Health Guide

සතුට නසන මද්‍යසාර ඔබේ දරුවාත් රෝගී කරයි

යම් කණ්ඩායමක් හෝ සමූහයක් රැස්ව සිටින ස්ථානයක කෙනෙක් “Alcohol මොන වගේ දෙයක්ද?” වැනි පැනයක් විමසුවහොත් ලැබෙන පිළිතුරු විවිධකාර විය හැකිය. නමුත් ඒ සියල්ල සැබෑ තත්ත්වයන් ම ද, නැතහොත් විවිධ හේතු සහ බලපෑම් නිසා මද්‍යසාර භාවිතයට යොමුව ඇති පුද්ගලයන් තමා තුළ පවතින මත්ද්‍රව්‍යයට හසුවීමේ හීනමානය වසාගැනීමටත්, එය සාධාරණීකරණය කිරීමටත් සාදාගන්නා ලද නිර්වචනයක් ද යන්න බුද්ධියෙන් විමසා බැලිය යුතුය.

විශේෂයෙන් ම ලෝකයේ ජීවත්වන සෑම මනුෂ්‍යයෙකු ම ලබාගැනීමට උත්සාහ කරන්නේ සතුට සහ නිරෝගීබවයි. ඒ අතරින් නිරෝගීව සිටීම ද එක්තරා සතුටකි. එහෙත් මද්‍යසාර නිරෝගීබවට ඍජුව ම සහ වක්‍රව බලපෑම් ඇති කරනවා මෙන් ම සතුටට ද සීමා පනවයි. එය එසේ වුවත් මත්ද්‍රව්‍ය සමාගම් දැඩිව මිනිස් මනස් තුළට කිසි ම විද්‍යාත්මක පදනමක් නැති සතුට යනුවෙන් නම් කර නිර්මාණය කරන ලද මායාවක් පිළිගැනීමට ඒත්තුගන්වා තිබේ. අවිඥ්ඥාණිකව එයට හසුවන මිනිසුන් ඉන් අනතුරුව එයින් නිදහස්වීමට නොතේරෙන සහ එහි සැබෑ තත්ත්වය වටහාගත නොහැකි වන තරමට ම වහල්භාවයට පත්කරගැනීමට අදාළ සමාගම් සමත්ව ඇත. එනම් තමන් මත්ද්‍රව්‍ය සමාගමක රූකඩයක් බවට පත්ව ඇති බවවත් ඔවුන් නොදනී.

මෙම ක්‍රියාවලිය මත්ද්‍රව්‍ය සමාගම් කෙතරම් සූක්ෂම මනෝ විද්‍යාත්මක අධ්‍යනයකින් යුතුව සිදු කරන්නේ ද යත් මංගල උත්සවයක්, උපන්දින සාදයක් වැනි සතුට දනවන අවස්ථාවන්ට මෙන් ම අවමංගල්‍ය අවස්ථාවක්, විසිර යාමේ උත්සවයක් වැනි සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ දුක දනවන අවස්ථාවන්ට පවා සාර්ථකව හඳුන්වා දී තිබේ. දුකට-සතුටට, උණුසුමට-සීතලට, ප්‍රශ්න මතක් කරගෙන කෙනෙකු සමග රණ්ඩුවීමට-ප්‍රශ්න අමතක කිරීමට ආදී වශයෙන් ජීවිතයේ මුහුණුදෙන සෑම අවස්ථාවක් ම, දැනෙන සෑම හැඟීමක් ම නියෝජනය වන පරිදි මත්ද්‍රව්‍ය මිනිසාගේ එදිනෙදා ජීවිතයට බද්ධ කිරීමට මත්ද්‍රව්‍ය සමාගම් සමත්ව ඇත. එමෙන් ම ඇතැම් රටවල ආගමික සංස්කෘතිකාංග තුළට පවා මධ්‍යසාර රිංගවීමට ඔවුන් සමත්ව තිබේ. එය විවිධ මුහුණවරවලින් ළදරුවාගේ සිට වැඩිහිටියා දක්වා තනි තනිව පුද්ගලයන් ඉලක්ක කර සිදුකරන දැවැන්ත ප්‍රචාරණ කටයුත්තක් වන අතර මේ මොහොත වනවිටත් ඔවුන් මුදලට බුද්ධිමතුන් යොදාගෙන මේ සඳහා නව උපක්‍රම සොයමින් සිටී. එහෙයින් සියලුදෙනා එක්ව මෙම මත්ද්‍රව්‍ය සමාගම් මවාපාන දේ තුළ ඇති සත්‍ය අවබෝධ කරගත යුතු අතර එම සත්‍යය කුඩා දරුවන් ඇතුළු මුළු මහත් සමාජයට ම හෙළිදරව් කළ යුතුය.

විද්‍යාත්මක අධ්‍යයනයක් කළහොත්, උදාහරණයක් ලෙස කිසි ම ඖෂධයක් යම් රෝගයක් ඇති කිරීමටත්, සුව කිරීමටත් යන දෙකට ම අවශ්‍යතාව මත යොදාගත නොහැකිය. එසේ නම් දුක-සතුට, උණුසුම-සීතල වැනි එකිනෙකට ප්‍රතිවිැරද්ධ අවශ්‍යතාවන්වලට අරක්කු, බීර හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් ගැළපෙන්නේ කෙසේද? එමෙන් ම මෙය සුවදායක හෝ හිත සැහැල්ලු කරන දෙයක් නම් භාවිත කරන්නා එය ප්‍රියමනාප මුහුණුවරකින් භාවිත කළ යුතුය. එහෙත් එවැනි පුද්ගලයන්ව හොඳින් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ ඔවුන් අරක්කු, බීර ආදිය ඉතාමත් අප්‍රසන්න හැඟීමෙන් මුඛය තුළට දමාගෙන අපහසුවෙන් උගුරෙන් පහළට යවාගන්නා ආකාරයයි. අපහසුවෙන් ඒවායේ දුර්ගන්ධය ඉවසන ආකාරයයි. එපමණක් නොව ඒවා පානයට පෙර වෙනත් කුමන හෝ රසවත් බීමක්, සැර සහ අප්‍රසන්න රසය අඩුකරන බීමක් සමග තනුක කරගන්නා ආකාරයයි. එමෙන් ම පානය කළ වහා ම කුමන හෝ රසවත් කටගැස්මක් මුඛය තුළට දමාගනියි. තව ද කෙළ ගැසීම වැනි ක්‍රියාවන් සිදුකරයි. මුහුණේ ඉරියව් වෙනස් වේ. එසේ නම් එය ගතට මිහිරක් ගෙනදෙන දෙයක් විය නොහැකිය.

එසේ ම අරක්කු, බීර ආදී මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්ව එම මත්ද්‍රව්‍යය විසින් කෙතරම් වහල් කරගෙන සිටින්නේද යත් අදාළ මත්ද්‍රව්‍යය ශරීරගතවී එහි රසායනික ක්‍රියාවලිය සිදුවීමට පෙර සිට ම ඔවුන් මත්බව, වැඩියෙන් කතා කිරීම, ප්‍රශ්න කතා කිරීම, ප්‍රශ්න ඇති කරගැනීම, වෙනත් අවස්ථාවල නොවන ආකාරයෙන් දේශපාලන ගැන කතා කිරීම, ලිංගිකත්වය ගැන කතා කිරීම, පරුෂ වචන කියමින් කතා කිරීම, ගීත ගැයීම, නැටීම, සිනාසීම වැනි එම පුද්ගලයාගේ සාමාන්‍ය රටාවට නොගැළපෙන දෑ සිදුකරයි. එහෙත් මද්‍යසාරවල රසායනික ක්‍රියාවලියේ බලපෑමෙන් සිදුවන හිස කරකැවෙන ගතියක් ඇතිවීම, වමනය යාම, ඔක්කාරය, ශරීර ශක්තිය පාලනයකින් තොරවීම, වෙහෙස දැනීම ආදී දෑ සිදුවන්නේ ඒවා පානය කිරීමෙන් මිනිත්තු 30ක්, මිනිත්තු 45ක් වැනි කාලයක් ගතවූ පසුව ය. මේ පිළිබඳව විද්‍යාඥයන් සමූහයක් සිදුකළ සුප්‍රසිද්ධ විද්‍යාත්මක පර්යේෂණයක් ද තිබේ. එනම් යම් අරක්කු වර්ගයක වර්ණය, රසය සහ ගන්ධය පමණක් යොදා Alcohol නොයෙදූ පානයක් එක් පිරිසකටත්, වර්ණය, රසය සහ ගන්ධය ඉවත් කර Alcohol යොදා වෙනත් පානයක් ලෙස සැකසූ පානයක් තවත් පිරිසකටත් පූර්ව දැනුවත් කිරීමකින් තොරව ලබාදීමයි. මෙහි දී Alcohol සහිත යැයි සිතා එසේ ස්වරූපය වෙනස් කරන ලද පානය භාවිත කළ අය පළමු මිනිත්තුවේ සිට ම ඉහත සඳහන් කළ මත්ද්‍රව්‍ය ලබාගන්නා පුද්ගලයන් පෙන්නුම් කරන චර්යාවන් ඒ අයුරින් ම සිදුකර ඇත. නමුත් Alcohol සහිත බව නොදැන සාමාන්‍ය පානයක් යැයි සිතා භාවිත කළ පිරිස අදාළ චර්යාවන් පෙන්නුම් කිරීමට මිනිත්තු 30ත්, මිනිත්තු 45ත් අතර කාලයක් ගෙන තිබේ. එනම් ඉහත සඳහන් Alcohol නොයෙදූ පානය භාවිත කළ පිරිස පෙන්නුම් කළ චර්යාවන් Alcoholවල බලපෑමක ප්‍රතිඵලයක් නොවන බව පැහැදිලි ය. එය අදාළ මත්ද්‍රව්‍ය සමාගම් සුක්ෂමව ජනප්‍රිය පුද්ගලයන්, ප්‍රභූන්, ජනමාධ්‍ය, චිත්‍රපට ආදි බොහෝ දේ සහ උපක්‍රම යොදාගෙන කෘත්‍රිමව මිනිසුන්ගේ මනස වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් පමණි.

සැබැවින්ම එතැන පවතින්නේ පිරිසක් එකතුවීමෙන් පසු පෙන්නුම් කරන චර්යා රටාවන් ය. අරක්කු වැනි මත්ද්‍රව්‍ය රහිත කෑම මේසයක දී වුව ද එවැනි කතාබහ ඇතිවිය හැකිය. නමුත් මෙවැනි අවස්ථාවක සිදුවන්නේ තමන් සිහියෙන් සිටියත් එනෙකා තමන් සිහියෙන් නැතැයි විශ්වාස කිරීම අයුතු ලෙස භාවිත කිරීමට හැකිවීමේ නිදහසයි. තමන්ගේ සිතිවිලි ගැටලුවකින් තොරව නිදහස් කරගැනීමට මෙමගින් අවස්ථාවක් උදාකර ගැනීමයි. අනෙකාගේ අවධානය ගැනීමට මාර්ගයක් සලසා ගැනීම හා ප්‍රසිද්ධියේ තමන්ට කළ නොහැකි දේ සිදුකර බැලීමයි.

එක ම කුලකයේ පිරිසක් හෝ පිරිස් කිහිපයක් සමග එක්ව නිතර එක ම ආකාරයේ මාතෘකා ගැන කතා කරමින් ජීවිතයේ විඳිය යුතු බොහෝ දෑ මෙම මත්ලෝලීන් තමන්ට අහිමි කරගනියි. බෝතලයකට මුවා වී ඔවුන් විනෝද චාරිකාවක විනෝදය අතපසු කරගනියි. මංගල උත්සවයක හෝ සාදයක සතුට, ජීවිතයේ වැදගත් ම අවස්ථාවක අත්දැකීම මගහැරගනියි. මහන්සියෙන් උපයාගන්නා ධනය මත්ද්‍රව්‍ය සමාගම්වලට සූරාකන්නට ඉඩහරියි. බිරිඳ-සැමියා, දරුවන් ඇතුළු පවුලේ අය සමග ඔවුන්ගේ සතුට වෙනුවෙන් වෙන්කළ යුතු කාලය අපතේ හැරගනියි. සුව නින්ද, නිරෝගී බව, පෝෂ්‍යදායි ආහාර වැනි තමන්ගේ ශරීරයට අත්‍යවශ්‍ය ම දෑ අතපසු කරගනියි. ව්‍යාජ මවාපෑම්වලට හසුව ජීවිතයේ සතුට, නිදහස, නිරෝගී බව අහිමි කරගනියි.

ශ්‍රී ලංකාව වැනි ආර්ථික, සමාජ වටපිටාවක් සහිත රටවල විශේෂයෙන් ම පිරිමින්ගේ මත්ද්‍රව්‍ය වටා කරකැවෙන ජීවන රටාව නිසා බොහෝ සෙයින් පීඩාවට ලක්වන්න් කාන්තාවයි. එය ඍජුව හෝ වක්‍රව පවුලේ ආර්ථිකය, ලිංගික ජීවිතය, මානසික නිදහස ආදී වූ බොහෝ පැතිකඩ ඔස්සේ කාන්තාව පීඩාවට ලක්කරයි. ඇතැම් පවුල්වල මෙය ශාරීරික පීඩා, මනුෂ්‍ය ඝාතන වැනි බරපතළ තත්ත්ව දක්වා මෙය දරුණු වේ. බොහෝවිට දේශීය කාන්තාව ගෘහස්ථ හිංසනයට ලක්වන්නේ බීමත් සැමියාගෙනි. බොහෝ දික්කසාද නඩුවල ද කොනක හෝ සැමියාගේ බීමත්බව එක් හේතුවක් ලෙස ඉස්මතු වනු දැකිය හැක්කේ එබැවිනි.

එමෙන් ම මේ ආකාරයෙන් අරක්කු ඇතුළු මත්ද්‍රව්‍ය නිසා පවුලේ සමගියට බාධාවීම දරුවන්ට ද ඉතාමත් බරපතළ ලෙස බලපායි. මව් කුසේ සිටින සමයේ සිට ම තමන් ජීවත් වන පරිසරය පිළිබඳව සංවේදීවීම සියලු දරුවන්ගේ ස්වභාවය වන අතර කායිකව හෝ මානසිකව මවට ඇතිකරන පීඩාවන් පිළිබඳව දරුවා ද සංවේදී ය. ඒ සංවේදීබව උපතින් පසුව ද ඒ ආකාරයෙන් ම පවතී. බීමතින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පුද්ගලයන්ගේ පවුල්වල දරුවන් පාසලේ දී නිශ්ශබ්ද දරුවන්වීම හෝ ප්‍රචණ්ඩකාරි දරුවන්වීම මෙහි බලපෑමේ එක් ප්‍රතිඵලයකි. එමෙන් ම ඔවුන් බොහෝවිට අධ්‍යාපන කටයුතු අතපසු කරගනිමින් පවුලේ ප්‍රශ්න පිළිබඳව සිතන්නට කාලය වැය කරයි. මව්පියන්ගෙන් ගිලිහෙන ආදරය, සෙනෙහස වෙනත් පුද්ගලයන්ගෙන් ලබාගැනීමට ගොස් ජීවිතය වරද්දාගන්නා අවස්ථා සඳහා ද සමාජයේ ඕනෑ තරම් උදාහරණ තිබේ. දරුවන් නොමග යාම මෙන් ම විවිධ මානසික රෝගවලටත්, ඇතැම් කායික රෝගවලටත් දරුවන් ගොදුරුවීමට පියාගේ මත්ලෝලීබව වර්තමානය වනවිට එවැනි පවුල්වල ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත. මෙය දුප්පත් පවුල්වල ආර්ථිකයට ප්‍රබල ගැටලුවක් බැවින් දරුවන්ගේ මන්දපෝෂණය, ලෙඩරෝගවලට විධිමත් ප්‍රතිකාර නොකිරීම ආදී බොහෝ ගැටලුවලට හේතුවකි. එමෙන් ම සැමියා තැබෑරුම්වලට උපයන ධනය නාස්ති කරනවිට පවුලේ ආර්ථිකය සහ දරුවන්ගේ අනාගතය උදෙසා මව්වරු විදෙස්ගතවීම ද වර්තමානයේ දරුවන්ව මානසිකව සහ කායිකව පීඩාවට ලක්කරන ප්‍රබල සාධකයක් වී තිබේ.

මේ අනුව ව්‍යාජ සුවයක් පතා තමන්ගේත්, බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේත්, ළඟින් ඇසුරු කරන්නන්ගේත් සතුට, නිදහස හා නිරෝගීබව අහිමි කරන මත්ද්‍රව්‍ය සමාගම්වල වහල්භාවයෙන් නිදහස්වීමට සියලුදෙනා ම එක්ව ඔවුන්ට උදව් කරමු. එම සමාගම්වල උපක්‍රමයන්ට හසු නොවී සැබෑ ලෙස ම ජීවිතයේ සතුට විඳින හැටි සැමට කියාදෙමු.

ආචාර්ය දුමින්ද ගුරුගේ
(අංශ ප්‍රධාන – සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය – රජරට විශ්වවිද්‍යාලය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක