Health Guide

මතින් නිදහස්වීමට අවබෝධයෙන් කටයුතු කරමු

මත්ද්‍රව්‍ය නිවාරණයේ දී සාමාන්‍යයෙන් සිදුවන්නේ බාහිර පාර්ශ්වයක් මත්ද්‍රව්‍ය භාවිත කරන කණ්ඩායමකට යම් බලපෑමක් සිදුකර ඔවුන් අතරින් බුද්ධිමත්ම පුද්ගලයා හෝ කිහිපදෙනා එයින් ගලවාගැනීමයි. නමුත් සෞඛ්‍ය ප්‍රවාර්ධනයේ නවතම අධ්‍යයනයන්ට අනුව සාර්ථකම මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රමවේදයක් ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන කණ්ඩායම් තුළ සිටින පුද්ගලයන් මේ පිළිබඳව එකිනෙකා සමග සාකච්ඡා කිරීමත්, කණ්ඩායම විසිර නොයන ලෙස ක්‍රමයෙන් මත්ද්‍රව්‍යයන්ගෙන් නිදහස්වීමට පියවරෙන් පියවර පෙළඹීමත් හඳුනාගත හැකිය.

ඕනෑම සමාජ තලයක මත්ද්‍රව්‍ය භාවිත කරන කණ්ඩායමක් තුළ ප්‍රබලයෙකු හෝ ප්‍රබලයන් කිහිපදෙනෙකු සිටී. එම පුද්ගලයා හෝ කිහිපදෙනා කණ්ඩායමේ අනෙක් පිරිසගේ භාවිත කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණයට බලපෑමක් සිදුකරයි. ඒ අනුව ඔබ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයෙකු නම් ප්‍රථමයෙන් ම ඔබ කණ්ඩායම තුළ ඔබේ භූමිකාව හඳුනාගත යුතුය. ඊළඟට කණ්ඩායම තුළ සිටින එක් එක් පුද්ගලයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර මගින් ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවය අවබෝධ කරගත යුතුය. බාහිරින් බලන විට සමාජයේ මත්ද්‍රව්‍ය භාවිත කරන සහ මත්ද්‍රව්‍ය භාවිත නොකරන ලෙස කොටස් දෙකක් හඳුනාගත හැකිය. නමුත්, හොඳින් අධ්‍යයනය කරන විට මත්ද්‍රව්‍ය භාවිත කරන කණ්ඩායම තුළත් විවිධත්වයක් තිබෙන බව ඔබ වැටහේ. එනම් ඔහි සිටින සියලුදෙනා එකම ප්‍රමාණයට එකම ආකාරයට, එකම අවශ්‍යතාවකට මත්ද්‍රව්‍ය භාවිත කරන අය නොවේ. ඔවුන් විවිධ මට්ටම්වල පුද්ගලයන් වේ.

ඉන් එක් කණ්ඩායමක් අදාළ මත්ද්‍රව්‍යය නැතිවම බැරි පුද්ගලයන් ය. එම මත්ද්‍රව්‍යය නොමැති විට ඔවුන්ට විරමන ලක්ෂණ පහළ වේ. ඔවුන්ගේ ශරීරයට එම මත්ද්‍රව්‍යයේ ඇති රසායනික ද්‍රව්‍ය අත්‍යවශ්‍යවී තිබේ. එනම් කාලයක් තිස්සේ අදාළ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවී එය මතම යැපෙන තත්ත්වයට පත්වූවන් ය. ඔවුන් සෑම සුවිශේෂී අවස්ථාවක් ම මත්ද්‍රව්‍ය වෙනුවෙන් වෙන් කරගනී. එමෙන්ම එවැනි පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිත කරන අවස්ථාවේ එය සැමට ප්‍රථමයෙන් ආරම්භ කරයි. ඉක්මනින්, දෙවන, තෙවන වටයන් ද අරඹයි. වැඩි ප්‍රමාණයක් ශරීරගත කරගැනීමට උත්සාහ කරයි. ඔබේ කණ්ඩායමේ සිටින එවැනි පුද්ගලයන් කවුරුන් ද යන්න ප්‍රථමයෙන්ම හඳුනාගත යුතුය. ඇතැම් විට ඒ ඔබම ද විය හැකිය. නමුත් කණ්ඩායමේ සියලුදෙනා ඒ ආකාරයේ අය නොවේ.

මීට අමතරව කණ්ඩායම සමග සිටීමේදී සංඥාවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පිරිසක් ද සිටී. ඔවුන්ගේ ශාරීරවලට එම මත්ද්‍රව්‍ය තුළ අන්තර්ගත රසායනයන් අත්‍යවශ්‍ය ම නැත. නමුත් කණ්ඩායම සමග එක්ව විසීමට ඔවුන්ට එය අවශ්‍ය වේ. එමෙන්ම අදාළ මත්ද්‍රව්‍යය ශරීරගත වූ පසු තමන්ට අවැසි දේ සිදුකරන පිරිසක් ද සිටී. දේශපාලන පිළිබඳව, ලිංගිකත්වය පිළිබඳව, කාන්තාවන් පිළිබඳව, විවිධ අසභ්‍ය කාරණා පිළිබඳව හෝ නීති විරෝධී කටයුතු පිළිබඳව ඔවුන් කතා කරන්නේ මත් වූ පසුව වීම ඔවුන්ගේ විශේෂත්වයයි. එනම් මත්ව සිටින විට තමන්ව විනිශ්චයට ලක් නොවන බව ඔවුන් විශ්වාස කරයි. මත්ද්‍රව්‍ය භාවිත කර සිටින විට පවුලේ සාමාජිකයන් හෝ වෙනත් බාහිර පාර්ශ්ව සමග රණ්ඩුවීම, ඒ අයට බැණ වැදීම ආදිය සිදුකරන්නේ එවැන්නන් වේ. එමෙන්ම ගායනයට, නර්තනයට හැකියාවක් නොමැති පුද්ගලයන් එවැනි දෑ පිරිසක් ඉදිරියේ සිදුකර බැලීමට ද, තමන්ගේ සමාජ තත්ත්වයට හානියක් වේ යැයි බියෙන් අසභ්‍ය වචන නොකියන අය අසභ්‍ය වචන පැවසීමට ද මත්ව සිටිම නිදහසට කරුණක් කරගනී. එසේ සිදුකරන්නේ ද එවැනි පුද්ගලයන් ය. කණ්ඩායමේ සිටින එවැනි අය ද හඳුනාගත යුතුය.

තව ද මත්ද්‍රව්‍ය භාවිත කිරීම ප්‍රියජනක නොවන පිරිසක් ද මෙවැනි කණ්ඩායම් තුළ සිටී. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ කණ්ඩායමේ අන් අය තමන්ව නොසලකා හරීවි යන බියෙනි. මොවුන් බොහෝවිට හැකි තරම් අඩුවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් එම කණ්ඩායමේ රැඳෙන්නට උත්සාහ කරයි. ඔවුන්ට මත්ද්‍රව්‍ය ජීවිතයේ කොටසක් වී හෝ කණ්ඩායම එකතු වන සෑමවිට ම මත්ද්‍රව්‍යවල අවශ්‍යතාව දැනීම හෝ මත්ද්‍රව්‍ය භාවිත කළ පසු රඟපෑම් සිදුකිරීමට අවශ්‍ය නොවේ. ඔවුන් සෑමවිට ම එලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ කණ්ඩායම තුළ මිත්‍රත්වය තහවුරු කිරීමට පමණි.

කෙසේ වෙතත්, මේ කුමන මට්ටමේ සිටින පුද්ගලයෙකු වුවත් බුද්ධිමත් බවින් පහළ මට්ටමක සිටී නම් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිත කරන විට මත්ද්‍රව්‍ය මත ම යැපෙන්නෙක් බවට පත්වීමේ සම්භාවිතාවක් තිබේ. නමුත් කණ්ඩායමක සිටින සෑම පුද්ගලයාට ම මත්ද්‍රව්‍ය සුවදායක නැත. ඔවුන් බොහෝවිට අනෙකා තමන්ව කෙසේ විනිශ්චය කරයි දැයි සිතමින් තම අපහසුතා සඟවන්නට උත්සාහ කරයි.

මෙහිදී වැදගත් වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලන් ම එක්ව සාකච්ඡා කරමින් තමන්ගේ කණ්ඩායම තේරුම් ගැනීමයි. ප්‍රථමයෙන් ම තමන් මොන මට්ටමේ සිටින අයෙක් දැයි හඳුනාගෙන ඒ පිළිබඳව අනෙකා සමග සාකච්ඡා කළ යුතුය. එහිදී තමන්ගේ මිතුරා කුමන මට්ටමේ අයෙකු ද යන වග ද අවබෝධ කරගත යුතුය. එසේ අවංකව සාකච්ඡා කළහොත් හඳුනාගත හැකි කාරණයක් නම් බොහෝවිට තමන් භාවිත කරන මත්ද්‍රව්‍ය භාවිත කර මිතුරන් සමග රැඳීමට අවශ්‍ය පුද්ගලයන් එය භාවිතයේ දී කණ්ඩායමේ සිටන යම්කිසි විශේෂ අයෙක් හෝ කිහිපදෙනෙක් නිසා වැඩි ප්‍රමාණයක් භාවිත කරන බව මෙහිදී විශේෂයෙන් ම හඳුනාගත හැකියි. එනම් අදාළ පුද්ගලයා හෝ කිහිපදෙනා තමන් ගැන කෙසේ වටහාගනියිද?, තමන්ව හෑල්ලුවට ලක්කර කුමක් හෝ පවසාවිද? වැනි සිතිවිල්ලක් නිසා ඇතැමුන් හිතට එකඟ නොවී මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් භාවිත කරයි. එසේම එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමට පෙළෙඹවීම කළ තැනැත්තාගේ වචනය ඉවත දැමිය නොහැකි නිසා සහ ඔවුන්ට ඇති බව නිසා ද ඇතැම් පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිත කරයි. එමෙන්ම ඒ පොළඹවන්නන්ට තමන් ඉක්මනින් මත් නොවන්නෙකු ලෙස පෙන්වීම නිසා ද ඇතැමෙක්ට මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ශරීරගත කරගැනීමට සිදුවේ. නමුත් එවැන්නන්ට තමන් ශරීරගත කරගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය අවම වන තරමට සතුට වැඩි වේ. ඒ අනුව තමන්ගේ මට්ටම තේරුම්ගෙන බුද්ධිමත්ව සිතා කණ්ඩායම තුළ සිටීමට උත්සාහ කළ යුතු වේ. එහිදී තමන් තේරුම්ගත යුත්තේ තමන් ශරීරගත කරගන්නේ තමන්ට අවශ්‍ය ප්‍රමාණය ද, කණ්ඩායමේ වෙනත් අයෙකුට අවශ්‍ය ප්‍රමාණය ද යන්නයි. එනම් ඔබට එම කණ්ඩායම තුළ සිටිය යුතු නම්, ඔවුන් සග සිටීමට අදාළ මත්ද්‍රව්‍ය භාවිත කළ යුතු යැයි ඔබ සිතන්නේ නම්, ඒ සඳහා ඔබ භාවිත කරන්නේ ඔබට අවශ්‍ය ප්‍රමාණයටම දැයි ඔබ ඔබෙන් ප්‍රශ්න කරගත යුතුය. එයින් අදහස් කරන්නේ මත්ද්‍රව්‍ය භාවිතය සුදුසු බව නොව, වෙනත් අයගේ බලපෑමට ඉක්මනින් විනාශ මුඛයට නොයා යුතු බවයි. එනම් මත්ද්‍රව්‍ය භාවිතය යනු ශරීරයට දුක් දී වින්දනයක් ලැබීමට දරසන උත්සාහයක් වන අතර කණ්ඩායමක් ලෙස තමන් පමණක් නොව සියලුදෙනා එකතු වී ඉන් නිදහස්වීම වටී.

මත්ද්‍රව්‍ය භාවිත කරන කණ්ඩායමකට නවකව සම්බන්ධ වන අයට සහ අඩුවෙන් භාවිත කර කණ්ඩායම තුළ රැඳෙන්න උත්සාහ කරන අයට ඉහත කාරණා හොඳින් වටහාගත හැකිය. එනම් උදාහරණයක් ලෙස මධ්‍යසාර භාවිත කරන කණ්ඩායමක දී “මම පානය කරන්නේ මට අවශ්‍ය ප්‍රමාණයටමද?”, “මම අඩුවෙන් ලබාගන්නා විට මට වැඩියෙන් පානය කිරීමට බල කරන්නේ හෝ පොළඹවන්නේ කවුද?” යන්න අවබෝධ කරගත යුතුය. එමෙන්ම කණ්ඩායම තුළ සිටින බලකරන්නා තමන් ද යන්න ද සිතා බලා තේරුම්ගත යුතුය. එනම් සෑම කණ්ඩායමකම යම්කිසි පුද්ගලයෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ බලයට යටවී අනෙකත් පිරිස වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරයි.

මෙහිදී තවත් සුවිශේෂී කාරණයක් නම්, මෙවැනි කණ්ඩායම තුළ සිටින ඇතැම් පුද්ගලයන්ට පවුලක්, ළමයින් සහ බිරිඳ පිළිබඳ වගකීමක්, දෙමාපියන් පිළිබඳ වගකීමක් නැත. නැතහොත් ඔහුගේ පවුල් ජීවිතය ගැටලුවලින් පිරී පවතී. එවැනි පුද්ගලයන්ට නිවසට යාම දුකකි. මිතුරන් සමග සිටීම සතුටට කරුණකි. එම නිසා බොහෝවිට එවැන්නන් මිතුරන්ව වැඩි කාලයක් තමන් සමග රඳවා තබාගැනීමට ඔවුන්ට තව තවත් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට බලකරයි. නමුත් මෙම කණ්ඩායමේ සියලුදෙනාට ම ප්‍රමාදවී නිවසට යාමට එලෙස අවශ්‍යතාවක් නැත. ඒ අය අතර ද දරුවන්ට හා බිරිඳට ආදරේ, ඉක්මනින් නිවසට යා යුතු අවශ්‍යතාවන් සහිත පුද්ගලයන් සිටී. නමුත් එක්කෙනෙක් හෝ කිහිපදෙනෙක්ගේ බලකිරීම මත ඔවුන්ට වැඩි වේලාවක් රැඳී සිටීමටත් වැඩි මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශරීරගත කරගැනීමටත් සිදුවේ. ඔවුන්ට එම බලකරන පුද්ගලයාට හෝ කිහිපදෙනාට විරුද්ධවීමට තරම් පෞරුෂයක් නොමැතිවීම මෙයට හේතුවයි.

මෙය වටහාගෙන කණ්ඩායම තුළ සිටින ඔබේ සමීපතමයා සමග ඔබ ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුය. එමෙන්ම නිවසේ දී බිරිඳ සමගත්, අදාළ කණ්ඩායමට බාහිර මිතුරන් සමගත් මේ ගැන සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ද ලබාගත හැකිය. බොහෝවිට ඔබට ඔබේ කණ්ඩායම තුළ මිත්‍රත්වය ශක්තිමත්ව තබාගැනීමට අවශ්‍ය වනවා සේ ම, මත්ද්‍රව්‍ය භාවිත කර නිවසට යන විට බිරිඳගෙන් බැණුම් ඇසීමට ද සිදුවේ. එහිදී ඔබ තෝරාගන්නේ මිතුරන් ද, බිරිඳ ද ලෙස නොසිතා මෙහි සැබෑ තත්ත්වය බිරිඳ සමගත්, අදාළ කණ්ඩායමේ තමන්ගේ සමීපතමයා සමගත් ප්‍රථමයෙන් ම සාකච්ඡා කළ හැකිය. එනම් එවැනි ම ගැටලුවක් ඔබේ මිතුරාට ද තිබිය හැකිය. එලෙස ක්‍රමයෙන් කණ්ඩායමේ සියලුදෙනා සමග ම මෙම කරුණ බුද්ධිමත්ව සාකච්ඡා කිරීමෙන් මුලින් ම තමන්ට අවශ්‍ය තරමට පමණක් භාවිතයට සියලුදෙනා එකඟ කරගත හැකිය. එනම් මෙහිදී අනෙක් සාමාජිකයන් අතර “අසවලා නිසායි අපට මෙහෙම වෙන්නේ.” ලෙස සාකච්ඡාවක් ඇතිවේ. එවිට “ඇයි එයාට බල කරන්නේ? එයා අවශ්‍ය ප්‍රමාණයට ගනියි” කියන්නට එකිනෙකා ඉදිරිපත් වනු ඇත. ඉන්පසු එය ආරම්භයක් කරගෙන ක්‍රමයෙන් භාවිත කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරමින් තම කණ්ඩායම එක්රැස්වීමට එකම හේතුව මත්ද්‍රව්‍ය භාවිතය නොවන බවත්, මත්ද්‍රව්‍ය නොමැතිවත් තමන්ට එක්ව කටයුතු කළ හැකි බවත් සැමට ම ක්‍රමයෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. එමෙන්ම මත්ද්‍රව්‍යවයට අධික ලෙස ඇබ්බැහිවී සිටින කණ්ඩායමේ සාමාජිකයන්ව අදාළ කණ්ඩායම විසින් ම ඉන් මුදවාගැනීමට පෙළෙඹෙනු ඇත. එනම් එහිදී සිදුවන්නේ බුද්ධිමත් ම පුද්ගලයා කණ්ඩයමෙන් මිදී මත්ද්‍රව්‍යයෙන් ඈත්වීම නොව ක්‍රමයෙන් සියලුදෙනා ඉන් මුදාගනිමින් කණ්ඩායම ද ශක්තිමත්ව පවත්වා ගැනීමයි.

මීට අමතරව අවබෝධය වැඩි පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්ව කණ්ඩායමෙන් ගැලවී නොගොස් කණ්ඩායම දියුණු කරමින් කණ්ඩායම සමගම රැඳීම මෙම ක්‍රමයේ ඉතාමත් හොඳ වාසිදායක තත්ත්වයකි. එවැන්නන් කණ්ඩායම තුළ සිටීමෙන් දුර්වලයන් අපචාරී ක්‍රියාවලට පෙළඹීම වළකී. එසේ නොමැති වුවහොත් අවබෝධය වැඩි පුද්ගලයන් කණ්ඩායමෙන් ඉවත් වනවිට බුද්ධි මට්ටමෙන් අඩු අය කණ්ඩායම මෙහෙයවීමට පටන්ගනී. එයින් සමස්ත කණ්ඩායමට ම සිදුවන්නේ බරපතළ හානියකි. එනම් අවබෝධය සහිත පුද්ගලයන් කණ්ඩායමේ ප්‍රබලයන් වන විට අසභ්‍ය වචන සංස්කෘතිය ඉන් ඉවත්වීම, සමාජ විරෝධි ක්‍රියා සාධාරණීකරණය නොවීම, පවුල් ආරවුල් ආදියට නිසි විසඳුම් ලැබීම සහ බලකර මත්ද්‍රව්‍ය භාවිතයට පෙළෙඹවීම නැතිවීම වැනි හේතු නිසා සියලුදෙනාට ආර්ථික, සමාජයීය සහ මානසික වශයෙන් ඇති ගැටලුවලට හොඳ මගපෙන්වීමක් ලැබේ. සමස්ත කණ්ඩායම ම මත්ද්‍රව්‍ය තමන්ට දුකක් ගෙනදෙන බව හඳුනාගනිමින් ඒ සම්බන්ධයෙන් එකිනෙකාට උදව් කරගනිමින් සියලුදෙනා ම දියුණු මිනිසුන් බවට පත්වේ.

එම නිසා ඔබ මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු නම් ඔබේ තත්ත්වය සහ මට්ටම හඳුනාගෙන මිතුරන් සමග ද සාකච්ඡා කළහොත් අන්‍ය බලකිරීම්වලට යටත් නොවී ස්වාධීනව මතින් නිදහස්වීමටත්, ඔබේ කණ්ඩායම දියුණු මට්ටමකට පත්කරගැනීමටත් හැකිය. අපි අද සිට ම අවබෝධයෙන් කටයුතු කරමු.

ආචාර්ය දුමින්ද ගුරුගේ
(අංශ ප්‍රධාන – සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය – රජරට විශ්වවිද්‍යාලය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක