Health Guide

බෝ නොවන රෝගවලින් ඔබේ සතුට මැකෙන්නට ඉඩ නොදෙමු

ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාව පිළබඳව සෞඛ්‍ය දර්ශක සහ සෞඛ්‍ය දත්ත දෙස බලන විට අපේ රටේ බෝ වන රෝගවලට වඩා බෝ නොවන රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරයි. එනම් මීට පෙර බෝ නොවන රෝගවලින් මියගිය මිනිසුන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයක් වර්තමානය වනවිට බෝ නොවන රෝගවලින් මියයන බව හඳුනාගත හැකිය. මෙය ශ්‍රී ලංකාව මුහුණදෙන ලොකු ම සෞඛ්‍ය ගැටලුව ලෙස හැඳින්විය හැකි අතර මව්පියන්ට පෙර දරුවන් මියයන තත්ත්වයට මේ වනවිට පත්ව ඇති මෙම ගැටලුව දිනෙන් දින උග්‍ර වෙමින් පවතී. එම නිසා ශ්‍රී ලංකා රජය සහ සියලු ම සෞඛ්‍ය ආයතන මෙම තත්ත්වය වළක්වාගැනීමට දෛනිකව කටයුතු කරමින් සිටී. නමුත් තවමත් එය පාලනය කරගත හැකි මට්ටමකට පැමිණ නැත.

අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, හෘදරෝග, පිළිකා වැනි රෝගාබාධ බොහෝමයක් ඉහත සඳහන් කළ බෝ නොවන රෝග මගින් සිදුවන මරණ සඳහා හේතු වී ඇති අතර මේවාට හේතු සාධක ද ගණනාවකි. ඒ අතරින් මිනිසුන්ගේ තරබාරුකම වැඩිවීම ප්‍රධාන තැනක් ගනී. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ තරබාරු පුද්ගලයන් ප්‍රමාණය දිනෙන් දින වර්ධනයවීම හඳුනාගත හැකි අතර තරබාරුකම අඩු කරගැනීම තුළින් බොහෝමයක් බෝ නොවන රෝගවලින් ආරක්ෂාවීමට හැකියාව තිබේ.

ඒ අනුව විශේෂයෙන් ම සියලුදෙනා තරබාරුකම ඇතිවීමට හේතු පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම් වර්තමානයේ මිනිසුන් ඒකාකාරී ජීවන රටාවකට හුරුව සිටීම, ව්‍යායාම නොකිරීම, කය වෙහෙසා වැඩ කිරීමට කම්මැලිවීම, නොසැලකිලිමත් ආහාර රටාව, ක්ෂණික සහ රසකාරක අඩංගු ආහාරවලට හුරුවීම ආදිය නිසා තරබාරු පුද්ගලයන් බවට පත්ව තිබේ.

සංවර්ධිත රටවල මෙන් ම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ද ආහාර සංස්කෘතියට බලපැම් කරන විවිධ ආහාර සමාගම් තම නිෂ්පාදන ජනතාව අතරට රැගෙන යාමට ධනය සහ ශ්‍රමය බොහෝසෙයින් යොදවන අතර කාර්යබහුලව බව, කම්මැලිකම, නොසැලකිල්ල වැනි තත්ත්වයන් මත ජනතාව ද ඔවුන්ට නිරන්තරයෙන්ම හසුවේ. ඒ අතර මෙම සමාගම් ‘මෙම ආහාරයට ගැළපෙන පැණීබීම වර්ගය මෙයයි’ වැනි තේමාවන් යටතේ ජනතාව එකින් එක විවිධ ශරීරයට අහිතකර ආහාරවලට පොළඹවමින් තම ප්‍රචාරණ කටයුතු සිදුකරයි. ඒවාට හසුවීම බෝ නොවන රෝග බහුතරයකට හේතුවක් වනවා සේම මිනිසුන් තරබාරු පුද්ගලයන් බවට පත්වීමට ද බලපායි. විශේෂයෙන් කුඩා කල සිටම දරුවන් මෙවැනි අහිතකර ආහාරවලට සහ ආහාර රටාවන්ට හුරුවීම ඔවුන්ගේ ශරිර වර්ධනයට, නිරෝගී බවට, බුද්ධි වර්ධනයට සහ ක්‍රියාශ්‍රීලීබවට ද ඍජුව ම බලපාන අතර ඔවුන්ගේ ආයු කාලය ද කෙටි වේ. අදාළ සමාගම් එම ප්‍රතිඵල පිළිබඳව ඉතාමත් හොඳින් දැනුවත්ව සිටිය ද ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමන හෝ අකාරයකින් මුදල් උපයාගැනීම මිස සවිමත්, බුද්ධිමත් අනාගත පරපුරක් බිහිකිරීමට දායකවීම නොවේ. එමනිසා සියලුදෙනා තම තම නැණ පමණින් ආරක්ෂා විය යුතුය.

ස්ථූලභාවය හෙවත් තරබාරුකම ඇතිවීමට බලපාන හේතු අතර ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ පිෂ්ට සහ මේද අධික ආහාර පමණට වඩා ගැනීමයි. එනම් බත්, තිරිඟු පිටි නිෂ්පාදන, අල, බතල, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, සුදු හම සහිත කුකුළු මස් හා ඌරු මස් වැනි මස් වර්ග නිතර පරිභෝජනය කිරීම මේ සඳහා බලපායි. වර්තමානය වනවිට ජංගම බේකරි නිෂ්පාදන අලෙවිසැල් රට පුරා වෙළෙඳාම් කටයුතු සිදුකිරීම ද එක්තරා ආකාරයක පෙළඹවීමකි. එහි දී අධික කැලරි සහිත ආහාර නිවසට අසලටම ගෙනැවිත් අලෙවි කිරිම නිසා නිවසේ මුළුතැන්ගෙය අතීතයේ සිට සිදුකළ නිවැසියන්ට අවශ්‍ය ආහාර සැපයීම අඩු වේ. ඔවුන් ඒ වෙනුවට බේකරි නිෂ්පාදනවලින් කුස පුරවාගෙන එදිනෙදා කුසගින්න නිවාගැනීමට කටයුතු කරයි. නමුත් දෛනික ජීවිතට පහසු කරගැනීමටත්, ආහාර සකස්කිරීමට යන කාලය ඉතිරි කරගැනීමටත් හැකි නිසා බොහෝදෙනෙක් ශරීර සෞඛ්‍ය ගැන වැඩි තැකීමක් නොකොට එම බේකරි නිෂ්පාදනවලට හුරුවෙයි. එමගින් සිදුවන තරබාරුකම වැඩිවීම සහ බෝ නොවන රෝගවලට ගොදුරුවීම පිළිබඳව ඔවුන් සිතන්නට පටන්ගන්නේ යම් රෝගාබාධයක් ඇතිවී ඉතාමත් අසීරු තත්ත්වයකට පත්වීමෙන් පසුව ය.

කර්මාන්තමය ආහාර සංස්කෘතිය ඒ අකාරයෙන් වනවිට නිවසේ ආහාර සංස්කෘතියට ද අදාළ සමාගම් ඍජුව ම බලපෑම් සිදුකරයි. එනම් ක්ෂණිකව උයාගත හැකි ආහාර සහ වෙහෙසකින් තොරව සකසාගෙන බත් සමග පරිභෝජනයට ගත හැකි විවිධ කැලරි බහුල ආහාර නිවසේ මුළුතැන්ගෙයට රැගෙන ඒමට ඔවුන් සමත්ව තිබේ.

එමෙන් ම තමන් ම විවිධ රස මට්ටම්වලට ඇබ්බැහිවීමෙන් නිර්මාණය කරගත් අහිතකර ආහාර රටාවන් ද හඳුනාගත හැකිය. එයට එක් උදාහරණයක් නම් ඇතැම් පුද්ගලයන් නිවසේ බැදුම් සඳහා භාවිත කරන තෙල් එක්වරක් භාවිතයෙන් ඉවත නොදා දෙතුන්වත්වක් නැවත නැවත භාවිත කරයි. මෙය ද තරබාරුකම වැඩිවීමට සහ විවිධ බෝ නොවන රෝග උැතිවීමට හේතු වේ. තව ද නිවසේ ආහාර පිසීමට භාවිත කරන පොල් ප්‍රමාණය, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වැඩිපුර පරිභෝජනය කිරිම, වැඩිපුර පැණි රස වර්ග ආහාරයට ගැනීම, වැඩිපුර තිරිඟු පිටිවලින් ආහාර සකසා ගැනීම, එළවළු ඇතුළු ව්‍යංජන අඩුවෙන් බෙදාගෙන බත් වැඩියෙන් ආහාරයට ගැනීම, කුළුබඩු සහ රසකාරක වැඩියෙන් යොදා ආහාර සැකසීම ස්ථූලභාවයට සහ බෝ නොවන රෝග සඳහා ප්‍රධාන හේතු වේ. මීට අමතරව නිවසේ ආහාර සකස් කරනවිට භාවිත කරන ලුණු ප්‍රමාණය සහ සීනි ප්‍රමාණය ද පමණට වඩා ගැනීම අහිතකරයි.

සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුට පරිභෝජනය කිරීමට නිර්දේශ කර ඇති ලුණු ප්‍රමාණය දිනකට ලුණු ග්‍රෑම් පහකි. අධික රුධිර පීඩනයට ඍජුව ම බලපාන බවට හඳුනාගෙසන ඇති අධික ලුණු පරිභෝජනය අඩුකරගැනීම එම රෝගයෙන් ආරක්ෂාවීමට ප්‍රධාන වශයෙන් ම හේතුවන අතර එමනිසා ආයු කාලය ද වැඩිකරගත හැකිය. එමෙන් ම සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුට දිනකට සීනි හැඳි හයක් පමණ පරිභෝජනය සුදුසු වේ. එය වෙනම ගත යුතු නැත. එදිනෙදා ආහාරයට ගන්නා පලතුරු, එළවළු ආදියේ ද සිනි අඩංගු වන අතර ශරීරයට අවශ්‍ය සීනි ප්‍රමාණය පිටින් වෙනම ලබාගැනීමට වඩා එවැනි ආහාර හරහා ලබාගැනීම උචිත වේ. තව ද ඒ අනුව තේ කෝප්පයකට දමන සීනි ප්‍රමාණය අඩු කරගත යුතු වේ. ශරීරයට අවශ්‍ය පමණට වඩා සීනි පරිභෝජනය වළක්වාගත යුතු වේ.

සෑම නිවසක ම නිවැසියන් තමන්ගේ සහ පවුල් අයගේ නිරෝගී බව පවත්වාගෙන යාමට සාමූහිකව කටයුතු කළ යුතුය. එහි දී උසට සරිලන බර අතිශයින් වැදගත් වන අතර බර වැඩි පුද්ගලයන් තමන් ආහාරයට ගන්නා පිටි ආහාර ප්‍රමාණය අඩු කරගැනීම අවශ්‍ය ය. ඒ සඳහා තරබාරු පුද්ගලයන් හා බර වැඩි පුද්ගලයන් උසට සරිලන බරක් ලබාගැනීමට කළ යුතු උපක්‍රම හඳුනාගත යුතුය. එනම් බත් ප්‍රමාණයට සාපේක්ෂව එළවළු ඇතුළු ව්‍යංජන වෑඩියෙන් ආහාරයට ගැනීම පෝෂ්‍යදායී වන බැවින් බත් බෙදාගැනීමට වර්තමානයේ භාවිත කරන ලොකු හැන්ද ව්‍යංජන සඳහා තබා බත් බෙදාගැනීමට කුඩා හැන්දක් භාවිත කිරීම, ආහාර ගැනීමට ගැඹුර අඩු පිඟානක් භාවිත කිරීම වැනි සාර්ථක උපක්‍රම අනුගමනය කළ හැකිය. එවැනි උපක්‍රම භාවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ළඟාකරගත් අය බොහෝ ප්‍රදේශවලින් හඳුනාගත හැකි අතර මේවා ඉතාමත් ප්‍රතිඵලදායක උපක්‍රම වේ. එමෙන්ම ඒ ආහාර රටාව අනුගමනය කරන අතර නිතර නිතර බර මැන සටහන් කරගැනීමේ දී ද තමන්ගේ සාර්ථකත්වය අවබෝධ කරගැනීමට පුළුවන.

ඊට සමගාමීව සියලුදෙනා ඉදිරි අවුරුදුවල දී අලුත් අවුරුදු සමරන විට තෙල් අඩු, සීනි අඩු ආහාර සකස් කිරීමටත්, නිවෙස්වලට රැගෙන යාමටත් කටයුතු කිරීම ඉතාමත් අනර්ඝ පිළියමක් ලෙස හැඳින්විය හැකිය. එමෙන් ම චාරිත්‍ර වාරිත්‍රවලට හානියක් නොවන පරිදි පැණිරස කෑම හා තෙල් අධික ආහාර වෙනුවට නිවෙස්වලට යනවිට පලතුරු රැගෙන යාම වැනි විකල්ප භාවිත කිරීමට හැකි වේ. පැමිණෙන අයට සංග්‍රහ කරනවිට කෘත්‍රිම පැණිබීම වැනි දෑ වෙනුවට දෙහි, දොඩම්, රණවරා, බෙලිමල් වැනි දේශීය පාන වර්ග අවස්ථානුකූලව භාවිත කිරීමට පුළුවන.

මේ ආකාරයෙන් නිකරුණේ රෝගාබාධ ඇති කරගෙන වෛද්‍ය උපදෙස් මතම ජීවිතය ගෙවීමට සිදුකර නොගෙන බහුල ගැටලුවක් වන බෝ නොවන රෝග ඇතිවීමට පෙර වළක්වාගැනීම තමන්ටත්, සමීපතමයන්ටත්, රටටත් සහනයක් වේ. එම නිසා සියලුදෙනා ම බුද්ධිමත්ව සිතා නිසි කළමනාකරණයකින් ශරීරයට ගැළපෙන පිරිදි ආහාර ගනිමු. ඒවා වෛද්‍යවරුන්ගේ කාර්යභාරයන් නොව තමන් ම උවමනාවෙන් සිදුකළ යුතු සෞඛ්‍යරක්ෂණ ක්‍රමවේදයන් බව අවබෝධයෙන් කටයුතු කරමු.

ආචාර්ය දුමින්ද ගුරුගේ
(අංශ ප්‍රධාන – සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය – රජරට විශ්වවිද්‍යාලය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක