Health

ප්‍රතිජීවක අවභාවිතය සහ අධිභාවිතය භයානකයි

ප්‍රතිජීවක භාවිතයේ වැරදි නිසා අනාගතයේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉතා අවදානම් සහගත තත්වයක් උදාවිය හැකි බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි මහතා පවසනවා. මේ ඔහු සමග සිදු කළ කතාබහක්.

ප්‍රතිජීවක, එහෙමත් නැත්නම් Antibiotic කියන්නේ මොකක්ද?
ප්‍රතිජීවකවලට Antibiotic කියන වචනයට වඩා Antimicrobial කියන වචනය තමයි හරියටම හරියන්නේ. Antibiotic කියලා කියන්නේ බැක්ටීරියාවන්ට එරෙහිව කියන එක. බැක්ටීරියාවලට අමතරව වෛරස, පුස් වර්ග, ප්‍රොටෝසෝවා වර්ග, හෙල්මින්ත් (පණු) වර්ග වගේ මිනිසාට බාහිරින් ඇතුළු වෙලා රෝග ඇති කරන සියලු ම ජීවීන්ව මර්දනය කරන්න හා ආසාදන වළක්වන්න යොදාගන්න ප්‍රධානතම ඖෂධවලට තමයි ප්‍රතිජීවක Antimicrobial කියලා කියන්නේ. ලෝකයේ කාලෙන් කාලෙට ඇති වුණු මහාමාරිය, මැලේරියාව වගේ විවිධ බෝ වන රෝග නිසා මිනිස්සු විශාල ප්‍රමාණවලින් මිය ගියා. ඒවාට ප්‍රතිකාරකයක් විදිහට තමයි ප්‍රතිජීවක සොයාගත්තේ. මේ විදිහට ලෝකයේ සොයාගත් පළමු ප්‍රතිජීවකය තමයි 1928 අවුරුද්දේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං විසින් සොයාගත් පෙනිසිලින් කියන ප්‍රතිජීවකය.

මිනිසාට මේ තරම් ප්‍රතිජීවක වැදගත් වෙන්නේ ඇයි?
සාමාන්‍යයෙන් මිනිසාට ඇතිවන සරල රෝග ඒ කියන්නේ උගුරේ අපහසුතාව වගේ තත්ත්වයක ඉඳලා ඉතා ම දරුණු මට්ටමේ ආසාදන සහ වසංගත රෝග දක්වා ම පාලනය කළ හැකි ප්‍රතිජීවක සොයාගෙන තියෙනවා. ඒ නිසා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ රෝගවලට ප්‍රතිකාර කිරීමේ දී ප්‍රතිජීවකවලට ලැබෙන්නේ මූලික තැනක්.

දීර්ඝ කාලයක සිට රෝගවලට ප්‍රතිකාර කිරීමේ දී ප්‍රතිජීවක භාවිත කරනවා. මේ රෝගකාරක ජීවීන් කාලයත් සමග ප්‍රතිජීවකවලට ඔරෝත්තු දෙන්න පටන් ගන්නේ නැද්ද?
ඒක තමයි මේ වෙද්දි ඇති වෙලා තියෙන ප්‍රධානතම ප්‍රශ්නය වෙන්නේ. කාලයත් එක්ක සමහර ජීවීන්ට ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ආකාරයට ස්වභාවිකව අනුවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ක්‍රියාවලිය ස්වභාවිකව සෙමින් සිදුවන්නක්. වෛද්‍ය පර්යේෂකයන් මේ බව දන්න නිසාම රෝගකාරක ජීවීන් ප්‍රතිජීවකවලට අනුවර්තනය වෙන ආකාරය අධ්‍යයනය කරලා පෙනිසිලින්වලින් පටන්ගෙන ටිකින් ටික දියුණු කරමින් ප්‍රතිජීවක නිෂ්පාදනය කළා. නමුත් මේ වනවිට හිතපු නැති තරම් වේගයකින් මේ ජීවීන් ප්‍රතිජීවකවලට අනුවර්තනය වෙන්න පටන් ගත්තා. මේ අනුවර්තන ක්‍රියාවලිය වේගවත් වෙන්න හේතු වුණෙත් මිනිසාමයි.

මිනිසා නිසා රෝගකාරක ජීවීන් ප්‍රතිජීවකවලට අනුවර්තනය වෙන්නේ කොහොමද?
එහෙම වෙන්නේ ප්‍රතිජීවක භාවිතයේ වැරදි නිසයි. ඒ කියන්නේ අවභාවිතය සහ අධිභාවිතය නිසයි.

ඒ ගැනත් පැහැදිලි කළොත්?
අවභාවිතය කියන්නේ අනවශ්‍ය ස්ථානවල දී, අනවශ්‍ය අවස්ථාවන්වලදී, අනවශ්‍ය ප්‍රමාණවලින් ප්‍රතිජීවක භාවිත කිරීම. අධිභාවිතය කියන්නේ ප්‍රතිජීවක වර්ග උවමනා ප්‍රමාණයට වඩා භාවිත කිරීම. සෑම ප්‍රතිජීවකයක් ම භාවිත කරන්න ඕනෙ ආකාරය සහ දින ගණන ගැන පර්යේෂණ සහ අධ්‍යයනවලින් හඳුනාගෙන තියනවා. ඒ බව නිෂ්චතව සහ පැහැදිලිව අදාළ පොතපතෙහි සඳහන් වෙනවා. ඉතින් නිශ්චිත කාලයට වඩා වැඩිපුර දීර්ඝකාලීනව මේවා භාවිත කිරීම සුදුසු නැහැ. මේ නිසා රෝගකාරක ජීවීන්ට ප්‍රතිජීවකවලට ඔරොත්තු දීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඉන් මිනිසාට ප්‍රතිජීවක භාවිත කරන්න පුළුවන් අවස්ථා ගණන සීමා සහිත වෙනවා. සරලව කියනවා නම් ප්‍රතිජීවක භාවිතය ඵල රහිත වෙනවා.

මේ විදියට යද්දි යම් දවසක ප්‍රතිජීවකවලින් වැඩක් නැති වෙන්නත් පුළුවන් නේද?
ඔව්. කාලයක් යද්දි ප්‍රතිජීවකවලින් මිනිසාට තිබුණු වාසිය, ඒ කියන්නේ මේවා භාවිත කරලා මිනිසාට ලෙඩ රෝගවලින් බේරෙන්න තිබුණු අවස්ථාව අඩුවීගෙන ගිහින් යම් දවසක ප්‍රතිජීවක නැති කාලයක් උදාවෙන්න පුළුවන්. රෝගකාරක ජීවීන් විනාශ කරන්න බැරි නම් ප්‍රතිජීවක තිබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට පෙනිසිලින් හොයාගන්න කලින් තිබුණා වගේ කාලයක් උදාවෙන්න පුළුවන්. අපිට සියයකට ආසන්න ප්‍රතිජීවක ප්‍රමාණයක් තිබුණත් 2016 දී පෙනහලු ආසාදන නිසා ලෝකයේ මිලියන 3ක විතර පිරිසක් මිය ගියා. පාචනය නිසා මිලියන 1.4 කුත්, ක්ෂය රෝගය නිසා මිලියන 1.3කුත් මිය ගිහින් තිබෙනවා. ප්‍රතිජීවක ඵල රහිත තත්ත්වයට පත් වුණොත් 2050 වනවිට මේ ප්‍රමාණය මිලියන 10 ඉක්මවාවි.

නැවත නැවතත් දියුණු කරමින් අලුත් ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්න පුළුවන් නේද?
සාමාන්‍යයෙන් ප්‍රතිජීවකයක් මිනිසාට පාවිච්චි කරන්න සුදුසු මට්ටමට නිෂ්පාදනය කරන්න අවුරුදු ගණනාවක් පර්යේෂණ ගණනාවක් කරන්න ඕනෙ. ප්‍රතිජීවකයක් සොයාගන්න තැන සිට එය මිනිසාට භාවිත කරන්න අවසර ලබාදීම තෙක් ගත වෙන කාලය අවුරුදු 10 සිට 20 දක්වා විය හැකියි. පසුගිය වසර 30 ක කාලය තුළ ලෝකයේ අලුතින් ප්‍රතිජීවක සොයාගැනීමක් සිදුකර නැහැ. ඒ කාලය තුළ සිදුකර තිබුණේ 1984ට පෙර තිබූ ප්‍රතිජීවකවල විවිධ වෙනස්කම් සිදු කරමින් නිෂ්පාදනය කිරීමක් විතරයි. ඉතින් මිනිසාට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනෙ ඉදිරියේ දී මානව වර්ගයාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය කොච්චර බරපතළද කියන එක.

පහුගිය අවුරුදු 20 තුළ ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්න යොමු වුණේ නැත්තේ ඇයි?
සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවන මරණවලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නේ බෝ නොවෙන රෝගවලින්. හෘදයාබාධ, අංශභාගය, දියවැඩියා සංකූලතා, පිළිකා සහ හදිසි අනතුරු වගේ දේවල් නිසා සිදුවන මරණ බෝ වන රෝග නිසා සිදුවන මරණවලට වඩා ඉතාම වැඩියි. ඒ වගේම ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් පෙලෙන්නේ බෝ නොවන රෝගවලින් මිස බෝ වන රෝගවලින් නෙවෙයි. ලෝකයේ ඖෂධ වෙළඳාම කියන්නේ අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක්. ඉතින් විශාල වශයෙන් මුදල් වියදම් කරලා ප්‍රතිජීවක නිෂ්පාදනය කළත් ඒවා පාවිච්චි කරන රෝගීන් ප්‍රමාණය අඩු අගයක් නම් ලාභ ලබන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රතිජීවක නිෂ්පාදනය කිරීමෙන් ලබන ලාභයට වඩා බෝ නොවන රෝග සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අති විශාල ලාභයක් ලබන්න පුළුවන්. ඉතින් ඔවුන් ලාභය උදෙසා මුදල් සහ හැකියාව ආයෝජනය කරනවා මිස ප්‍රතිජීවක නිෂ්පාදනය කරන්න යොමු වෙන්නේ ඉතා ම අඩුවෙන්.

මිනිසා කිසිම වගකීමකින් තොරව ඖෂධ භාවිත කිරීම තමයි මේ ප්‍රශ්නයට හේතුව වෙන්නේ?
ඒක පැහැදිලියි. වෛද්‍යවරයෙක් රෝගියෙකුට ඖෂධයක් නිර්දේශ කරන්නේ විශේෂඥ දැනුමකින් යුතුවයි. පළමු කාරණය වෙන්නේ ප්‍රතිජීවකයක් ලියන්න කලින් වෛද්‍යවරයෙක් අදාළ රෝගය සඳහා ප්‍රතිජීවකයක් අත්‍යවශ්‍යම ද කියලා සලකා බලනවා. දෙවෙනි කාරණය මහජනතාව හිතාගෙන ඉන්නවා වෛරසවලින් ඇති කරන සාමාන්‍ය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගවලටත් ප්‍රතිජීවක අත්‍යවශ්‍යයි කියලා. නමුත් ඒක එහෙම නැහැ. ඒ වගේ තත්ත්වයන්වලට වෛද්‍යවරුන් රෝග ලක්ෂණ අනුව සිදුකරන ප්‍රතිකාර සහ විවේකය හොඳටම ප්‍රමාණවත්. නමුත් එක දවසෙන් රෝගය සුව කරගන්න ඕනෙ නිසා බොහෝ අය ප්‍රාථමික මට්ටමේ ප්‍රතිජීවක ප්‍රමාණවත් අවස්ථාවලත් ඉහළ මට්ටම්වල ප්‍රතිජීවක පාවිච්චි කරන්න පෙළඹිලා ඉන්නවා. තුන් වෙනි කාරණය වෛද්‍යවරුන් දන්නවා යම් යම් ප්‍රතිජීවක පාවිච්චි කරද්දි කොච්චර කාලයක් ඒවා ලබාදෙන්න ඕනෙද කියලා. නමුත් මහජනතාව ඒ ගැන දන්නේ නැහැ. ඒ නිසා සරල වෛරස් උණටත් ඔවුන් වෛද්‍ය උපදෙස්වලින් තොරව ෆාමසියකට ගිහින් එහි නම කියලා ප්‍රතිජීවක අරගෙන කැමති විදියට වගකීමක් නැතිව පාවිච්චි කරනවා. එය ගැළපෙනවාද, අත්‍යවශ්‍යමද, දවස් කීයක් ගන්න ඕනෙද වගේ කාරණා ගැන වැටහීමක් නැහැ. ඒ නිසා ශරීරයේ ඉන්න රෝගකාරක ජීවීන් මේ ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන්න පටන්ගන්නවා. මේ නිසා සරල ප්‍රතිජීවකයකින් සුව කරන්න පුළුවන් රෝගවලට ශරීරය ප්‍රතිචාර දක්වන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ඉහළ මට්ටමේ ප්‍රතිජීවකවලට යොමු වෙන්න වෙනවා. මේ විදිහට ගිහින් අවසානයේ ප්‍රතිජීවකවලින් සුව කළ නොහැකි තත්ත්වයට පවා පත් වෙන්න පුළුවන්.

ප්‍රතිජීවක වර්ග පාවිච්චි කරන්නේ මිනිසාගේ රෝග තත්ත්වයන් සඳහා විතරද?
සත්ත්ව ෆාම්වල සතුන්ගේ වර්ධනය වේගවත් කරන්න ප්‍රතිජීවක යොදාගන්න අවස්ථා තිබෙනවා. ඒ වගේ අවස්ථාවල ප්‍රතිජීවකය ඉහළ මාත්‍රාවලින් කෙළින් ම පරිසරයට නිදහස් වෙනවා. මිනිසා පාවිච්චි කරන ප්‍රතිජීවක ඍජුව ම පරිසරයට මුදා හැරෙන්නේ නැහැ. ඒවා ආහාර මාර්ගයෙන් ආමාශය හරහා කුඩා බඩවැල් හරහා මලපහ හෝ මුත්‍රා සමග ශරීරයෙන් පිටතට එන්නේ මුල් අවස්ථාවෙන් ම නෙවෙයි. වෙනස් වූ දෙයක් විදිහට. සත්ත්ව ෆාම්වල පොඩි ලාභයක් බලාගෙන මුළු සමාජය ම අවදානමට ලක් කරලා ප්‍රතිජීවක වර්ග කෙළින් ම ඉහළ මාත්‍රාවලින් පරිසරයට මුදා හරින නිසා පරිසරයේ ඉන්න අහිතකර ජීවීන් මේ ප්‍රතිජීවකවලට නිරාවරණය වෙලා එයට අනුවර්තනය වෙන්න පටන්ගන්නවා. මේක ලොව පුරාම තිබෙන විශාල ප්‍රශ්නයක්.

ප්‍රතිජීවක නිසා අතීතයේ තිබුණු බොහොමයක් රෝග මේ වෙද්දි ලෝකයෙන් තුරන් වෙලා තියෙනවා නේද?
බොහෝවිට රෝග ලෝකයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබුණේ ප්‍රතිශක්තිකරණ එන්නත් භාවිතය නිසා. ප්‍රතිජීවක නිසා රෝග සුව කිරීමට හැකියාව ලැබුණා. නමුත් රෝගකාරකයන් ලබාගන්නා ඔරොත්තු දීමේ හැකියාව නිසා මෙයට සීමා පැමිණෙනවා. ක්ෂය රෝගයේ බරපතළ තත්ත්වය තමයි MDRTB (multidrug-resistant tuberculosis) කියන්නේ. මේ රෝගීන්ගේ සිරුරේ තිබෙන බැක්ටීරියාව ක්ෂය රෝගයට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රබල ඖෂධ දෙකකට ඔරොත්තු දෙනවා. 2016 අවුරුද්දේ ඒ තත්ත්වයේ රෝගීන් 490,000 ක් හමුවෙලා තියනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේ අවස්ථාවක ඔවුන්ගේ ක්ෂය රෝගය සුව කරන්න පුළුවන් ද කියන එක ගැන ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ වගේ ම HIV ආසාදිත අයට සහ පිළිකා රෝගීන්ට වෙනත් රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. එය පාලනය කර ගන්නේ ප්‍රතිජීවකවලින්. නමුත් ඔවුන්ගේ ශරීරවල සිටින බැක්ටීරියා ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන මට්ටමේ තිබුණොත් ප්‍රතිජීවක ලබා දීමෙන් ප්‍රයෝජනයක් නැති වෙනවා.

මේ තත්ත්වයේ වගකීම ගන්න ඕනෙ කවුද?
මහජනතාව දැනගන්න ඕනෙ ඖෂධ පාවිච්චි කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. ඒ වගේ ම අපේ රටේ නීතියක් තියෙනවා වෛද්‍ය නිර්දේශයක් නැතිව ෆාමසිවලින් ඖෂධ නිකුත් කරන්න එපා කියලා. නමුත් ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝකයේ වැඩිපුර ම තියෙන්නේ Prescription only medicine (POM). මේවා නිකුත් කරන්නේ වෛද්‍ය නිර්දේශයක් මත විතරයි. ඒ වගේ ම Over the Counter Drugs (OTC) කියලා කියන ඖෂධවලට වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නෑ. ඒ කියන්නේ පැරසිටමෝල් වගේ දේවල්. නමුත් මහජනයා වැඩිපුරම ෆාමසිවලින් කියලා ඉල්ලා ගන්නේ (POM) ඖෂධ.

වෛද්‍යවරයෙකුට වගකීමක් තියෙනවා නේද එකපාර ප්‍රතිජීවකයක් ලියන්නේ නැතිව රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන්න?
පැහැදිලිවම. මිනිස්සු ඉල්ලා සිටියත් එකපාර ප්‍රතිජීවක ලියන්නේ නැතිව ඒ ගැන පැහැදිලි කරලා දෙන්න වෛද්‍යවරුන් යොමු වෙන්න ඕනෙ.

පළවෙනි වතාවෙන් ම රෝගය සුව කරලා මහජනතාව අතර නම දිනාගන්න තිබෙන උවමනාව නිසා වෛද්‍යවරුන් අතින් මේ වගකීම පැහැරහැරෙන්නෙ ම නැද්ද?
වෛද්‍යවරයෙක් වෙන්න අවුරුදු පහක් ඉගෙනගන්න ඕනෙ. තවත් අවුරුද්දක් රෝහලක පුහුණු වුණාට පස්සේ තමයි ප්‍රතිකාර කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් “වෛද්‍යවරයා” කියන සමාජයක් වෙනස් කරන්න පුළුවන් චරිතය හුදෙක් ලාභය තකා සමාජය අවදානමට දැමීම වරදක්. ඒ නිසා ඒ තත්ත්වයට වෛද්‍යවරයා පත්විය යුතු නැහැ. මේ වගේ වගකීමෙන් තොරව වෘත්තිය කරන අය ඉන්නේ ඉතා ම අල්ප වශයෙන්.

ප්‍රතිජීවක අවභාවිතය සහ අධිභාවිතය මේ තරම් භයානක තත්ත්වයක තිබියදීත් මහජනතාව මේ ගැන දැනුවත් නැත්තේ ඇයි?
මේ වගේ කාරණා ගැන මහජනතාවට අවබෝධයක් නැහැ. කිලෝමීටර් දහස් ගණනක් ඈත රටක තියෙන කෝවිඞ් 19 ප්‍රශ්නයට වඩා මේක බරපතළ කාරණයක්. ඒත් ඒකට ජනමාධ්‍ය පවා අවදිවෙලා නැහැ. දැනුවත් වුණත් එය ඔවුන්ගේ වගකීමක්ය කියන තැනට එන්න මහජනතාව සූදානම් නැහැ.

වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි
(පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශය)

සටහන – දුලංජලී මුතුවාඩිගේ