ඕනෙ. සමහර විට නළල ඉදිරිපස වෙන්න පුළුවන්, නළලේ පැත්තකින් වෙන්න පුළුවන්. ඒ නිසා උපදෙස් පත්‍රිකාවේ සඳහන් ස්ථානය මැන පාඨාංක ලබාගත යුතුයි. දෙවැන්න නළලේ දහඩිය තිබීම, කෙස් ගස් වැටී තිබීම, හිස් ආවරණවලින් වැසී තිබීම කියන කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ. නළලට කෙළින් ම ඉර අව්ව වැටී නොතිබිය යුතුයි. වේගයෙන් දුවගෙන ආපු කෙනෙක්ගේ උෂ්ණත්වය මනිනවා නම් විනාඩි කීපයක් ඒ කෙනාව නිෂ්චලව තැබීමෙන් පස්සේ තමයි පාඨාංක ලබාගත යුතු වන්නේ. අනිවාර්යයෙන් ම දෙවතාවක් පාඨාංක ලබාගැනීමත් වැදගත්. ඒ වගේම අධෝරක්ත උෂ්ණත්වමානයකින් මාදිලි 3ක් ඔස්සේ උෂ්ණත්වය මැනගන්න පුළුවන්. ඒ තමයි Body mode ශරීර උෂ්ණත්වයල Surface mode යම් පෘෂ්ඨයක උෂ්ණත්වයල Room mode පරිසරයේ උෂ්ණත්වයග මේ තුනෙන් ගැළපෙන (mode) මාදිලිය තෝරා උෂ්ණත්වය මැනීම වැදගත්. Body mode එකට දාලා පෘෂ්ඨයක උෂ්ණත්වය මැනීමෙන් හෝ Room mode එකේදි ශරීරයේ උෂ්ණත්වය මැනීමෙන් නිවැරදි පාඨාංක ලැබෙන්නේ නැහැ. මේ ක්‍රම නිවැරදිව අනුගමනය කිරීමෙන් විතරයි අධෝරක්ත උෂ්ණත්වමානයෙන් නිවැරදි පාඨාංක ලබාගත හැකි වෙන්නේ.”.

වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි
(පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශය)

සටහන – දුලංජලී මුතුවාඩිගේ