Health

දරුවෙකුගේ උපත් බර වර්ධනය කළ හැකි බාහිර සාධක හා ක්‍රමවේදයන්

ඕනෑ ම පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත් ම සාධකයක් ලෙස ඔහුගේ හෝ ඇයගේ උපත් බර හැඳින්විය හැකිය. එනම් දරුවෙකුගේ උපත් බර එම දරුවාගේ සෞඛ්‍ය වර්ධනයට සහ බුද්ධි වර්ධනයට ඇතුළු බොහෝ කාරණා සඳහා බලපායි. එනම් දරුවෙකුගේ උපත් බර එම දරුවාගේ සෞඛ්‍ය වර්ධනයට සහ බුද්ධි වර්ධනයට ඇතුලු බොහෝ කාරණා සඳහා බලපායි. එය විශේෂයෙන් ම ලෝකය තුළ ද සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ ද උපත් බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය 18%ක් පමණ වන අතර සාමාන්‍යයෙන් එය 10%ට වැඩි මට්ටමක පැවතීම ඕනෑ ම රටක වැඩි අවධානයක් යොමු කළ යුතු සෞඛ්‍ය ගැටලුවක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම කලාපයේ අනෙකුත් රටවල් සහ ලෝකයේ දියුණු රටවල් පිළිබඳව සංසන්දනාත්මකව බලන විට ශ්‍රී ලංකාව ඇතැම් සෞඛ්‍ය දර්ශකවල ඉහළ ස්ථානයක සිටියත් ඇතැම් දර්ශකවල තවමත් එම තත්ත්වයට පත්වී නොමැත. උපත් බර දර්ශකය ද එවැන්නකි. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගර්භණී මව්වරුන් 403ක් සම්බන්ධ කරගෙන සිදු කළ විමර්ශනාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයන් ය.

උපත් බර පිළිබඳව සාමාන්‍ය පිළිගැනීම නම් ඉපදෙන විට දරුවෙකු සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 2.5කට ආසන්න බරකින් යුක්තවීමයි. එයට හේතුව දරුවෙකුගේ උපත් බර එම පුද්ගලයාගේ ජීවිත කාලයට ම බලපායි. එනම් විශේෂයෙන් ම පසුකාලීනව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් උපත් බර අඩු පුද්ගලයන් තුළින් හඳුනාගත හැකිය. එමෙන්ම එය බුද්ධි වර්ධනය සඳහා ද බලපෑම් කරයි. ඒ ආකාරයෙන් පුද්ගලයෙකුගේ ජීවිතයට ඔහුගේ උපත් බර ඍජු හේතු සාධකයක් වේ.

දරුවෙකුගේ උපත් බර සඳහා බලපාන හේතු ගණනාවක් හඳුනාගත හැකිය. එනම් ගර්භණී කාලය තුළ මවගේ පෝෂණය, ගර්භණී කාලය තුළ මවගේ උසට සරිලන බර, ගර්භණී කාලය තුළ ඇතිවන රෝගාබාධ, ගර්භණී කාලය තුළ මවගේ බර වැඩිවීම වැනි සාධක මෙන්ම සමාජීය සාධක වන ගර්භණී සමයේ දී මවට ලැබෙන රැකවරණය, පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය, මව දුම්පානය කිරීම හෝ දුම්පානය කරන්නන්ගේ ආශ්‍රිතයෙකුවීම, මව මුළුතැන්ගෙයි දුමට නිරාවරණයවීම, මව සතුටින් කාලය ගත නොකිරීම, අඩු වයසින් ගැබ් ගැනීම, මවගේ අධ්‍යාපන මට්ටම සහ නොසැලකිලිමත්කම වැනි බොහෝ සාධක මේ සඳහා බලපායි. ඉන් කිහිපයක් පිළිබඳව මෙසේ සඳහන් කළ හැකිය.

දුම්පානය සහ මුළුතැන්ගෙයි දුම

දුම්පානය ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර එතරම්ම ප්‍රචලිත නොවුණත් දුම්පානය කරන කාන්තාවන්ට ලැබෙන දරුවන්ගේ උපත් බර අඩු බව සමීක්‍ෂණවලින් හෙළිවී තිබේ. එසේම පියාගේ දුම්පානය ද දරුවාගේ උපත් බර සඳහා බලපායි. පියා හෝ වෙනත් සමීපතමයෙක් දුම්පානය කරන ස්ථානයක හිඳිමින් ගර්භණී කාන්තාවක් දුම්පානය කරන කෙනෙකුගේ ආශ්‍රිතයෙකු වුවහොත් ඇයට ද අචේතනිකව දුම ආග්‍රහණය කිරීමට සිදුවේ. එය කුස තුළ සිටින දරුවාගේ උපත් බර අඩුවීමට හේතුවකි. එමෙන්ම ඉවුම් පිහුම් කටයුතු සිදුකරන ගර්භණී මවකට මුළුතැන්ගෙයි දුම ආග්‍රහණය කිරීමට සිදුවීම ද ඒ ආකාරයෙන් ම දරුවාගේ උපත් බර අඩුවීමට හේතුවේ.

ඒ අනුව මෙහිදී ගර්භණභාවය අපේක්‍ෂා කරන කාන්තාවන් දුම්පානය නොකිරීමත්, ගර්භණී මවක් සිටින නිවසක පියා ඇතුළු පවුලේ සාමාජිකයන් දරුවා වෙනුවෙන් දුම්පානයෙන් වැළකී සිටීමත් නියමිත බරින් යුතු නිරෝගී දරුවෙකු බිහිකර ගැනීමට අත්‍යාවශ්‍ය කාරණයකි. තව ද මුළුතැන්ගෙයි දුම ඇයට ආග්‍රහණය නොවීමට සුදුසු පරිදි වා කවුළු සකසා දුම පිටතට යාමට සැලැස්වීම හෝ හැකි නම් ආහාර පිසීමට අධික ලෙස දුම් ඇති නොවන විකල්ප ක්‍රමයක් භාවිත කිරීම ද කළ හැකිය.

ගර්භණී කාලය තුළ මවට ලැබෙන විවේකය

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සාමාන්‍යයෙන් ගර්භණී අවධියේ දී වුව ද ගේ දොර වැඩ කටයුතු සහ ඇතැම් විට රැකියාවේ කටයුතු ද සාමාන්‍ය පරිදි කිරීමට සිදුවේ. එහිදි පවුලේ සාමාජිකයන්ගේ සහ රැකියා ස්ථානයේ අනෙකුත් අයගේ සහය ඇයට නොලැබීම ඇයගේ විවේකය අවමවීමට හේතුවේ. එමෙන්ම එය ඇයට මානසික ගැටලු ඇතිවීමට ද හේතු විය හැකිය. එසේම එම විවේකය අඩුවීම සහ අන් අයගේ සහයෝගය නොමැතිවීම නිසා ඇති වන මානසික පීඩනය කුස තුළ සිටින දරුවාගේ උපත් බර අඩුවීමට සාධකයක් වේ.

ගර්භණී මවගේ සතුට සහ මානසික මට්ටම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගර්භණී මව්වරුන් 403ක් සම්බන්ධ කරගෙන සිදුකළ දරුවන්ගේ උපත් බර වැඩි කර ගැනීමට සාමාජීය සාධක මඟින් සිදුකළ හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනයේ දී හඳුනාගත් තවත් එක් සාධකයක් ලෙස ගර්භණී කාලයේ මව සිටින මානසික තත්ත්වය හේතුවෙන් ද බලපෑමක් සිදුවන බව හඳුනාගැනිණි. එනම් ගර්භණී මව දවසේ වැඩි කාලයක් සතුටින් සිටීම කුස තුළ සිටින දරුවාගේ උපත් බර වැඩිවීමට බලපායි. මේ සඳහා සතුටු කැලැන්ඩරය නමින් දර්ශකයක් ඔවුන් වෙත ලබාදුන් අතර දවසේ සතුටින් සිටි ප්‍රමාණය ඔවුන් විසින් එහි සටහන් කිරීම සිදු කෙරිණි. මෙහිදී ගර්භණී සමයේ එම මව්වරුන්ගේ සතුට අඩුවීමට සහ වැඩිවීමට හේතුවන සාධක ප්‍රජාව විසින් ම හඳුනාගෙන පිළියම් සඳහා යොමුවීම සිදුවිය. එනම් සෑම දිනක ම සවස ගර්භණී මව තමන් සතුටින් සිටීම, දුකෙන් සිටීම, කණස්සල්ලෙන් සිටීම, තරහෙන් සිටීම ආදිය එම සතුටු කැලැන්ඩරයේ සටහන් කරයි. ඒ අනුව ඇතැම් මාසවල ඇය සතුටින් සිටි කාලය අඩු බව හඳුනාගන්නා විට ඇය එම මාසයේ වැඩි කර ගත යුතුව තිබූ බර ප්‍රමාණය වැඩිවී නොමැති බව ද වටහාගත හැකි විය. එය පවුලේ අනෙකුත් සාමාජිකයන් ද අවබෝධ කරගන්නා විට ඔවුන් ද ඇයට සතුටින් සිටීමට සහය වූ අතර සෑම මාසයක ම ගර්භණී මවගේ වැඩි විය යුතු බර ප්‍රමාණය නිසි ලෙස වර්ධනය කර ගැනීමට ඇය සතුටින් සිටීම අත්‍යවශ්‍ය කරුණක් බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි විය.

එමෙන්ම මෙය දරුවාගේ බුද්ධි වර්ධනයටත්, නිරෝගී බවටත් හේතු වන බව හඳුනාගත් නිසා පවුලේ අයගේ නිරන්තර සහයෝගයත් ගර්භණී මවට හිමි විය. එය පවුලේ සාමූහික වගකීමක් බවට පත්වන විට සහයෝගිතා කැලැන්ඩරය නමින් දර්ශකයක් ද හඳුන්වා දුන් අතර එයින් ගර්භණී මවට එදා දවසේ පවුලේ අනෙකුත් සාමාජිකයන් දක්වන සහයෝගය සටහන් කිරීමෙන් ඇයට පවුලෙන් ලැබෙන සහයෝගය ප්‍රවර්ධනය කළේය. ඊට අමතරව ඇය දකින පින්තූර, දර්ශන සහ අසන සංගීතය වැනි දේ ද ඇයව සතුටින් තැබීමට උපයෝගී කර ගැනීමට හැකි විය. ඒ හේතුවෙන් ගර්භණී කාන්තාව සතුටින් සිටීම සහ ඇයට අවශ්‍ය විවේකය ලැබීම ද සිදුවිය. එය දරුවාගේ උපත් බර නියමිත මට්ටමට වර්ධනය කර ගැනීමට සාමාජීය වශයෙන් සිදුකළ සාර්ථක බලපෑමක් විය.

ගර්භණී මවගේ පෝෂණය

සෞඛ්‍ය ප්‍රවර්ධන මූලධර්මවලට අනුකූලව කරන ලද අධ්‍යයනයේ දී දරුවාගේ උපත් බර අඩුවීමට සහ පෝෂණ ඌනතා ඇතිවීමට ඉඩ නොදී ගර්භණී මවට කුස තුළ සිටින දරුවාගේ පෝෂණය සඳහා තමන් ලැබිය යුතු පෝෂණය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමට හැකි විය. එනම් සියලු දේ වෛද්‍යවරයා වෙත ම පවරා අක්‍රියව කටයුතු නොකර වෛද්‍ය උපදෙස්වලට අනුකූලව තමන් විසින් තමන්ගේ පෝෂණය සහ මානසික සුවය පිළිබඳව පවුලේ සාමාජිකයන්ගේ ද සහයෝගය සහිතව සක්‍රියව කටයුතු කිරීම අවශ්‍ය ය.
මෙහිදී පෝෂණ කැලැන්ඩරය නමින් ද දර්ශකයක් හඳුන්වා දුන් අතර එහිදී ගර්භණී මව එදා දවසේ ලැබිය යුතු පෝෂණ සංඝටක අතුරින් ලැබුණේ මොනවාද? නොලැබුණේ මොනවාද? යන්න එහි සඳහන් කරයි. එමෙන්ම විශේෂයෙන් අඩු වියදම් සහිත සමබල ආහාර වේලකට ගර්භණී මව හුරු කිරීම හා එමඟින් නියමිත උපත් බර සහිත දරුවෙකු බිහි කර ගැනීමට ඔවුන් හට අවබෝධය ලබාදුනි.

දරුවන්ගේ උපත් බර සඳහා බලපාන අවදානම් කණ්ඩායම්

■ අඩු වයසින් සිදුවන ගැබ් ගැනීම්
■ මවගේ අධ්‍යාපන මට්ටම අඩුකම
■ ස්වාමිපුරුෂයා නිවසේ ජීවත් නොවන මව්වරුන්
■ පළමු දරුවා ලැබීමට සිටින මව්වරුන්

පාරිසරික හා සාමාජීය සාධක වෙනස් කරමින් නියමිත උපත් බර සහිත දරුවෙකු බිහිකර ගැනීමේ දී ඉහත අවදානම් සහිත මව්වරුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු වේ. අඩු වයස් විවාහ සහ ගැබ් ගැනීම් තවත් බොහෝ සෞඛ්‍ය ගැටලු සඳහා බලපාන හේතු සාධකයක් වන බැවින් ඒවාට කිසිසේත් අනුබල නොදිය යුතු අතර සෑම විට ම එවැන්නක් සිදු නොවීමට කටයුතු කළ යුතුය. එහෙත් යම් හෙයකින් එවැනි ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඉහත සඳහන් කළ සාමාන්‍ය ගර්භණී මවකට වඩා ඇය කෙරෙහි අවධානය යොමු කරමින් නිසි පෝෂණයත්, නිසි මානසික සුවයත්, නිසි පාරිසරික වටපිටාවත් සහ ඇයට හා පවුලේ අයට නිසි අවබෝධයක් ලබාදී නියමිත උපත් බරින් යුතු දරුවෙකු බිහි කර ගත යුතුය.

එමෙන්ම මවගේ අධ්‍යාපන මට්ටම අඩුකම ද දරුවාගේ උපත් බර කෙරෙහි බලපෑමක් ඇති කරයි. එනම් මවගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල ද කුස තුළ සිටින දරුවාට බලපායි. එමනිසා පවුලේ වැඩිහිටියන්ගේ නිසි මඟ පෙන්වීම යටතේ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීමෙන් නිරෝගී, නියමිත උපත් බර සහිත දරුවෙකු බිහි කර ගත හැකිය.

මීට අමතරව ස්වාමිපුරුෂයා නිවසේ නොමැති මව්වරුන් පිළිබඳව පවුලේ සියලුදෙනා වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමත් ඇයට අවශ්‍ය සහයෝගය ලබාදීමත් ඇතුළු පිළියම් හඳුනාගෙන කටයුතු කළ යුතු අතර පළමු දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මව්වරුන්ව ද මානසිකව ශක්තිමත් කර ඔවුන් වෙනුවෙන් පාරිසරික හා සාමාජීය වගකීම අනෙකුත් සියලුදෙනා එකමුතුව ඉටු කිරීමෙන් ඉපදෙන දරුවාගේ නියමිත උපත් බර ඇති කර ගත හැකිය.

දරුවෙකුගේ උපත් බර සම්බන්ධයෙන් වෙනස් කළ නොහැකි ජානමය සහ තවත් බොහෝ සාධක පවතී. නමුත් ඒ සඳහා බලපාන පාරිසරික සහ සාමාජීය සාධක නිසි අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් වෙනස් කරගත හැකිය. ඊට අමතරව නියමිත පරිදි පවුල් සෞඛ්‍ය වෛද්‍ය සායනවලට සහභාගිවීම සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම ද අත්‍යවශ්‍ය කටයුත්තකි. එසේම ස්වාමි පුරුෂයා සහ පවුලේ අය ද ගර්භණී කාන්තාවක් සිටින නිවසක දුම් පානයෙන් වැළකී සිටීම වැනි ස්වයං පාලනයන්ට නතුවීම සහ අවශ්‍ය සහය හැකි උපරිමයෙන් ලබාදීම ද ගර්භණී මව්වරුන් අවබෝධයෙන් සහ දරුවා පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම ද නියමිත උපත් බර සහිත දරුවෙකු බිහි කර ගැනීමට හේතු වේ.

මෙම ක්‍රමවේදයන් නිසි ආකාරයෙන් සිදු කරමින් නිවැරදිව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට ද සියලු ගර්භණී මව්වරුන් යොමු කිරීම මඟින් ශ්‍රී ලංකාවේ උපත් බර පිළිබඳ සෞඛ්‍ය දර්ශකය ද ඉහළ අගයකට රැගෙන යාමට හැකි වනු ඇත. එමෙන්ම අනාගතයේ බෝ නොවන රෝගවලින් පීඩා විඳින පිරිස ද අඩු කරගත හැකිය. ආයු අපේක්‍ෂාව ද වැඩි වේ. මෙය රටේ ආර්ථිකයටත්, සංවර්ධනයටත් ඍජුවම බලපාන සෞඛ්‍ය ගැටලුවක් නිරාකරණය කර ගැනීමට හැකි සරල සහ සාමුහික වැඩපිළිවෙලක් ලෙස හඳුන්වා දිය හැකිය.

ආචාර්ය දුමින්ද ගුරුගේ
(අංශ ප්‍රධාන – සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය – රජරට විශ්වවිද්‍යාලය)

සටහන – ඉසුරු සුධාරක දිසානායක